කොළඹ-නුවර ඉන්ටර්සිටි කෝච්චියේ දෙවන පංතිය




දැනට අවුරැදු අට නමයකට කලින් අප සතිඅන්තයේ නුවර පැමිණ නැවත කොළඹ යාමේදි කොළඹ-මහනුවර ඉන්ටර්සිටි කෝච්චියේ දෙවන පංතියේ පෙට්ටිවල ඉදහිට ගමන් කරන්නෙමු. ඉදහිට යනවා කිවේ නිතර නිතර දෙවැනි පංතියේ යෑමට වත්කමක් නොතිබු නිසාත් ටිකට්පත් ලබා ගැනීමට තිබු අසීරැතාවයත් නිසාය. දුම්රිය පිටත්වීමට ආසන්න වෙලාවක ගොස් ටිකට්පතක් ලබාගැනීමට හැකිවීම වාර්තාගත තත්වයකි. පහසුවෙන් ටිකට්පතක් ලබා ගැනීමට අවශ්‍යනම් දුම්රිය දෙපාර්තමේන්තුවේ බලවත් ඉන්ටර්නල් පොලිටික්ස් තිබිය යුතුය. නැතිනම් සතියට දෙකකට කලින් ගොස් වෙන්කරවා ගත යුතුය. අභ්‍යාවකාශ චාරිකාවක් සදහා ආසනයක් වෙන්කරවා ගැනීම ඊට වඩා පහසුය. නුවරින් ටිකට් දීම අවසන්වු පසු කෝකටත් පේරාදෙණියටත් ගොස් බලන එක හොඳයි කියා තීරණය කරන අවස්ථාත් ඇත. පේරාදෙණිය ස්ටේෂන් එකට ගොස් ඉතිරිවු ටිකට් තිබේදැයි දැනගැනීමට ටිකට් කවුන්ටරයේ ටික වේලාවක් එල්ලී සිටිය යුතුය. ගරැ ගාම්භීර දුම්රිය නිළධාරීන් ඔෆීසියේ මේස වටා පැවැත්වෙන බරපතල සාකච්ඡා අතරතුර අප කවුළුවේ එල්ලී සිටිනවා අහම්බෙන් හෝ දැක්කොත් පැමිණ හේතුව විමසීමේ සම්භාවිතාවයක් ඇත.
“ඇයි?”
” ලබන සතියේ ඉරිදා හවස ඉන්ටර්සිටි කෝච්චියේ සකන්ඩ් ක්ලාස් ටිකට් එකක් ගන්න පුළුවන්ද?”
“ටිකට් ඉවරයි”
ඉදහිට විදේශිකයෙක්, කුඩා පවුලක් හෝ අප වැනි කොළඹ නැවතී කෝස් කරන අයෙක් හැර ඉරිදා හවස ඉන්ටර්සිටි කෝච්චියේ කොළඹ යන පිරිස ස්ටීරියෝටයිප් කිරීමේ හැකියාවක් ඒ දවස්වල තිබුණි.
ඉරිදා හවස කෝච්චියේ වැඩිපුර යන්නේ කොළඹ නැවතී සතියේ දිනවල පෞද්ගලික අංශයේ කොම්පැණිවල වැඩකරන සතිඅන්තයේ නුවර එන මධ්‍ය පාංතික පිරිමින් හා ගැහැණුන්ය. එකිනෙකා එතරම් නොහඳුනන ඔවුන් බොහෝවිට හුදකලාවේ ගමන් කරයි. එකිනෙකා සමග කතාකරන අයත් බොහෝවිට ඉංග්‍රීසි බසින් හෝ ඉංග්‍රීසි වචන වැඩි සිංහලෙන් කතාකරයි. ඔවුන් තමන්ගේ ඔෆීසියේ රාජකාරි ගැන හෝ රටේ ආර්ථිකය ගැන හෝ කතාබහ කරමින් යති. තවත් කොටසක් විශේෂයෙන්ම කාන්තාවන් ඉංග්‍රීසි නවකතා පොතක් හෝ සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක් හෝ කියවමින් යයි. අහල පහල පෙට්ටි දෙක තුනටම සිංහල පුවත්පතක් බලන්නේ බොහෝවිට අප පමණය. සන්ඩේ ඔබ්සවර් එකක් ඉදහිට ගන්නේ ජොබ් වේකන්සීස් බැලීමට හෝ අලුත් බෝඩිමක් සෙවීමටය. ඉරිදා හවස ඉන්ටර්සිටි කෝච්චියේ දෙවන පංතියේ ගමන් කරන අය ඉස්සෝ වඩේ මිලදී ගන්නේ නැත.
අප විසින් ස්ටීරියෝටයිප් කර සිටි කොළඹ පොෂ් කෙල්ලන්ගේ නුවර ආදේශකය දැකගත හැක්කේ ඉන්ටර්සිටි කෝච්චියේය. ඔවුන් මොස්තරකාරියන්ය. කොණ්ඩය ස්ට්‍රෙට්ය. පියා හෝ සහෝදරයෙක් වාහනයකින් ස්ටේෂම අසලට පැමිණ ඇරලවායාම බොහෝවිට සිදුවේ. කොළඹට යන තෙක් පොත්, මැගසින් කියවීම හෝ එම්පීත්‍රී ප්ලෙයර් වලින් සිංදු ඇසීම සිදුකරයි. අපට ප්‍රවේශවීමට අපහසුය.
අවුරැදු අට නමයකට පසුත් ටිකට් ගැනීමේ ක්‍රමයේ වෙනසක් නැතිබව පෙනෙන්ඩ තිබෙන නමුත් අනෙක් තත්වයන් ගැන වැටහීමක් නැත.
කොළඹ-නුවර ඉන්ටර්සිටි කෝච්චියේ දෙවන පංතිය කොළඹ-නුවර ඉන්ටර්සිටි කෝච්චියේ දෙවන පංතිය Reviewed by Fox Talks on 11:54 AM Rating: 5

No comments :

Powered by Blogger.