සංස්කෘතික යටත්විජිතවාදය (Rammstein -Amerika)



දෙවන ලෝක යුද්ධයෙන් පසු යටත්විජිත පවත්වාගෙන ගිය බලවත් රටවල් තමා යටතේ පැවති යටත්විජිත වලට දේශපාලනික වශයෙන් නිදහස ලබාදුන්නත් (decolonisation) එම බලවතුන් තමන් පෙර සිට පවත්වාගෙන පැමිණි යටත්විජිත ආර්ථික මෝඩලයන් දිගටම අනෙක් රටවල කෙරෙහි පවත්වාගෙන යාමට උත්සුක වී ඇත. මෙය නව යටත්විජිතවාදය (neocolonialism) ලෙස හැදින්වේ. විකීපිඩියාවට අනුව සංවර්ධිත රටවල් විසින් සංවර්ධනය වෙමින් පවතන රටවල අභ්‍යන්තර කටයුතු කෙරෙහි කරනු ලබන බලපෑම මෙයින් විස්තර කෙරේ. යටත්විජිතවාදයේ සංස්කෘතික සංරචකය ලෙස හැදින්වෙන්නේ සංස්කෘතික යටත්විජිතවාදයයි (cultural imperialism). මෙය නව යටත්විජිතවාදය තුලදීත් ක්‍රියාත්මක වේ. ආර්ථික හා යුදමය වශයෙන් බලවත් රටවල් තමන්ගේ සංස්කෘතික ලක්ෂණ වෙනත් රටවල් වලට ආරෝපණය කිරීමේ වැඩපිලිවෙල සංස්කෘතික යටත්විජිතවාදය තුලින් සිදුවේ.

මුලදී පෙර යටත්විජිත ලෙස පැවති රටවල් කෙරෙහි පමණක් ක්‍රියාත්මක වුවත් වර්තමානය වනවිට නව යටත්විජිතවාදය හරහා යටත්විජිත සම්බන්ධතා නොපැවති රටවල් කෙරෙහිත් මෙම සංස්කෘතික යටත්විජිතවාදය ක්‍රියාත්මක වේ. විසිවන සියවස වනවිට මෙම සංස්කෘතික යටත්විජිතවාදය ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව කෙන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වේ. ඇමෙරිකානු ජනප්‍රිය සංස්කෘතියේ අංග, තාක්ෂණය, සංගීතය, චිත්‍රපට, විලාසිතා ආදී අංග වලින් ඔවුන් අනෙක් රටවල සංස්කෘතීන්ට බලපෑමක් ඇති කරයි. මෙම බලපෑම සංවර්ධනය වෙමින් පවතින රටවල සංස්කෘතීන්ට පමණක් නොව බටහිර දියුණු අනෙක් රටවල සංස්කෘතීන්ටද බලපෑමක් ඇති කරයි.(Americanization)
Rammstein නම් ජර්මානු රෝක් සංගීත කණ්ඩායමක් විසින් ගායනා කරනු ලබන Amerika නම් ගීතයෙන් අැමෙරිකානු සංස්කෘතිය විසින් ලෝකයේ සෙසු රටවල සංස්කෘතීන්ට කර ඇති බලපෑම පිළිබද කියවෙයි. එම ගීතයේ ඇති We’re all living in Amerika යන වාක්‍යයෙන් අප සියලු දෙනාම අඩුවැඩි වශයෙන් ඇමෙරිකානු සංස්කෘතියේ බලපෑමට ලක්වී ඇතිබව අඟවයි. විඩීයෝව පුරාවටම විවිධ රටවල් වලට ඇමෙරිකානු සංස්කෘතිය බලපා ඇති ආකාරය සංකේතාත්මකව ඉදිරිපත් කරයි. සාම්ප්‍රදායික ඇඳුමින් සැරසුන අප්‍රිකානුවන් පිරිසක් රෑපවාහිනියක් ඉදිරිපිට වාඩිවී පීසා කන දර්ශනය, ආසියාවේ කුඩා භික්ෂුන් පිරිසක් ඇමෙරිකානු ක්ෂණික ආහාර වේලක් ගන්නා දර්ශනය, නයික් සපත්තු ජෝඩුවක් පැලදි මුස්ලිම් ජාතිකයෙකු තම ආගම නැමදීමට සුදානම්වන දර්ශනය ආදීයෙන් එය පිළිඹිබුවේ. මෙය ඇමෙරිකානු විරෝධී ගීතයක් නොවුනත් ඇමෙරිකාව සෙසු රටවලට තමන්ගේ සංස්කෘතිය ආරෝපණය කිරීමට දරන උත්සහය උපහාසාත්මකව පෙන්නුම් කරයි.
ඇමෙරිකානු ආහාර සංස්කෘතියට ඇති ඉහළ පිළිගැනීම, ඉංග්‍රීසි කතාකරන සමාජයේ පිරිස් හැකිතාක් ඇමෙරිකානු උච්චාරණය අනුගමනය කිරීමට උත්සහ කිරීම, ඇමෙරිකානු ගැන්ස්ටර් රැප් ආකෘතියේ සංගීත කණ්ඩායම් බිහිවීම, ඇමෙරිකානු ක්‍රමයේ අධ්‍යාපනයක් ලබාදෙන ආයතනවල පිරිස් හැකීතාක් ඇමෙරිකානු ක්‍රමය හා අනන්‍ය වීමට දරන උත්සහයන් ඔස්සේ ලංකාවට ඇමෙරිකානු සංස්කෘතියේ ඇති බලපෑම තේරැම් ගතහැක.
සංස්කෘතික යටත්විජිතවාදය (Rammstein -Amerika) සංස්කෘතික යටත්විජිතවාදය (Rammstein -Amerika) Reviewed by Fox Talks on 11:56 AM Rating: 5

No comments :

Powered by Blogger.