අද රටේ තත්වය ගැන කෙටි සමාලෝචනයක්




මහින්දගේ පරාජය සමඟ ඇතිවු ආණ්ඩු පෙරලියත් සමඟ රටේ නිතීය, සාමය, මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආදී සියලූම යහපත් දේවල් නැවත ස්ථාපිතවී ඇති නිසා මෙතෙක් කාලයක් කලාව කරගෙන යාමට නිදහසක් නැතැයි විස්සෝප වෙමින් සිටි අලුත් පරපුරේ කලාකරැවෝ දිගින් දිගටම නව නිර්මාණකරණයේ නිරත වෙමින් සිටිති. අලුත් පරපුර ඡන්දයට පෙර අසා තිබුණේ ශිෂ්ඨ නැති රටක ආර්ට් කරන්ඩ පුළුවන්ද කියායි. එයින් ඔවුන් අදහස් කරේ මහින්ද සිටින රට අශිෂ්ට රටක් වන බවයි. මහින්ද නැති රට දැන් ශිෂ්ඨ වී ඇත. එමනිසා ඔවුන් දැන් ආර්ට් කරනවා විය යුතුය. ඔවුන් එතරම් ක්‍රියාශිලි නැතැයි කියා අපට පෙනී යන්නේ එම නිසාය. ඉදිරි වසර කිහිපය ඇතුලත අපේ රටේ ගීත ජාත්‍යන්තර ගීත දර්ශකවල ඉහලින් වැජබෙන විට අපේ රටේ චිත්‍රපට වලට ලැබෙන ඔස්කාර් ඇතුළු ජාත්‍යන්තර සම්මාන වලින් ලාංකීය කලාකරැවන්ගේ රාක්ක, කැබිනෙට්ටු පිරි ඉතිරි යනවිට අලුත් පරපුර නිහඩව මේ දිනවල කරන කටයුතු වල ප්‍රතිඵල පෙනීයනු ඇත. අන්තර්ජාතික සම්මාන වලින් පුද ලද පසු ජගත් මනුවර්ණට ලැම්බොගිනියක් පැදීම තව දුරටත් සිහිනයක් නොවනු ඇත. බොහෝදුරට ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් චිත්‍රපට මාලාවට පෝල් වෝකර්ගේ අභාවය නිසා හිස්වු අඩුව ජගත් පුරවනු ඇත.
මහින්ද චින්තනය නිසා විධිමත්ව තමන්ගේ දේශපාලනික කටයුතු කරගැනීමට නොහැකිව සිටි දීප්ති කුමාර ගුණරත්නගේ වැන්ගාඩ් පක්ෂය තමන්ගේ සංවිධාන කටයුතු නැවත ආරම්භ කර ඇති බව ඔවුන්ගේ වේබ් අඩවිය හරහා දැනුම් දී ඇත. පසුගිය මැතිවරණයේදී ඡන්ද හතලිස් නවයක වාර්තාගත අඩු ඡන්ද ප්‍රතිඵලයට හේතුව ඔවුන් දිර්ඝ කාලයක් මහින්ද රේජීමයේ යකඩ සපත්තුවට අසුවී සිටිම නිසා විය හැකිය. දැන් පවතින නිදහස් සාමකාමී වටපිටාව තුල සිදුවන පක්ෂයේ සංවිධාන කටයුතු වලින් පසුව ඉදිරි මැතිවරණ වලදි ඔවුන් රටේ දේශපාලනයට තීරණාත්මක මැදිහත්වීමක් කරනු ඇත. ඔවුන්ගේ දේශපාලන පංති පැවැත්වීමට සුදුසු හිස් ගෙවල් මේ දිනවල සොයමින් සිටින බවද වේබ් අඩවියේ සදහන්ව තිබිණි.
දිර්ඝ කාලයක් තිස්සේ ඇණ හිට තිබු සංවර්ධන කටයුතු නැවත ඇරඹිමත් සමග රටේ ආර්ථිකයේ ඉදිරිගමන ගැන සෑහීමකට පත්විය හැකි තත්වයක් උදාවී ඇත. එම නිසා උදේ සිට රෑ නින්දට යනතුරැ ‘මහින්ද හොරා’ ‘රට ඉවරයි’ වර්ගයේ පොස්ට් ෂෙයාර් කල ෆේස්බුක් හිතවතුන් දැන් එ්වා අතහැර වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරතවී සිටිනවා දක්නට ලැබීම සතුටට කරැණකි. එය මහින්දවාදීන්ගේ ශරිර සෞඛ්‍යයටද හිතකරවේ. පවතින ආණ්ඩුව පෙරලීමට තරම් තත්වයක් හෝ බරපතල විවේචනයක් කලයුතු මට්ටමේ සිද්ධියක් හෝ තවමත් උදාවී නැති නිසා ඔවුන් ක්‍රීඩා තරඟ නැරඹීම, මල් පාත්ති සකස් කිරීම, ධර්ම ප්‍රචාරක කටයුතු හා භාවනාව, ස්භාව සෞන්දර්ය රස විදීම, ආහාර පිසීම, සති අන්තයේ පික්නික් යෑම, යෝගී ව්‍යායාම වල නිරතවීම ආදී කටයුතු වල නිරත වෙනවා දක්නට ලැබේ.
අතිගරැ ජනාධිපතිතුමා පොළොන්නරැවේ සිට රාජ්‍ය තාන්ත්‍රික වැඩ කටයුතු සිද්ධ කරන අතර කොළඹ සිදුවන වැදගත් සිදුවීම් පවා දැනගන්නේ දිනපතා පුවත්පත් වලිනි. ජනතා විමුක්ති පෙරමුණට මැදිහත් වියයුතු මට්ටමේ අලුත් වර්ගයේ ගැටළුවක් රටේ තවම උද්ගතවී නැති අතර නැවත මේ ආණ්ඩුව යටතෙත් උද්ගතවී ඇති පරණ වර්ගයේ ගැටළුවලට ප්‍රමාණවත් මැදිහත්වීම් මහින්ද රේජීමය පවතින කාලයේ සිදුකල නිසා නැවත නැවතත් එකම දෙය කිරීම කාලය කා දැමීමක් පමණක් බව සිතයි. පාඨලී චම්පික රණවක ආගිය අතක් නැති අතර උපුල් ශාන්ත සන්නස්ගල උසස් පෙළ ළමයින්ට නැවත සිංහල උගන්වන ගමන් තමන්ට දේශපාලන විද්‍යාව පංතියක් ගුරැවරයෙක් නිවසට ගෙන්වාගෙන පවත්වාගෙන යයි. කිසිම විචාර බුද්ධියක් නැති සුළු පිරිසක් පමණක් අහේතුකව ආණ්ඩුවේ සෑම දෙයකටම දොස් කියමින් දවස ගෙවා දමයි. නමුත් සමස්ථයක් වශයෙන් රට මහින්ද රේජීමය පැවතුණු කාලයට වඩා සැහෙන තත්වයක පවතියි.
අද රටේ තත්වය ගැන කෙටි සමාලෝචනයක් අද රටේ තත්වය ගැන කෙටි සමාලෝචනයක් Reviewed by Fox Talks on 11:42 AM Rating: 5

No comments :

Powered by Blogger.