පානම සංස්කෘතිය


පානම ප්‍රදේශය - නිවැරදි නම පානව වියයුතුය - ලංකාවේ ඇති සුවිශේෂී සංස්කෘතික කලාපයක් ලෙස හැඳින්විය හැකිය. එසේ හැඳින්විය හැක්කේ බාහිරින් බලන විට පානම සංස්කෘතිය වෙනත් සංස්කෘති කිහිපයක මිශ්‍රණයක් ලෙස පෙනෙන නිසා ය. පානම වැසියන්ගේ ජීවනෝපාය මාර්ගය වී ගොවිතැන නිසා එහි රජරට වැව්බැඳි සංස්කෘතියේ ලක්ෂණ ද මුහුදට ආසන්නව පිහිටීම නිසා දකුණු මුහුදුබඬ සංස්කෘතියේ ඇතැම් ලක්ෂණ ද දක්නට ලැබෙයි. උදාහරණයකට මාළු ඇඹුල් තියල් දැමීම දකුණු පළාතට සුවිශේෂී වූ මාළු සැකසීමේ ක්‍රමයකි. පානම වැසියන් ද මාළු වලට අමු දිවුල් හිරමණෙන් ගා මිශ්‍ර කර පානමට ආවේනික ලෙස ඇඹුල් තියල් හා සමාන ලෙස මාළු පිළියෙළ කරයි. ගම්මැද්දේ සිටිනවිට රජරට වී ගොවිතැන් කරන ගමක සිටින සේ හැඟුනත්, පානම දර්ශනීය මුහුදු තීරයට ආකර්ශනය වන සංචාරකයන් නිසා නැවත දකුණේ සංචාරක කලාපය සිහිගන්වයි.

දෙමළ ජනයා අාවාහ විවාහ කටයුතු වලින් පානමට සම්බන්ධ වී ඇති බැවින් හින්දු සංස්කෘතියේ ලක්ෂණ ද ⁣එහි දක්නට ලැබේ. මෙහි ඇති විශේෂ ලක්ෂණයක් නම් පානම ගමට විවාහයක් මඟින් සම්බන්ධ වන දෙමළ අයෙක් විවාහ⁣යෙන් පසු පානම පදිංචියට පැමිණිය හොත් ඔහු හෝ ඇය සිංහල වන අතර පානමින් දෙමළ ගමකට විවාහ වී යන අයෙක් ඉන්පසු දෙමළ වේ. එනම් එක් එක් ප්‍රදේශයේ ප්‍රධාන සංස්කෘතියට අවශෝෂණය වන අතර ඔවුන්ගේ මුල් සංස්කෘතියේ ලක්ෂණ ද නව සංස්කෘතියට එක් කිරීමක් ද සිදුවේ. පානම වැසියන් බෞද්ධයන් වුවත් දේව ඇදහිල්ල ද ඔවුන්ගේ ආගමික ඇදහිලි අතර දක්නට ලැබෙයි. පත්තිනි හා අලුත් බණ්ඩාර දේව ඇදහිල්ල එයින් ප්‍රධාන ය. ගමට දේවාරක්ෂාවක් තිබෙන බවට පානම වැසියන්ගේ දැඩි විශ්වාසයක් පවතින අතර එය තහවුරු කිරීමට සමත් කරුණු කාරණා ද ඔවුන් සතුව තිබේ.

⁣යාපනයේ සිට වාර්ෂිකව කතරගමට පාද චාරිකාවේ යෑම දෙමළ වැසියන්ගේ පුරුද්දකි. පානම වැසියන් ද යාල වනාන්තරය හරහා වාර්ෂිකව එම කතරගම වන්දනා ගමනට එකතු වෙයි. පානම ඇතැම් නිවෙස් වල දක්නට ලැබෙන යාපනයේ ගොවියන් වතුර ලබාගැනීමට භාවිතා කරන වර්ගයේ ආඬියා ළිද ද මෙම සංස්කෘතික මිශ්‍රණයේ ලක්ෂණයක් ලෙස හැඳින්විය හැක. බාහිර නිරීක්ෂකයෙකු ලෙස මට විවිධ සංස්කෘතික ලක්ෂණවල එකතුවකින් පානම සංස්කෘතිය සකස් වී ඇතැයි සිතුනත් දැන් එහි ඇත්තේ පානමටම අනන්‍ය වූ සංස්කෘතියක් විය හැකිය. සංචාරක කර්මාන්තයේ ව්‍යාප්තියත් සමඟ ඉදිරියේදී පානම සංස්කෘතිය තවදුරටත් වෙනස්කම් වලට භාජනය වියහැක.
පානම සංස්කෘතිය පානම සංස්කෘතිය Reviewed by Fox Talks on 11:00 AM Rating: 5

No comments :

Powered by Blogger.