පශ්චාත් මාක්ස්වාදය: එහි ප්‍රභවය හා දාර්ශනික පදනම




පශ්චාත් මාක්ස්වාදය ගැන දැනගැනීමට තිබූ අවශ්‍යතාවය නිසාත්, පොත් රාශියක් කියවා ලබාගත හැකි දැනුම එතරම් දුෂ්කර  පරිශ්‍රමයකින් තොරව ලබාගත හැකි නිසාත්, ආචාර්ය සමන් පුෂ්පකුමාරගේ < පශ්චාත් මාක්ස්වාදය: එහි ප්‍රභවය හා දාර්ශනික පදනම > යන මැයෙන් තිබුණ දේශනයට සවන් දුන්නෙමි. එය විධිමත්ව කරුණු පෙළගස්වා තිබූ දේශනයකි.


දේශනය ඇසිමේදී පශ්චාත් මාක්ස්වාදය පිළිබඳ න්‍යායන් වලට අමතරව ඒවා පැහැදිලි කිරීමට යොදාගත් ලාංකීය සන්දර්භයට අදාළ උදාහරණ ගැන විශේෂ අවධානයක් යොමුවිය. මෙහි දැක්වෙන අදහස් පිළිගන්නා වාමාංශිකයන් කොතරම් ඉන්නවා ද කියා මා දන්නේ නැත. නමුත් ජාතිකවාදය සමඟ සම්මුඛ වන පශ්චාත් මාක්ස්වාදී අදහස් දරන වාමාංශිකයන්, එම න්‍යායන් ඇසුරෙන් සිංහල ජාතිකත්වය, සිංහල-දෙමළ අර්බුදය ආදිය සම්බන්ධයෙන් තම අදහස් සකසා ගන්නා ආකාරය ගැන අවබෝධයක් ලබාගැනීමට ද මෙම දේශනය ඉවහල් විය. මෙය විශේෂයෙන්ම ජාතිකවාදීන්ට ප්‍රතිවාදීන් දරන අදහස්වල පදනම ගැන අවබෝධයක් ලබාගැනීමට වැදගත් වේ. මෙහි දැක්වෙන න්‍යායාත්මක කරුණු ගැන විවේචනයක් එල්ල කිරීමට තරම් දැනුමක් මාහට නැත. ඉහත කී පරිදි මාගේ අවධානය යොමුවූයේ මෙහි තිබෙන උදාහරණ කිහිපයක් සම්බන්ධවයි. ඒ පිළිබඳව මතු වූ ගැටළු කිහිපයක් පසුව සටහන් කර ඇත. සමස්ත සන්දර්භය තේරුම් ගැනීමට එම දේශනයේ සංක්ෂිප්ත සටහනක් පහත දක්වා ඇත. 


සටහන ආරම්භය:


1968 ප්‍රංශයේ ඇති වූ ශිෂ්‍ය අරගලය පශ්චාත් මාක්ස්වාදය බිහිවීමට පසුබිම් වූ ප්‍රධාන සිදුවීමක් විය. ප්‍රංශයේ එවකට ක්‍රියාත්මක වූ වාමාංශික ව්‍යාපාරය මෙම ශිෂ්‍ය අරගලයට නායකත්වය දීමට ඉදිරිපත් නොවූ අතර අරගලය සම්බන්ධයෙන් සාර්ථක න්‍යායගත කිරීමක් කිරීමට ද නොහැකි විය. එමෙන්ම ශිෂ්‍ය අරගලය සමඟ මතුවූ දාර්ශනික හා දේශපාලනික ගැටළුවලට විසඳුම් දෘෂ්ටිවාදී කේෂත්‍රයේ ද නොතිබිණි. 


මෙයට හේතුවී ඇත්තේ ශිෂ්‍ය අරගලයේ ඉල්ලීම් ආර්ථික කාරණා වලට වඩා ආත්මීය කාරණා වලට සම්බන්ධවීමය. ශිෂ්‍ය සටන් ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර අරගලයක් නොවන ලෙස ඉස්මතු වූ නිසා එය පැවතුනේ මාක්ස්වාදී ව්‍යාපාරයට බාහිර අවකාශයකය. එමනිසා කොමියුනිස්ට් පක්ෂය ද ශිෂ්‍ය අරගලයට නායකත්වය දීමට ඉදිරිපත් නොවීය. ඒ පිළිබඳ මාක්ස්වාදීන්ගේ මතය වූයේ ශිෂ්‍ය ව්‍යාපාරය අස්ථිර හා දිගින් දිගටම නොපවතින ස්භාවයෙන් යුක්ත බවත් ශිෂ්‍යයන්ට සමාජ ක්‍රමයේ වෙනසක් ඇති නොකර තම ඉල්ලීම් දිනා ගැනීමේ හැකියාවක් පවතින බවත්ය. නමුත් කම්කරු අරගලයකදී ඉල්ලීම් දිනා ගැනීමටනම් සමාජ ක්‍රමයේ වෙනසක් සිදුකල යුතුය. ශිෂ්‍ය අරගලයෙදී මූලික ප්‍රතිරෝධතාවය ඇතිවූයේ කම්කරුවන් හා ධනපතියන් අතර නොව ශිෂ්‍යයන් හා වෙනත් අය අතරය. ශිෂ්‍යයන්ට තිබුණේ ආර්ථික සූරා කෑමකට වඩා ලිංගික අයිතිවාසිකම් හා දෛනික ජීවිතය සම්බන්ධ ප්‍රශ්න සමූහයකි. මෙවැනි වෙනස්කම් නිසා කොමියුනිස්ට් පක්ෂය ශිෂ්‍ය සටන් රතු විප්ලවයක් ලෙස සලකා නොමැත. 


මනෝවිශ්ලේෂණය විසින් ශිෂ්‍ය අරගලය තේරුම් ගෙන ඇත්තේ පරම්පරා ගැටුම, චර්යාමය අර්බුද, පීඩනොන්මාද අර්බුද (paranoid crisis), සමූහ සයිකෝසිකත්වය (group psychosis), සමූහ හිස්ටීරියාව (mass hysteria) වැනි සංකල්ප ඔස්සේය. මෙයින් පෙනී ගොස් ඇත්තේ ශිෂ්‍ය අරගලය න්‍යායගත කිරීමේ අපහසුතාවයකට මාක්ස්වාදී ව්‍යාපාරය මුහුණ දී ඇති බවය.  මෙම තත්වය නිසා මාක්ස්වාදී නිල දර්ශනය අතහැරිය යුතුය යන අදහසත් ප්‍රකාශ වී තිබිණි.


1985 දී අර්නස්ටෝ ලැක්ලව් සහ ශාන්තාල් මූෆ් විසින් රචිත Hegemony and Socialist Strategy යන කෘතිය පශ්චාත් මාක්ස්වාදයේ තීරණාත්මක අවස්ථාවක් ලෙස සැලකෙයි. මෙම කෘතියට පසුබිම් සැකසුවේ ඉහත ප්‍රංශ ශිෂ්‍ය අරගලය හා ඉන්පසුව ඇතිවූ තත්වයන්ය. එමෙන්ම මේ කෘතිය තුලින් සම්භාව්‍ය මාක්ස්වාදය විසින් සාකච්ඡාවට බඳුන් නොකල හරිත ව්‍යාපාරය, සමලිංගික ව්‍යාපාරය හා ස්ත්‍රීවාදී⁣ ව්‍යාපාරය වැනි නව සමාජ ව්‍යාපාර ආමන්ත්‍රණය කිරීමක් ද සිදුවී ඇත. විශේෂයෙන්ම සම්භාව්‍ය මාක්ස්වාදයේ දෙවන හා තුන්වන ජාත්‍යන්තරයේ දැක්වෙන ඌනතිවාදයන් (Reductionism), නිර්ණයවාදයන් (Detetminism), සාරාත්මවාදයන් (Essentialism), සහ පදනම්වාදයන් (Fundamentalism) යන ඒවා විසංයෝජනය කලයුතුය යන පදනමෙන් මේ දෙදෙනාගේ මැදිහත්වීම සිදුවී ඇත. 


 70 දශකයේ බ⁣ටහිර දර්ශනය තුල සිදුවූ ප්‍රධාන විපර්යාසයක් ලෙස සැලකෙන අනුභූතිඋත්තර හැරවුම (Transcendental turn) නිසා මාක්ස්වාදයේ මූලික දාර්ශනික පිළිගැනීම් අර්බුදයකට ලක්වෙමින් පැවතුණා. ලැක්ලව්ගේ ව්‍යාපෘතිය බවට පත්වී තිබුණේ මාක්ස්වාදයේ මූලික න්‍යාය විසංයෝජනය කිරීමය. ඉහත හැරවුම නිසා මාක්ස්වාදයට අභියෝගයක් වූ දර්ශනවාද  හරහා මාක්ස්වාදයට යම්කිසි කියවීමක් සිදුකල යුතු ආකාරයක්, එනම් මාක්ස්වාදය සහ දර්ශනවාද ප්‍රතික්ෂේප නොකර මේවා අතර සම්බන්ධයක් ගොඩනැඟිය හැකි ආකාරයක් දෙස ලැක්ලව් හා මූෆ්ගේ අවධානය යොමුවිය.


Discourse theory 


සම්භාව්‍ය මාක්ස්වාදයේ මුලික න්‍යාය වශයෙන් සැලකෙන දයලෙක්තිකය වෙනුවට ලැක්ලව් විසින් හඳුන්වා දෙන්නේ කතිකා න්‍යායයි. එමෙන්ම සම්භාව්‍ය මාක්ස්වාදයේ යථාර්ථය පිලිගැනෙන්නේ මනසින් පරිබාහිරව පවතින දෙයක් ලෙසය. 


එයට ප්‍රතිවිරුද්ධ ලෙස කතිකා න්‍යාය මේ සියලු යථාර්ථයන් කතිකාමය නිර්මාණ ලෙසට සලකයි. එනම් යථාර්ථය තවදුරටත් මනසින් පරිබාහිරව පවතින දෙයක් වෙනුවට ලැක්ලව් විසින් එය කතිකාමය දෙයක් බවට පත්කරයි. එමනිසා එය මූලික මාක්ස්වාදී පිළිගැනීම් වලට ප්‍රතිවිරුද්ධවේ. අර්ථය යන්න කතිකාමය දෙයක් ලෙස සැලකිය හැක්කේ අර්ථ මිනිසුන් විසින් නිර්මාණය කරන දේවල් යන පදනමේ සිටය. 


ලැක්ලව්ගේ නිර්වචනයට අනුව කතිකාව යනු ඒකාබද්ධ කරන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස බිහිවු ව්‍යුහාත්මක සමස්තයකි. ඒ අනුව සෑම වස්තුවක්ම කතිකාමය වස්තුවක් ලෙස සැලකිය හැකිය. උදාහරණයකට පරමාණුවක් සැලකිය හැක්කේ භෞතික විද්‍යාව නම් කතිකාවේ නිර්මාණයක් ලෙසටය. මැණික් ගලක් අනෙක් ගල් වලට වඩා සුවිශේෂී වන්නේ එහි තිබෙන සුවිශේෂී ලක්ෂණයක් නිසා නොව පාෂාණවේදය පිළිබඳ කතිකාව හරහා එයට වටිනාකමක් දී ඇති නිසාය.


කතිකා න්‍යාය සම්බන්ධයෙන් ඔහුගේ ඊළඟ අදහස වන්නේ, කතිකාව යනු අසම්පූර්ණ ව්‍යුහයක් බවයි. කතිකාව තුල යම්කිසි අතීරණාත්මක (undecideable) ස්භාවයක් පවතියි. එමෙන්ම කතිකාවකින් පරිපූර්ණ අර්ථයක් ලබාදීමට ද නොහැකිය. අර්ථයක් ලබාදිය හැක්කේ පාර්ශවීය ලෙස පමණක් නිසා සෑම විටම එහි අඩුවක් පවතී. වෙනත් කතිකාවක් මැදිහත් වී මෙම අඩුව පිරවිය හැකිවුවත් එයත් පරිපූර්ණ යැයි සැලකිය නොහැක. පරිපූර්ණ වශයෙන් අර්ථ ලබා දීමට ඇති නොහැකියාව නිසා සමාජ අරගල බිහිවීමට පටන් ගනියි. එසේ බිහිවෙන සමාජ අරගල උත්සහ කරන්නේ අර්ථයක් නොමැති දේවල් වලට අර්ථයන් ලබාදීමටය. මේ සඳහා සමාජයේ විවිධ කණ්ඩායම් අතර තරඟයක් පවතී.


 කතිකාවක් සංවිධානය වන්නේ යම්කිසි වරප්‍රසාදිත සංඥාවක් (nodal point) වටාය. උදාහරණයකට ලංකාවේ ජාතිකවාදී කතිකාවේ වරප්‍රසාදිත සංඥාව වන්නේ ජාතිය වන අතර අනෙක් සියලුම දෑ ව්‍යුහගත වී ඇත්තේ එය වටාය. නමුත් මේ වරප්‍රසාදිත සංඥා හිස් හැඟවුම්කාරක වන අතර එයට නිශ්චිත අර්ථයක් නොමැත. ඒ අනුව ජාතියට නිශ්චිත අර්ථයක් නොමැති අතර එක් එක් කාලවකවානු වලදී එයට විවිධ අර්ථ ලැබේ. ජාතිකවාදී කතිකාවෙන් සිදුවන්නේ මේ ජාතිය නම් හිස් හැඟවුම්කාරකයට යම්කිසි අර්ථයක් ලබාදීමය.


නව කතිකාවක් ගොඩනඟන්නේ දැනට කතිකාවක් තුලට නොගත් ක්ෂේත්‍ර තුලය. එසේ කතිකාවක් ගොඩනඟන විට යම් කොටසක් එම කතිකාවෙන් බැහැර වන අතර වෙනත් පිරිසක් මැදිහත් වී එසේ බැහැර වන කොටස්වලට අර්ථ ලබාදීම සිදුකරනු ලබයි. අරගලයන් වශයෙන් හඳුනාගත හැක්කේ මේ විවිධ කතිකාවන් අතර ගැටුමටය. එක් අවස්ථාවක කතිකාවන් කිහිපයක් පැවතිය හැකිමුත් ඒ අවස්ථාවේ හෙජමොනික බලය ඇත්තේ එක් කතිකාවකට පමණි. 

කතිකාවට ඇතුලත් නොවන ක්ෂේත්‍රයේ තිබෙන හැඟවුම්කාරක හඳුන්වන්නේ පාවෙන හැඟවුම්කාරක (floating signifiers) ලෙසටය. උදාහරණයකට ජාතිකවාදී ව්‍යාපාරය ගොඩනැඟීමට පෙර හමුදා සොල්දාදුවාට නිශ්චිත අර්ථයක් තිබුණේ නැත. සොල්දාදුවාට අර්ථයක් ලැබීමට පටන් ගැනෙන්නේ ජාතිකවාදී කතිකාවට ඇතුලත් කරගැනීමෙන් පසුවය. එමෙන්ම කතිකාවක් තුලට යම්කිසි දෙයක් ගතහැක්කේ තාවකාලික ලෙස පමණි. එක්තරා අවස්ථාවකදී වෙනත් කතිකාවකින් එය තර්ජනයට ලක්වීමේ හැකියාවක් ඇත. ජාතිකවාදී කතිකාව නිර්මාණය වීමෙදී දෙමළාව එයින් බැහැර කරන අතර දෙමළා සිංහල ජාතිය විනාශ කිරීමට කුමන්ත්‍රණය කරනවා කියන මානසිකත්වය එම කතිකාව තුල සෑම විටම පැවතී ඇත. එනම් ජාතිකවාදී කතිකාවෙන් බැහැර කෙරූ දෙමළාගෙන් එම කතිකාව තර්ජනයට ලක්වේ.


පසමිතුරුතාවය


සම්භාව්‍ය මාක්ස්වාදයේ පිළිගැනෙන්නේ ප්‍රතිවිරෝධතාවය (Contradiction) වන අතර එමඟින් උත්සහ ගන්නේ ධනපතියා - කම්කරුවා හෝ ශ්‍රමය - ප්‍රාග්ධනය හෝ අතර ඇති ප්‍රතිරෝධතාවයන් විසඳීමටය. ලැක්ලව් විසින් ප්‍රතිවිරෝධතාවය වෙනුවට ආදේශ කලේ පසමිතුරුතාවයය (Antagonism). ජාතිකවාදී කතිකාව සම්බන්ධ උදාහරණයට ගියහොත් දෙමළා හා සිංහලයා අතර පවතින ගැටුම සැලකිය හැක්කේ පසමිතුරුතාවයක් ලෙසටය. එම කතිකාවේදී සිංහලයාගේ අනන්‍යතාවය බිහිකර තිබෙන්නේ දෙමළා බැහැර කිරීමෙනි. නමුත් දෙමළා සම්පූර්ණයෙන්ම නැතිකර දැමුවහොත් නැවත සිංහලයාගේ අනන්‍යතාවය අර්බුදයකට ලක්වෙයි. ඒ සිංහලයාගේ අනන්‍යතාවය සැදි තිබෙන්නේ දෙමළෙක් සිටීම නිසා වන බැවිනි. දැන් ඇතිවන්නේ දෙමළා විනාශ කලයුතු මෙන්ම සිටියයුතුත් තත්වයකි.  පසමිතුරුතාවයේ මූලික ලක්ෂණයක් ලෙස මෙය හඳුනාගත හැකිය. මේ පසමිතුරුතාවය නැති කිරීමටනම් දෙමළාට ස්වයං නිර්ණය අයිතිය ලබාදිය යුතුය. එයින් සිදුවන්නේ සිංහලයාගෙන් වෙන්වූවා කියා තමාගේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත යන විඥානය දෙමළට පැමිණිමයි. මහ ජාතිය ලෙස සිංහලයා ඔවුන්ව පාලනය කරනතාක් ඔවුන්ට එම විඥානය පැමිණෙන්නේ නැත. ඉන්පසුව දෙමළා හා සිංහලයා අතර ඇති මූලික ප්‍රශ්නය පසමිතුරුතාවයක් නොව ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රශ්නයක් බව අවබෝධ වෙයි. මෙය පමණක් නොව පරිසර, අධ්‍යාපන වැනි අරගලත් දැන හෝ නොදැන සංවිධානය වන්නේ ලැක්ලව්ගේ ප්‍රවාදය පදනම් වීමෙන්ය.


හෙජමොනිය 


අන්තෝනියෝ ග්‍රාම්ස්චි හෙජමොනිය යනුවෙන් හඳුන්වන්නේ  සමාජයක එකඟතාවයක් ලබාගැනීමට ක්‍රියාත්මක වන බුද්ධිමය ආධිපත්‍යයකටය. නමුත් ලැක්ලව් විසින් හෙජමොනියට ලබාදෙන්නේ වෙනත් අර්ථයක්ය. ඔහු පවසන්නේ ඝනීභුත නොවුන (unfixed) සංඝටක කතිකාවක් තුල ඝනීභුතකරණය කරන්නේ යම්කිසි හෙජමොනික බලයකින් බවයි. හෙජමොනිය හා කතිකාව අතර සමීප සම්බන්ධයක් ගොඩනැඟෙන්නේ ඒ ආකාරයටය. සෑම සමාජ ගොඩනැංවීමක්ම ව්‍යුහගත වන්නේ එක් තනි හෙජමොනික කේන්ද්‍රයක් වටාය. ජාතිය එවැනි හෙජමොනික කේන්ද්‍රයකි. එමෙන්ම හෙජමොනික ආධිපත්‍යයකට තැනක් ලැබෙන්නේ අසම්පූර්ණත්වයක් පවතින විටය. එනම් යම්කිසි තැනක අසම්පූර්ණත්වයක් තිබේනම් එතැන තීරණ ගැනීමේ හැකියාවක් පවතී. 


රූපසටහන >>





මෙහි දැක්වෙන විශාල රවුම රටක් හෝ කතිකාමය සමාජයක් ලෙස සැලකිය හැකිය. මේ සමාජයේ ස්ත්‍රීවාදී⁣ කතිකාව, පරිසරවාදී කතිකාව, ජාතිකවාදී කතිකාව ආදී වශයෙන් විවිධ කතිකාවන් පවතියි. කතිර මඟින් දැක්වෙන්නේ සමාජයක ඇති පාවෙන හැඟවුම්කාරක හෙවත් අර්ථ සපයා නොමැති සිදුවීම්, විග්‍රහ හා පුද්ගලයන් ආදියය. උදාහරණයකට ලංකාවේ ජාතිකවාදී කතිකාවට පෙර භික්ෂුන්ට සමාජයේ විශාල අර්ථයක් තිබුණේ නැත. නමුත් ජාතිකවාදී කතිකාවත් සමඟ භික්ෂුවට ජාතියේ මුරදේවතාවන් ආදී වශයෙන් පිළිගැනීමක් ලැබුණි. හමුදා සොල්දාදුවාටත් ලැබුණේ එවැනි පිළිගැනීමකි.

රතු පාටින් දැක්වෙන්නේ ජාතිය (nodal point, empty signifier)වන අතර එහි විශේෂත්වය වන්නේ එයට නිශ්චිත වාස්ථවික අර්ථයක් නොමැති වීමය. නමුත් එය වටා පාවෙන හැඟවුම්කාරක සම්බන්ධවීමට පටන් ගනියි. නලින් ද සිල්වා ආරම්භ කල ජාතික චින්තන කතිකාව නිසා සිංහල වෙදකම, භික්ෂුව, සොල්දාදුවා වැනි දේවල් එහි සංරචක බවට පත්වීමට පටන් ගැණුනි. ජාතිකවාදී කතිකාව නිර්මාණය වනවිට දෙමළුන් හා මුසල්මානුවන් එයින් බැහැර වන අතර ඔවුන් අර්ථ නොමැති පාවෙන හැඟවුම්කාරක බවට පත්වේ. දෙමළ ජාතික ව්‍යාපාරය වැනි වෙනත් කතිකාවක් මැදිහත් වී දෙමළා යන පාවෙන හැඟවුම්කාරකයට අර්ථයක් දීමට හැකියාවක් ලැබේ.


පශ්චාත් මාක්ස්වාදය බැරෑරුම්ව සැලකිය යුත්තේ එය සම්භාව්‍ය මාක්ස්වාදයට පිළිතුරු ලබාදීමට නොහැකි වූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දීමට හැකිවු නිසාය. නමුත් ලැක්ලව් විසින් පන්ති අරගලය තවත් එක් කතිකාවක් (class discourse) බවට පත්කිරීම නිසා ඔහුව ප්‍රශ්න කිරීමට ලක්විය.


සටහන අවසානය.


//කතිකාවක් සංවිධානය වන්නේ යම්කිසි වරප්‍රසාදිත සංඥාවක් (nodal point) වටාය. උදාහරණයකට ලංකාවේ ජාතිකවාදී කතිකාවේ වරප්‍රසාදිත සංඥාව වන්නේ ජාතිය වන අතර අනෙක් සියලුම දෑ ව්‍යුහගත වී ඇත්තේ එය වටාය. නමුත් මේ වරප්‍රසාදිත සංඥා හිස් හැඟවුම්කාරක වන අතර එයට නිශ්චිත අර්ථයක් නොමැත. ඒ අනුව ජාතියට නිශ්චිත අර්ථයක් නොමැති අතර එක් එක් කාලවකවානු වලදී එයට විවිධ අර්ථ ලැබේ. ජාතිකවාදී කතිකාවෙන් සිදුවන්නේ මේ ජාතිය නම් හිස් හැඟවුම්කාරකයට යම්කිසි අර්ථයක් ලබාදීමය.//


ජාතියට නිශ්චිත අර්ථයක් නොමැතිය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? යම්කිසි ජන සමූහයක් (සිංහලයන්) තමන් ජාතියක් වශයෙන් හඳුන්වා ගනු ලබන්නේ  නිශ්චිත අර්ථ සපයා ගැනීමකින් තොරව ද?


//උදාහරණයකට ජාතිකවාදී ව්‍යාපාරය ගොඩනැඟීමට පෙර හමුදා සොල්දාදුවාට නිශ්චිත අර්ථයක් තිබුණේ නැත. සොල්දාදුවාට අර්ථයක් ලැබීමට පටන් ගැනෙන්නේ ජාතිකවාදී කතිකාවට ඇතුලත් කරගැනීමෙන් පසුවය.//


වර්තමාන හමුදා සොල්දාදුවාට පෙර ඔහුගේ කාර්යභාරය ඉටුකළ, ආක්‍රමණිකයන්ට එරෙහි නිදහස් සටන්වලට සහභාගී වූ සෙබළුන්ට අර්ථ ලැබුණේ කෙසේද? අප ඔවුන් වීරයයන් වශයෙන් සලකන්නේ වර්තමාන ජාතිකවාදී කතිකාවේ ප්‍රතිඵලයක් ⁣ලෙසටද? 

වර්තමාන ජාතිකවාදී කතිකාව යනු හුදකලා මතවාදයක් නොව අතීතයේ සිට පැවත ආ ජාතිකත්වය පිලිබද අදහස් නව ප්‍රවණතා සමඟ මුසුවී යලි ප්‍රකාශ වීමකි. 


//ජාතිකවාදී කතිකාව නිර්මාණය වීමෙදී දෙමළාව එයින් බැහැර කරන අතර දෙමළා සිංහල ජාතිය විනාශ කිරීමට කුමන්ත්‍රණය කරනවා කියන මානසිකත්වය එම කතිකාව තුල සෑම විටම පැවතී ඇත. එනම් ජාතිකවාදී කතිකාවෙන් බැහැර කෙරූ දෙමළාගෙන් එම කතිකාව තර්ජනයට ලක්වේ.//


//ජාතිකවාදී කතිකාව සම්බන්ධ උදාහරණයට ගියහොත් දෙමළා හා සිංහලයා අතර පවතින ගැටුම සැලකිය හැක්කේ පසමිතුරුතාවයක් ලෙසටය. එම කතිකාවේදී සිංහලයාගේ අනන්‍යතාවය බිහිකර තිබෙන්නේ දෙමළා බැහැර කිරීමෙනි. නමුත් දෙමළා සම්පූර්ණයෙන්ම නැතිකර දැමුවහොත් නැවත සිංහලයාගේ අනන්‍යතාවය අර්බුදයකට ලක්වෙයි. ඒ සිංහලයාගේ අනන්‍යතාවය සැදි තිබෙන්නේ දෙමළෙක් සිටීම නිසා වන බැවිනි. දැන් ඇතිවන්නේ දෙමළා විනාශ කලයුතු මෙන්ම සිටියයුතුත් තත්වයකි. //


සිංහලයාට සුවිශේෂී අනන්‍යතාවයක් අවශ්‍ය වන්නේම දෙමළා සිටින නිසාය. දෙමළෙක් නැතිනම් විශාල වශයෙන් සංවිධානය වූ ජාතියක් පිළිබද වු ව්‍යුහයක් අවශ්‍ය වන්නෙත් නැත. දෙමළෙක් නැතිවිට අනන්‍යතාවයක් පවත්වා ගනු ලබන්නේ කුමකටද? අර්බුදයට යන්නේ කුමක්ද?


//උදාහරණයකට ලංකාවේ ජාතිකවාදී කතිකාවට පෙර භික්ෂුන්ට සමාජයේ විශාල අර්ථයක් තිබුණේ නැත. නමුත් ජාතිකවාදී කතිකාවත් සමඟ භික්ෂුවට ජාතියේ මුරදේවතාවන් ආදී වශයෙන් පිළිගැනීමක් ලැබුණි. හමුදා සොල්දාදුවාටත් ලැබුණේ එවැනි පිළිගැනීමකි//


සිංහල ජාතියේ ඉතිහාසය පුරාවටම ඇත්තේ සිංහලයන් භික්ෂුන් වහන්සේලාට ලබාදුන් පිළිගැනීම නොවේද?


මුල් දේශනය: 




පශ්චාත් මාක්ස්වාදය: එහි ප්‍රභවය හා දාර්ශනික පදනම  පශ්චාත් මාක්ස්වාදය: එහි ප්‍රභවය හා දාර්ශනික පදනම Reviewed by Fox Talks on 10:48 AM Rating: 5

No comments :

Powered by Blogger.