කොෆීෂොප් බෞද්ධයෝ (Coffee-shop Buddhists)


සාමාන්‍යයෙන් වියුක්ත බෞද්ධයන් හා ඕල්කට් බෞද්ධයන් යනුවෙන් හැදින්වෙන පිරිස සිංහල බෞද්ධ සංස්කෘතියෙන් විතැන්වූ පිරිසකි. එහෙත් ඔවුන් යටත් පිරිසෙන් බුදු දහමේ ඉගැන්වෙන නැවත ඉපදීම, ශ්‍රද්ධාව වැනි සංකල්ප පිළිගනියි. ඔවුන් භික්ෂුන්ට ගරු කරයි. අභස්සර බ්‍රහ්ම ලෝකයේ සිට ජීවින් පැමිණියේ යැයි කියන පරිණාමය පිළිබද බුදු දහමේ එන අදහස සම්පුර්ණයෙන්ම පිළිගැනීමට මැලිවුවත් එය ඩාවිනීය පරිණාමවාදය හා ගැලපීමට හෝ උත්සහ කරයි. එහෙත් ෆෙස්බුකියේ කෙරෙන ආගමික මතවාද පිළිබද සංවාද කියවීමේදී මීටත්වඩා වෙනස් ආකාරයේ අදහස් දරන, බෞද්ධයන් ලෙස තමන්ව හදුන්වා ගන්නා පිරිසක් දකින්න ලැබේ. නිරීක්ෂණය කරනු ලැබූ ඔවුන්ගේ මතවාද කිහිපයක් නම්,
– පෙර භවය, මතු භවය ආදී බුදු දහමේ එන ප්‍රධාන සංකල්ප ප්‍රතික්ෂේප කරයි.
– ඩාවිනීය පරිණාමවාදය සම්පුර්ණයෙන්ම පිළිගනියි.
– ලාභ සත්කාර ගැනීමට ඇති උවමනාව නිසා භික්ෂුන් මතු භවයක් ගැන දේශනා කර බෞද්ධයන් භය කර ඔවුන් ආත්මවාදයක්ට යොමුකරන බව පවසයි.
– නැවත ඉපදීම, දිව්‍ය ලෝක, අපාය ආදිය ත්‍රිපිටකයේ සදහන් වන්නේ උපමා ලෙස මිස සැබෑ අර්ථයෙන් නොවන බව පවසයි.
– ශ්‍රද්ධාව හුදු භක්තියට සමාන කොට එතුලින් භික්ෂුන් බෞද්ධයන් මෝහයට යොමු කරන බව පවසයි. ශ්‍රද්ධාව යනු බුද්ධියේ ප්‍රතිවිරුද්ධ අන්තය වැනි අදහසක්.
– භික්ෂුන්ට දන්දෙනවාට වඩා අසරණ මිනිසුන්ට දන්දෙන එක වඩා හොද බව පවසන අතර පන්සල් යෑම අනවශ්‍ය බව පවසයි.
මෙම බෞද්ධයන් බොහෝවිට සංවාද කරන්නේ ඔවුන් වැනිම අදහස් දරන පිරිස්, නිර්-ආගමිකයන් හෝ උගත් අන්‍ය ආගමිකයන් සමගය. ඔවුන් නවීන විද්‍යාත්මක පරීක්ෂණ හා ආගමික සංකල්ප මිශ්‍ර කරමින් ඉතා ගැඹුරු සංවාද කරයි. එවැනි සංවාද නිරීක්ෂණය කරද්දී මතකයට නැගෙන්නේ කොෆීෂොප් වලට එකතුවී කකුලක් පිට කකුලක් දමාගෙන පැය ගණන් කෝපි බොමින් ඉතා ගැඹුරු දේවල් ගැන කතාබහ කරන නෝනාවරු සහ මහත්වරුය. එමනිසා ප්‍රතිපදාවේ යෙදීමට වඩා වාද විවාදයෙන් ආස්වාදයක් ලබා ගැනීමට ප්‍රියකරන එමපිරිස “කොෆීෂොප් බෞද්ධයන්” යනුවෙන් හැදින්විය හැකිය.
ෆේස්බුක් මිතුරෙක් විසින් දැමු පොස්ට් එකක තිබු අජාන් බ්‍රහ්මවංශ හිමියන්ගේ අදහස් කිහිපයක් කියවීමෙන් මෙම යෙදුම කොතරම් උචිතද යන්න තවදුරටත් පැහැදිලි වේ.
“බුද්ධාගම වැළඳ ගත් සමහරෙක් එය ඉතා විශිෂ්ඨ දර්ශනවාදයක් ලෙස සලකති. මගේ ධර්ම දේශනාවලින් පසුව ඔවුන් කෝපි මේසයක් වට හිඳිමින් පැය ගණන්ක් ධර්මය පිළිබඳ වාදවිවාද වල යෙදී සිටියද ඔවුහු සත්‍යාවබෝධයෙන් බොහෝ සේ දුරස්ථය. බොහෝ කොට මෙම පුද්ගලයන් ඉතා බැරෑරුම් දේ සාකච්ඡාවලට මුල් කොට ගත්තද එම අති උදාර විෂයන් පිළිබඳව ඔවුන් කතා කරන්නේ සිතන්නේ ඔවුන්ගේ මොළ වලින් පමණි.”
කොෆීෂොප් බෞද්ධයෝ (Coffee-shop Buddhists) කොෆීෂොප් බෞද්ධයෝ (Coffee-shop Buddhists) Reviewed by Fox Talks on 12:02 PM Rating: 5

No comments :

Powered by Blogger.