ගේම් ඔෆ් ත්‍රෝන්ස් (Game of Thrones)



මේ වනවිට ලෝකයේ වඩාත් ජනප්‍රියම රෑපවාහිනි කතාමාලාව ලෙස ගේම් ඔෆ් ත්‍රෝන්ස් (Game of Thrones) අවිවාදයෙන්ම සැලකිය හැකිය. වෙස්ටරස් නම් මහද්වීපයක ඇති රාජධානි හතක සිටින වංශවත් පවුල් හතක් විසින් අයන් ත්‍රෝන් නමින් හැදින්වෙන සිංහාසනයකට අයිතිවාසිකම් කීමට කරන සාහසික අරගලයන් මෙම කතාමාලාවට පාදකවේ. ෆැන්ටසි කතාමාලාවක් ලෙස හැදින්වුවත් මෙම කතාමාලාවේන් නිරෑපිත ලෝකය මධ්‍යකාලීන යුරෝපයේ ස්වරෑපයට යම් සමාන කමක් දක්වන බව පෙනීයයි. මෙම රෑපවාහිනි කතාමාලාවට පාදකවු ජෝර්ජ්. ආර්. ආර්. මාටින්ගේ A song of Ice and Fire නම් නවකතා මාලාව ලිවීමට යුරෝපානු ඉතිහාසයේ යම් ඓතිහාසික සිදුවිම්වල ආභාශය ලැබි ඇති බව කියවේ. විශේෂයෙන්ම කතාමාලාවේ ඇති වංශාධිපති පවුල් අතර ගැටුම් ගැන ලිවීමට මූල බීජය ලැබි ඇත්තේ මධ්‍යකාලීන එංගලන්තයේ වංශාධිපති පවුල් දෙකක් වන හවුස් ඔෆ් ලැන්කැස්ටර් හා හවුස් ඔෆ් යොර්ක් අතර එංගලන්ත රජකිරැළ සදහා පැවති රෝස යුද්ධ නමින් හැදින්වුන සටන් මාලාවය. මධ්‍යකාලීන යුරෝපීය සමාජය සිහි ගැන්වෙන තවත් එක් සිදුවීමක් නම් ප්‍රධාන නගරයේ සිටින හයි සෙප්ටන් නම් ආගමික නිකායක ජුජකයන් විසින් බ්ලැස්ෆමි හා අසම්මත ලිංගික චර්යාවන්ගේ යෙදුනු පුද්ගලයන්ට ආගමික හේතුන් මත දඩුවම් පමුණුවන අවස්ථාවයි. මෙය මධ්‍යකාලීන කතෝලික පල්ලියේ හැසිරීම පෙන්නුම් කරයි. මෙවැනි යථාර්තවාදී සිදුවිම් පැවතුනත් බොහෝ ෆැන්ටසි කතාමාලා වල දක්නට ලැබෙන මන්ත්‍රකාරියන්, මායාකාරී දර්ශන මෙන්ම මකරැන් සම්බන්ධව ජවනිකාද මෙයට ඇතුලත්ය. එමනිසා මෙම කතාමාලාව තුලින් ඉන්ද්‍රජාලික යථාර්තවාදයේ ලක්ෂණද පෙන්නුම් කරන බව සමහරැන් පැවසුවත් එය එතරම් සාර්ථක වර්ග කිරීමක් නොවනබව තවත් සමහරැ පවසයි. නමුත් සමස්ථයක් වශයෙන් ගත්කල ලෝඩ් ඔෆ් ද රිංග්ස් වැනි චිත්‍රපට මාලාවකට සාපෙක්ෂව යථාර්තයෙන් ඉවතට යන (escapist fiction) ලක්ෂණ මෙහි අවමය.
අතිශය සංකිර්ණ පුද්ගල චරිත හා සංකීර්ණ දේශපාලන වටපිටාවකින් යුත් සිදුවීම් වලින් සමන්විත වුවත් මෙය ඉතාමත් ඉහල ප්‍රෙක්ෂක ආකර්ෂණයක් ලබාගැනිමට සමත්වී ඇත. එමනිසා කතාමාලාවේ සිදුවීම් වලට වඩා මෙම අසාමාන්‍ය ප්‍රෙක්ෂක ප්‍රතිචාර ගැන අධ්‍යනයක් කිරීම වඩාත් සිත්ගන්නා සුළුවේ.
බොහෝ ෆැන්ටසි වර්ගයේ රෑපවාහිනි කතාමාලා හා චිත්‍රපටවලට ප්‍රෙක්ෂකයන් ආකර්ෂණය වන ප්‍රධාන හේතුවක් වන නීරස, වේදනාකාරි යථාර්තයෙන් ගැලවී ෆැන්ටාස්මැටික ලෝකයකට යාමට ඇති කැමැත්ත මෙම කතාමාලාවට ආකර්ෂණය වීමටද හේතුවී ඇත. ෆැන්ටසියක් තුලදි අපට අපගේ යථාර්තය තුලදි සැබෑවටම අත්විදිය නොහැකි දේවල් මානසිකව අත්විදිමින් සතුටක් ලැබිය හැකිය. එම මානසිකව අත්විදින දෙය රෑපවාහිනී තිරයකට ප්‍රක්ෂේපණය කලහැකි නම් එනම් අපගේ ෆැන්ටසිය අප වෙනුවෙන් වෙන අයෙක් නිර්මාණය කර දෙනවානම් එය තවදුරටත් අපගේ සතුටට හේතුවේ. ඓතිහාසික පුරාවෘත වලට, මධ්‍යකාලීන යුරෝපා ඉතිහාසයට හා එම පරිසරයට ඇලුම් කරන පුද්ගලයෙකුට ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාව තුලින් නිර්මාණය කරදෙන ලෝකය ඉතා ප්‍රියජනක වනු ඇත. එමෙන්ම සැබෑ ලෝකයෙදී යම් කෙනෙකුට අත්විදීමට අවස්ථාවක් නොලැබෙන එහෙත් විදීමට ආශා කරන ආදරය, වීරත්වය, පරපීඩක ආශාවන් වැනි හැගීම් කතාමාලාවේ එන චරිත සමග අනන්‍යවී ලබාගැනිමට හැකිවීම කතාමාලාවට ආකර්ෂණය වීමට තවත් හේතුවක් විය හැකිය. උදාහරණයකට ඔබ සමාජ අසාධාරණයට එරෙහි එහෙත් ඒ පිලිබද ප්‍රමාණවත් යමක් කිරීමට නොහැකි පුද්ගලයෙකු නම් කතාමාලාවෙදි එවැනි අසාධාරණයක් සිදුවන අවස්ථාවකදි එයට එරෙහිව නැගි සිටින චරිතය සමග අනන්‍යවීමට යොමුවේ. ඉන්පසු එම චරිතයට මුහුණදීමට සිදුවන සිදුවිම්වලට අදාලව ඔබේ ප්‍රතිචාරද තීරණයවේ.
පසුගියදා අවසන්වු පස්වන කතාමාලාවේ සිදුවු යම් ප්‍රබල අනපේක්ෂිත සිදුවීම් දෙකක් නිසා (ෂරීන්ගේ සහ ජෝන් ස්නෝව්ගේ මරණය) සමහර ප්‍රෙක්ෂකයන් මෙම ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාව විකාශය කරන HBO නාලිකාවේ සම්බන්ධතාවය අවලංගු කරන බවටද තර්ජනය කර තිබෙනවා දක්නට ලැබුණි. රෑපවාහිනි කතාමාලාවක සිදුවීමක් නිසා මිනිසුන් මෙතරම් ක්ෂතිමය අත්දැකීමකට ලක්වන්නේ ඇයි? එයට එක් හේතුවක් ලෙස කතාමාලාවේ ප්‍රධාන චරිත (POV characters) ගොඩ නංවන ආකර්ෂණීය ස්වරෑපය සැලකිය හැකිය. මෙම ප්‍රධාන චරිත කෘර චරිත ස්භාවයන් පෙන්වන කළු චරිත වලින්ද යහපත් ගුණාංග ඇති සුදු චරිත වලින්ද යුක්තවේ. සමස්ථයක් වශයෙන් කතාමාලාවේ වැඩිපුර හමුවන්නේ කළු චරිත ස්භාවයන් ඇති මිනිසුන්ය. ඒ අතර අතිශයින් කෘර කළු චරිත කිහිපයකුත් හමුවේ. කතාමාලාවේ සිටින අතලොස්සක් වු සුදු චරිත කිහිපය ගොඩ නැගනේනේ මේ බහුතරයක්වු කළු චරිත අතරය. මේනිසා මෙම සුදු චරිත කිහිපයට (සමාජයේ තවමත් මිනිසුන් වඩාත් කැමති සුදු චරිත වලට නිසා[?]) බහුතර ප්‍රෙක්ෂක ආකර්ෂණයක් ඇතිවේ. තමාට යහපත්වීමට බැරි වුවත් ලෝකය වඩා යහපත් තැනක් කලයුතු යැයි සිතන පුද්ගලයන් ඉතා ඉක්මනින් මෙම සුදු චරිත සමග අනන්‍යවේ. එමනිසා ඔවුන් සුදු චරිතවල නිරැපද්‍රිත පැවැත්මද කළු චරිතවලට ඉක්මන් විනාශයද ප්‍රාර්ථනා කරති. නමුත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාවේ ඇති විශේෂ ලක්ෂණයක් නිසා අනපේක්ෂිත මොහොතක මෙම සුදු චරිතයකට මරණය ලබාදීමෙන් කතාමාලාවේන් ඔහු හෝ ඇයව ඉවත් කරයි. මෙය සමාන වන්නේ Kingsman: The Secret Service චිත්‍රපටයේ දැක්වෙන රහස් ඔත්තු සේවාවේ පුහුණුව ආරම්භයේදි එයට සහභාගි වන්නන්ට හොදින් රැකබලා ගැනීමට කියා ලබාදෙන බලු පැටියෙක් පුහුණුව අවසානයෙදි එම සතා හදාගත් පුද්ගලයාටම මරා දැමීමට සිදුවන අවස්ථාවටය. කොටස් ගණනාවක් තිස්සේ ප්‍රෙක්ෂකයාට සමීප කරවමින් ගොඩනැගු චරිතයක් අපේක්ෂා නොකල මොහොතක මරා දැමීමෙන් ඇතිවන ක්ෂතිමය අත්දැකීම නිසා ප්‍රෙක්ෂකයන් අධික කෝපයට පත්වී මෙවැනි තාර්කික නොවන හැසිරීම් පෙන්නුම් කරයි. ඒයට ප්‍රතිවිරැද්ධ ලෙස කෘර කළු චරිතවල මරණයකදි අතිශයින්ම ප්‍රීතියට පත්වීමත් සිදුවේ. මෙම ප්‍රතික්‍රියා දෙකම යථාර්තය හා ෆැන්ටසිය අතර පරතරය අඩුවීමක් ලෙසද තෙරැම්ගත හැක.
කොතරම් අනපේක්ෂිත වේදනාකාරි සිදුවීම් සිදුවුවත් නැවත නැවතත් ප්‍රෙක්ෂකයන් මෙය නැරඹීමට ආශා කරයි. අවසන්වු කතාමාලාවේ යම් යම් සිදුවීම් සම්බන්ධව විකල්ප අදහස් (fan theories) නිර්මාණය කරයි. එක් කතාමාලාවක් අවසන්වී ඊලග කතාමාලාව ආරම්භ වනතෙක් උනන්දුවෙන් පසුවෙයි. එවාත් පෙර පරිදිම අනපේක්ෂිත සිදුවිම් වලින් සමන්විතබව ඔවුන් දනී. එසේනම් මිනිසුන් ඒ අනපේක්ෂිත අත්දැකීම් ලැබීමට ආශා කරන්නේ ඇයි? ධනවාදී, නවලිබරල්වාදී, අධිපරිභෝජනවාදී ආදි විවිධ නම්වලින් හැදින්වෙන සමාජයක සිටින අපගේ ජීවිත හදිසි අනතුරකට මුහුණදීමක් හෝ ලොතරැයි දිනුමක් ඇදීමක් වැනි දෙයකින් වෙනස්වනවා හැරෙන්න ජීවිතයේ අනෙක් බොහෝදේට නිශ්චිත ස්භාවයක් ඇත. මේ කාලය වෙද්දී කසාද බදියි, මේ කාලය වෙද්දී මට ප්‍රමෝෂන් එකක් ලැබෙයි, මේ කාලය වෙද්දී කොලස්ට්‍රෝල් වැඩිවෙයි, මේ කාලය වෙද්දී හාට් ඇටෑක් එකක් හැදෙයි, මේ කාලය වෙද්දී දරැවන් අපිව දාලා යයි, මේ කාලය වෙනකම් මම ජීවත් වෙයි ආදී වශයෙන් අනාගතය නිශ්චය කරගෙන සිටී. එවැනි නිශ්චිත අනාගතයක් ගැන බලාපොරොත්තු තබාගෙන සිටින අයෙක් විමතියට පත්වන්නේ ඒවා තමන් නිශ්චය කරගත් ආකාරයෙන් සිදු නොවුනොත්ය. යම්කිසි පුද්ගලයෙක් වයස අවුරැදු 70 පමණ වනතෙක් කිසිදු රෝගාබාධයකට ගොදුරැ නොවි සිටිනම් ඔහුගේ හිතවතුන් පමණක් නොව ඔහුද විමතියට පත්වෙයි. නිතර ඇසෙන, කියන කතා වන්නේ “මම දැනගත්තා ඩ්‍රයිව් කරන විදිහෙන් දවසක කොහෙහරි වද්ද ගයි කියලා” ” පුදුමයක් නෑ කාපුබීපු හැටියට ඔහොම ලෙඩක් හැදුන එක” “මහන්සි වුණ විදිහට තමා ප්‍රතිඵල”. එමනිසා සැම දෙයක්ම නිශ්චිතව සිදුවෙතැයි බලාපොරොත්තු තබාගෙන සිටින අප අවිනිශ්චිත දේවල් සිදුවෙද්දි එවාට කැමැත්තක් දක්වයි. එය අවිඥානික ආශාවක් වියහැකිය. එකාකාරී සැබෑ ජිවිතයේ එවැනි අනපේක්ෂිත සිදුවීම් අඩු නිසා එම සිදුවීම් බහුල මෙම ගේම් ඔෆ් ත්‍රෝන්ස් වැනි කතාමාලා වලට මිනිසුන් ආශා කරනවා වියහැක. කතාමාලාවේ ජනප්‍රියතාවයටත් එය හේතුවක් විය හැකිය.
ගේම් ඔෆ් ත්‍රෝන්ස් (Game of Thrones) ගේම් ඔෆ් ත්‍රෝන්ස් (Game of Thrones) Reviewed by Fox Talks on 11:28 AM Rating: 5

No comments :

Powered by Blogger.