Chitral Chity Somapala



පහත ස්ක්‍රීන් ෂොට් වලින් දැක්වෙන්නේ චිත්‍රාල් සෝමපාල නම් මා ප්‍රිය කරන ගායකයා තමාගේ ෆේස්බුක් පිටුවේ දක්වා තිබු අදහස් දෙකකි. පළමුවෙන් දැක්වෙන්නේ ඉංග්‍රීසි කතාකරන ශ්‍රී ලාංකිකයන් ගැන ඔහුගේ මතයයි. ඉංග්‍රීසි කතා කිරීමම පමණක් සමාජ තත්වයක් ලබා ගැනීමට හේතුවක් වීම ඔහුගේ දෝෂ දර්ශනයට ලක්වෙයි.


දෙවනුවට දැක්වෙන්නේ පසුගිය නිදහස් දිනයේදී දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා ශෛලියට ගායනා කිරීම නිසා ඇතිවූ විවේචනයන්ට එරෙහිව ඔහු දැක්වු අදහස්ය. එහිදී දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා ආරට ගැයීමට එකඟවන චිත්‍රාල් එයවිවේචනය කරන්නන් තකතීරැවන් ලෙස හදුන්වයි.
සාමාන්‍ය නාගරික හා අර්ධ නාගරික ලාංකීකයන් හමුවන ෆේස්බුක් අවකාශයෙදී මෙම අවස්ථා දෙකට ලැබෙන ප්‍රතිචාර විශ්ලේෂණය කර බලමු. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කතා කිරීම මගින් සමාජ තත්වයක් පවත්වා ගැනීමට උත්සහ කරන පිරිස දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා ශෛලියට ගායනා කිරීම එතරම් බරපතල දෙයක් කොට නොසලකයි. එහි පද මාලාවේ නොගැලපීම, වචන උච්චාරණය ආදී කරැණු සම්බන්ධයෙන් කෙරෙන ශාස්ත්‍රීය මට්ටමේ විවේචනයන් විනා එමගින් ආගමට හා සංස්කෘතියට අගෞරවයක් වනවා කියා අදහසක් ඔවුන්ට නැත.
ඉංග්‍රීසි කතා කිරීම මගින් සමාජ තත්වයක් පවත්වා ගැනීමට උත්සහ නොකරන පිරිස එසේ නොකරන්නේ භාෂා භාවිතය මගින් සමාජ තත්වයක් ඇතිකර ගැනීමට තරම් හීන මානයකින් නොපෙලෙන නිසා හෝ ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි නිසා හෝ විය හැකිය. එම පිරිසෙන් බහුතරය බුදුගුණ ගීතයක මට්ටමෙහිලා සැලකිය හැකි දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා ශෛලියට ගායනා කිරීම සම්බන්ධයෙන් පැහැදීමක් ඇත්තේම නැත. ඔවුන් එම ගීත ගායනය සම්බන්ධ විවේචනය උපහාසයේ සිට අපහාසය දක්වා පරාසයකට රැගෙන යයි.
නමුත් කොළඹ හැදී වැඩි ජර්මනියේ බොහෝ කාලයක් වාසය කල අයෙකු වන චිත්‍රාල් මෙම අවස්ථා දෙකට අතරමැද හැසිරීමක් පෙන්නුම් කරන්නේ ඇයි? දන්නෝ බුදුන් ඔපෙරාකරණය සම්බන්ධයෙන් ගැටළුවක් නැති ඔහුට ඉංග්‍රීසි කථනය මගින් සමාජ තත්වයක් පවත්වාගෙන යාම ගැනීම ගැටළුවක් වෙයි. මා සිතන ආකාරයට ඉංග්‍රීසි කතා කිරීම සමාජ තත්වයක් පවත්වා ගැනීමට තරම් හේතුවක් නොවේ යැයි සිතීමට චිත්‍රාල්ට අවශ්‍ය පසුබිම සෑදෙන්නේ ඔහු සිටින ජර්මානු සංස්කෘතියේ ලක්ෂණයක් නිසා විය හැක. ජර්මනිය තුලදි ඉංග්‍රීසි භාෂාවට එතරම් පිළිගැනීමක් ලැබෙන්නේ නැත. ජර්මනිය තුලදී සෑම විටම මුල් තැන ලැබෙන්නේ එම භාෂාවට මිස ඉංග්‍රීසියට නොවේ. එමෙන්ම ඉංග්‍රීසිය ජර්මනියෙදී සමාජ තත්වයක් අත්කර දෙන මෙවලමක් ලෙසද නොසැලකේ. එය ජර්මානු ජාතිකවාදයේ ආභාෂයෙන් ඇතිවු දෙයක් වියහැක. නිතරම තම මව් භාෂාවට ප්‍රමුඛත්වයක් ලබාදෙන රටක සිටින චිත්‍රාල්ට තම මව්රටේදී එහි ප්‍රතිවිරැද්ධ ලක්ෂණ දක්නට ලැබෙන විට එය සම්බන්ධව විරෝධාකල්පයක් ඇතිවිය හැක. නමුත් ලාංකික සමාජයේදී බුදුගුණ ගීයකට සමාන පිළිගැනීමක් ඇති දන්නෝ බුදුන්ගේ ගීතයට සිදුවු විපර්යාසය ගැන චිත්‍රාල්ට විශාල ගැටළුවක් මතුවන්නේ නැත. එහිදී ඔහු ලංකාවේ තමාගේ සමාජ පන්තිය නියෝජනය කරන්නන් හා එකඟ වෙයි.
කෙසේ නමුත් ජර්මානු සංස්කෘතියේ අභාෂයෙන් හෝ ඉංග්‍රීසි කතා කිරීම මගින් සමාජ තත්වයක් පවත්වාගෙන යාම වැනි විකාරරූපී සමාජ සම්මතයක් විවේචනය කිරීම සම්බන්ධයෙන් චිත්‍රාල්ට මම ස්තුතිවන්ත වෙමි.





Chitral Chity Somapala Chitral Chity Somapala Reviewed by Fox Talks on 11:58 AM Rating: 5

No comments :

Powered by Blogger.