ආචාර්ය සිරාන් දැරණියගල: පවුල් පසුබිම

 



පසුගියදා අභාවප්‍රාප්ත වූ ආචාර්ය සිරාන් දැරණියගල මහතා ලංකාවේ පුරාවිද්‍යා කේෂත්‍රයට සිදුකල සේවය ගැන බොහෝදෙනෙක් දැනුවත් නිසා ඔහුගේ පවුල් පසුබිම සම්බන්ධව මා කියවා ඇති කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත.


ආචාර්ය සිරාන් දැරණියගල උපත ලබා ඇත්තේ වර්ෂ 1942 දී රත්නපුර ප්‍රදේශයෙදීය. ඔහුගේ පියා P.E.P දැරණියගල මහතා වන අතර මව ප්‍රීනි මොලමුරේ මහත්මියයි. ලංකා ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂකවරයෙක් වන P.E.P දැරණියගල මහතා පුරාවිද්‍යා කේෂත්‍රයේ ද විශිෂ්ඨයෙක් ලෙස සැලකෙන අයෙක්. ඔහු ලංකාවේ ප්‍රාග් ඵෙතිහාසික මානවයන් පිළිබඳ සිදුකල පර්යේෂණ මඟින් මධ්‍ය ශිලා යුගයට අයත් බලංගොඩ මානවයා හා බලංගොඩ සංස්කෘතිය පිළිබඳ කරුණු අනාවරණය කොට එම මානවයාට "හොමෝ සේපියන්ස් බලංගොඩෙන්සිස්" යන නාමකරණය ලබා දී ඇත. 




P.E.P දැරණියගල මහතාගේ පියා පෝල්. E. පීරිස් මහතා වන අතර මව හිල්ඩා ඔබේසේකර මහත්මියයි. ⁣1896 ලන්ඩනයේ පැවැත් වූ ලංකා පරිපාලන සේවා විභාගයට  මුහුණ දුන් පෝල්. E. පීරිස් මහතා, එම විභාගය සමත් වූ ප්‍රථම සිංහල ජාතිකයා බවට පත්විය. පරිපාලන සේවයේ නිලධාරියෙකුටත් වඩා ඒ මහතා ප්‍රකට වී සිටින්නේ කීර්තිමත් ඉතිහාසඥයෙකු ලෙසටය. විශේෂයෙන්ම ලංකාවේ යටත්විජිත යුග පිළිබඳ සිදුකල අධ්‍යයනයන් සහ ඒ සම්බන්ධව පළකල කෘති ඔහුගේ විශිෂ්ඨත්වයට සාක්ෂි සපයයි. ලංකාවේ පෘතුගීසි යුගය ගැන රචනා කර ඇති Ceylon, the Portuguese Era (1914) කෘතිය ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධියක් උසුලයි. 




පොල්. E. පීරිස් මහතාගේ බිරිඳ වූයේ දානපතිනියක් හා සමාජ සේවිකාවක් වූ හිල්ඩා ඔබේ⁣සේකර මහත්මියයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක් ඉදිකිරීමට සිදුකල ධන පරිත්‍යාගය නිසා එම නේවාසිකාගාරය  හිල්ඩා ඔබේ⁣සේකර ශාලාව ලෙස නම් කර ඇත. 





පෝල්. E. පීරිස් මහතා විශ්‍රාම යෑමෙන් පසුව එම යුවල පස්යාල නුගදොල වතුයායේ වලව්වක් ඉදිකර ඇති අතර පසුව එය ප්‍රසිද්ධ වූයේ පිළිමතැන්න වලව්ව ලෙසටය. හිල්ඩා ඔබේ⁣සේකර මහත්මියගෙන් පසුව රැල්ෆ් පීරිස් දැරණියගල මහතාට එම වලව්ව උරුම වූ අතර පසුව X-Files කතා මාලාවේ රඟ පෑ  ජනප්‍රිය හොලිවුඩ් නිළියක් වූ ගිලියන් ඇන්ඩසන් මහත්මිය විසින් එම වලව්ව මිලදී ගෙන ඇත.  




ශ්‍රි ලාංකික හවුල්කරුවන් සමඟ ඇති වූ ආරවුලක් නිසා ගිලියන් ඇන්ඩසන් මහත්මියට වලව්ව විකුණා දැමීමට සිදුවූ අතර දැන් එහි Viceroy House නම් හෝටලයක් පවත්වාගෙන යයි.









ආචාර්ය සිරාන් දැරණියගල: පවුල් පසුබිම ආචාර්ය සිරාන් දැරණියගල: පවුල් පසුබිම Reviewed by Fox Talks on 10:44 AM Rating: 5

No comments :

Powered by Blogger.