කොකා කෝලා විරෝධය සහ පරිභෝජනවාදී වරදකාරීත්වයෙන් නිදහස්වීම




01. ස්ලැවෝජ් ජිජැක් තර්ක කරන්නේ පරිභෝජනවාදය සමග සදාචාරාත්මක මානයන් සම්බන්ධ කිරීම මගින් පරිභෝජනවාදී වරදකාරීත්වයේ හැඟිමෙන් නිදහස්වීමට හැකියාවක් ලැබෙනවා කියායි. ඔහු එය පැහැදිලි කිරීමට ස්ටාර්බක්ස් කෝපි සමාගමේ අලෙවිකරණ උපායමාර්ගයක් යොදාගනී.


මම දිනපතාම ස්ටාර්බක්ස් කෝපි පානය කරන්න හුරැ වෙලා ඉන්නවා. නමුත් ඔබ දන්නවාද? ස්ටාර්බක්ස් අවන්හලකින් කෝපි කෝප්පයක් මිලදී ගන්නාවිට එත් සමගම අපි ඒහා බැදුනු දෘෂ්ටිවාදයකුත් මිලදී ගන්නා බව? මොකක්ද ඒ දෘෂ්ටිවාදය?

ඔබ දැක ඇති, ස්ටාර්බක්ස් අවන්හලකට ඇතුළුවන විට දක්නට ලැබෙන පොස්ටරයේ ඇති පණිවිඩය.
” ඔව්, අපේ කෝපි අනෙක් අයගේ කෝපි වලට වඩා ගණන් වැඩියි තමයි. නමුත් අපේ සම්පුර්ණ ආදායමෙන් 1% අපි ලබා දෙනවා ගෝතමාලාවේ දරැවන්ගේ සනීපාරක්ෂක කටයුතු සදහා, සහරා කාන්තාරබද ගොවියන්ට ජල පහසුකම් සැපයීම සදහා, වනාන්තර ආරක්ෂා කිරීම සදහා, කාබනික පොහොර යෙදු කෝපි වගාවන් සදහා ආදී වශයෙන්. ”
උපායක් වශයෙන් මේ විසදුමේ ඇති දක්ෂතාවය මම අගය කරනවා. කලින් පැවති සරළ, සාම්ප්‍රදායික පරිභෝජනවාදී ක්‍රියාවලියේදී සිදුවන්නේ මුලින්ම ඔබ යම්කිසි දෙයක් මිලදී ගන්නවා. ඉන්පසු ඔබට ඒ පිළිබදව වරදකාරී හැඟීමක් ඇති වෙනවා.
” දෙවියනේ, මම අත්‍යාවශ්‍ය නොවන දේවල් පවා මිලදී ගැනීමට හා අයිතිකර ගැනීමට හදද්දී අප්‍රිකාවේ මිනිස්සු කොච්චර කන්න නැතුව දුක් විදිනවද?… ”

එමනිසා මෙයින් ලබාදෙන අදහස නම් ඔබගේ නාස්තිකාර පරිභෝජනවාදී පුරැදු වලට එරෙහිව යමක් කලයුතුයි යන්නයි. උදාහරණයකට ඔබට අවශ්‍යනම් පුණ්‍ය කටයුතු ආදියට යම්කිසි පරිත්‍යාගයක් කලහැකිය.
ඉහත ස්ටාර්බක්ස් අවන්හලට ඇතුළු වන තැන ඇති පොස්ටරයේ අදහසට අනුව වැඩිපුර මුදලක් ගෙවා කෝපි කෝප්පයක් මිලදී ගැනීම මගින් ස්ටාර්බක්ස් සමාගම ඔබව වරදකාරී හැඟිමෙන් මුදවාගත් පරිභෝජනවාදීයෙක් බවට පත්කරනවා. ඒසේ වන්නේ පරිභෝජනවාදයට එරෙහිව ගනුලබන ක්‍රියාමාර්ග වලට අදාල මිලත් කලින්ම භාණ්ඩයට ගෙවන මිලේම අඩංගුවී ඇති නිසාය. ස්ටාර්බක්ස් කෝපි කෝප්පයකට වැඩිපුර මිලක් ගෙවීම නිසා ඔබ හුදු පරිභෝජවාදීයෙක් පමණක් නොව පරිසරය ආරක්ෂා කිරීමට, දුප්පත්කම තුරන් කිරීමට, අප්‍රිකාවේ කුසගින්නේ සිටින මිනිසුන් එයින් මුදවා ගැනීමට කලයුතු යුතුකම සිදුකල පුද්ගලයෙක්ද වෙනවා.
02. ස්ලැක්ටිවිස්ම් (Slacktivism) යනුවෙන් හැදින්වෙන්නේ යම්කිසි සාමාජීය කාරණයක් හෝ ගැටළුවක් සම්බන්ධයෙන් භෞතිකව හෝ ප්‍රයෝගික සහභාගීත්වයක් නොමැතිව අතථ්‍ය (Virtual) අවකාශයෙදී එම කාරණා සදහා සහභාගි වීමය. ස්ලැක්ටිවිස්ම් සම්බන්ධයෙන් බහුලව දක්නට ලැබෙන ක්‍රියාමාර්ග කිහිපයක් නම් අන්තර්ජාල පෙත්සම් වලට අත්සන් කිරීම, ෆෙස්බුක් ටුවිටර් වැනි සමාජජාල වල ඒහා සම්බන්ධ ස්ටේටස් දැමීම, එවාට ලයික් කිරීම, ෂෙයාර් කිරීම ආදිය, එම කාරණයට අදාලව සැකසු සමාජජාල සමූහ වලට සම්බන්ධවීම ආදිය දැක්විය හැකියි.
යම්කිසි සාමාජීය කාරණයකට අතථ්‍ය අවකාශය හරහා පමණක් සහභාගිවීම නිසා බොහෝදුරට සිදුවන්නේ සාමාජීය කාරණාවකට කෙසේහෝ මැදිහත්වීමට ඇති ආශාව ඉෂ්ඨවීම නිසා තමන්ට ලැබෙන සන්තෝෂය පමණි.

කොකා කෝලා විරෝධය සහ පරිභෝජනවාදී වරදකාරීත්වයෙන් නිදහස්වීම.
පරිසරය දුෂණය හා අධි පරිභෝජනවාදී ජීවන රටාවන් අතර සම්බන්ධයක් පවතී. භාණ්ඩ පරිභෝජනය වැඩි වන්න වැඩි වන්න එම භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමට ස්භාවික සම්පත් යොදාගැනීම නිසා මෙන්ම භාණ්ඩ පරිභෝජනයෙන් පසු එකතුවන අපද්‍රව්‍ය නිසාද පරිසරයට හානි සිදුවේ. විධිමත් ලෙස කැළිකසල කළමනාකරණය නොවෙන නගරයක සිටින මිනිසුන්ගේ ජීවන රටාව පරිසර දුෂණයට බලපෑමක් ඇතිකරයි. ලංකාවේ නගරවල දක්නට ලැබෙන කැළිකසල ප්‍රමාණය දකිනවිට ඒ පිළිබද අදහසක් ලැබේ.
තම පරිභෝජනවාදී ජීවන රටාවම පරිසරයට අහිතකර ලෙස සැකසී ඇතිවිට පරිභෝජනයේ වරදකාරී හැඟීම ලෙස ලංකාවේ නාගරිකයෙකුට දැනෙන්නේ තමාගෙන් පරිසර දුෂණයට ලැබෙන සම්මාදමය. එම වරදකාරී හැඟිම යටපත් කිරීම කැළිකසල ඉවත්කිරීම භාර ආයතනයට දොස් පැවරීම මගින් කලහැකි අතර ප්‍රතීචක්‍රීයකරණය කලහැකි ෆුඩ්සිටි ගෝ-ග්‍රීන් බෑග් හෝ කීල්ස් සුපර් රේඩ් බෑග්(save planet earth) භාවිතයට ගනිමින් තවදුරටත් යටපත් කලහැකිය.
වැඩි මිලක් ගෙවා කෝපි කෝප්පයක් මිලදී ගැනීම හෝ පරිසර හිතකාමී ඇසුරැමක් මිලදී ගැනීම වැනි ක්‍රමයකින් යම් මිලක් ගෙවා පරිභෝජනවාදී වරදකාරීත්වයේ හැඟිම යටපත් කරනවා වෙනුවට අතථ්‍ය අවකාශය හරහා යම් පාරසරික ගැටළුවකට විරෝධය පෑම මගින් එම අවශ්‍යතාව තවත් පහසුවෙන් ඉෂ්ඨ කරගැනීමට හැකියාවක් ලැබේ. ඉහත ස්ලැක්ටිවිස්ම් යන සංකල්පයෙන් විස්තර කෙරැනේ එයයි. කැලණි ගඟට තෙල් එකතුවන සිද්ධිය මුල්කරගෙන එයට අන්තර්ජාලය හරහා විරෝධය දැක්වුවන්ගේ බහුතරයක් එ් දක්වා කොකා කෝලා පානය කෙරැ අය හෝ තවමත් පානය කරන්නන් හෝ විය හැකිය. එහෙත් සමාජජාල හරහා කොකා කෝලා සමාගමට එරෙහිව ගොඩ නැගුණු විරෝධතාවයන්ට ෂෙයාර්, ලයික්, කොමෙන්ට් මගින් සම්බන්ධ වීමෙන් පරිසරය වෙනුවෙන් යමක් කිරීමට ඔවුන්ගේ ඇති ආශාව පිලිබිඹුවේ. තමන්ගෙන් පරිසර සංරක්ෂණයට වියයුතු යුතුකම ඉටුවුවා යන අදහසක් එයින් ඇතිකරගත හැක. එයින් එම ගැටළුවට සැබෑ ලෙසම බලපෑමක් සිදුවීම (tangible effect) අත්‍යාවශ්‍යම නොවේ. ජිජැක්ගේ අදහසක් අනුව යමින් පාරිභෝගිකයාගේ හෘදසාක්ෂියට ආලේපනයක් ලෙස මෙම හැසිරීම හැදින්විය හැක. මෙයට පෙර තිබු විල්පත්තු අභය භූමිය බේරාගැනීමට අන්තර්ජාලය හරහා දියත්වු සටනත් වනාන්තර/පරිසරය/ලෝකය රැකගැනීමට තමන්ගෙන් වියයුතු යුතුකම පෙන්වු අවස්ථාවක් විය.
කොකා කෝලා විරෝධය සහ පරිභෝජනවාදී වරදකාරීත්වයෙන් නිදහස්වීම කොකා කෝලා විරෝධය සහ පරිභෝජනවාදී වරදකාරීත්වයෙන් නිදහස්වීම Reviewed by Fox Talks on 11:36 AM Rating: 5

No comments :

Powered by Blogger.