අවුට්ලෑන්ඩර් (Outlander)




[ කතා සාරාංශය ] – දෙවැනි ලෝක යුද්ධයේදී හෙදියක් වශයෙන් සේවය කල ඉංග්‍රීසි ජාතික ක්ලේයාර් රැන්ඩල්ස් සිය සැමියා සමග දෙවන මධුසමය ස්කොට්ලන්තයේ ගත කරමින් සිටී. ඇය ස්කොට්ලන්තයේ යම් පුරාවිද්‍යාත්මක ස්ථානයක් නැරඹිමට ගිය අවස්ථාවකදි හදිසියේ සිදුවු සිදුවීමක් නිසා 1743 වර්ෂයේ දිනකට කාලය හරහා ගමන් කරයි. එහිදි ඇයට හමුවන ස්කොට්ලන්ත ජාතික තරැණයෙක් වන ජේමි ෆ්‍රෙසර් සමග විවාහවී ගෙවන ජිවිතය හා ඔවුන්ට මුහුණ දීමට සිදුවන සිදුවීම් මෙම කතාමාලාව තුලින් දිග හැරේ.
18 වන සියවසේදී ස්කොට්ලන්තයේ ස්වභාවය, අලංකාර පරිසරය, ස්කොට් කඳුකරවාසීන්ගේ ජිවන රටාව, සිරිත් විරිත්, ඇදුම් පැලදුම්, භාෂාව උච්චාරණය, පාරම්පරික සංගීතය ගැන උනන්දුවක් දක්වන කෙනෙකුට මේ කතාමාලාව ප්‍රියජනකවනු ඇත. කතා සාරාංශය හා නළු නිළියන්ගේ විස්තර අවශ්‍ය පමණට අන්තර්ජාලයෙන්‍ සොයාගත හැකි බැවින් කතාමාලාව ඔස්සේ දැනගත හැකි අවශේෂ කරැණු කිහිපයක් පහත සදහන් කර ඇත.
කතාමාලාව පුරාවට ස්කොට්ලන්තය ආශ්‍රිත සිදුවීම් ඔස්සේ දැකගත හැක්කේ ඒවන විටත් යුරෝපයෙන් ක්‍රමයෙන් වියැකි යමින් තිබු සාමුහික කතෝලික චින්තනයේ ලක්ෂණය. පෞද්ගලිකත්වය ඉස්මතු කරන ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ඒවන විටත් එංගලන්තය ඇතුළු යුරෝපයේ අනෙක් රටවල පැතිර යමින් පැවතුනත් කතා මාලාවේ දැක්වෙන ස්කොට්ලන්තය තුල ඒ කාල වකවානුව තුලත් පැවතෙන්නේ සාමුහිකත්වයට මුල් තැන දෙන සමාජයක ලක්ෂණය. මෙම සාමුහිකත්ව ලක්ෂණ පෙන්වන එක් අවස්ථාවක් වන්නේ ගැමි කාන්තාවන් පිරිසක් එක්ව සාම්ප්‍රදායික ක්‍රමයකට ලොම් රෙදි සකස් කරන අවස්ථාවයි. වොල්කින් (waulking) නමින් හැදින්වෙන එම ක්‍රියාවලියේ යෙදෙන කාන්තාවන් ගෙලික් (Gaelic) බසින් ගායනා කරන ජනගී වර්ගයක් (waulking song) ගයනා කරමින් එම කාර්‍යයේ නියැලෙයි. මීට අමතරව කැලය ආශ්‍රිතව පවත්වන උත්සව, ශක්තිමත් පිරිමින් පමණක් සහභාගි වන දඩයම් ක්‍රීඩා ආදී සාමුහික ක්‍රියාකාරම්ද දැකගත හැක.
එ්ම කාලයෙදී ස්කොට්ලන්ත උස්බිම් තුල පැතිර තිබුන එක් එක් කණ්ඩායම් (clan system) ගැන අවබෝධයක්ද මෙම කතාමාලාව තුලින් ලබාගත හැක. මෙම ක්ලෑන් ක්‍රමය තුල පැවති ඇත්තේද වැඩවසම් සමාජ ක්‍රමයක ලක්ෂණය. ක්ලෑන් ප්‍රධානියා (clan chief) පාරම්පරික බලකොටුවක වාසය කරන අතර ඔහුට අයත් ඉඩම්වල අනෙක් ක්ලෑන් සාමාජිකයන් ජීවත් වෙයි. ක්ලෑන් ප්‍රධානියා ඔහුට අයත් භුමි සීමාවේ රජු වශයෙන්ද ආරක්ෂකයා වශයෙන්ද නඩුකාරයා වශයෙන්ද ක්‍රියා කරයි. ඔහුට අයත් ඉඩම්වල වාසය කරන ප්‍රවේණි දාසයන් කුලී වශයෙන් ඔවුන්ට සිටින හොදම එළුවන්, ගවයන්, අස්වැන්නේ කොටස් මෙන්ම මුදල්ද ලබාදෙයි. මෙම කතා මාලාවේ සිටින ප්‍රධාන ක්ලෑනය වන මැක‍ෙන්සි ක්ලෑන්හි නායකයා බලකොටුවට තම සාමාජිකයන් ගෙන්වා ඔවුන්ගේ අභ්‍යන්තර ප්‍රශ්න සාකච්ඡා කොට විසදුම් ලබාදේ. මීට අමතරව ප්‍රතිවිරැද්ධ ක්ලෑන් සමග නිරතුරැ ගැටුම්ද ඇතිවී තිබේ.
මධ්‍යකාලීන යුරෝපයේ මෙන් මේ කතාමාලාවට අදාල අවධියෙත් ක්‍රිස්තියානි පල්ලියට සමාජයේ විශාල බලයක් තිබී ඇත. නොයෙකුත් හේතුන් නිසා රෝගාබාධවලට ලක්වන ළමයින් යක්ෂ බන්ධනවලට ලක්වී ඇතැයි කියා ඔවුන් වෙන්කොට තබන අවස්ථා මෙහි දක්නට ඇත. වරෙක අසල ගමක යාඥාවන් මගින් සුවකිරීමට අපොහොසත්වු ළමයෙක් හෙදියක් වශයෙන් අත්දැකීම් ඇති ක්ලෙයාර් ඇය විසින්ම සකසාගත් ස්භාවික ඖෂධ ලබාදී සුවපත් කරන අතර ගමේ ප්‍රධාන පුජකයා එයට දැඩිව තම විරෝධය පල කරයි. පසුව එම පුජකයාගේ මැදිහත් වීමෙන් ඖෂධ ලබාදීමෙන් ගම් වැසියන් බොහෝ ගණනක් සුවපත්කල වෙනත් කාන්තාවක් මන්ත්‍රකාරියක් ලෙසට හදුන්වා වැරදිකාරියක් කොට එල්ලා මරණයට පත් කරයි. ප්‍රධාන ආගම වශයෙන් ක්‍රිස්තු ධර්මය පැවතුනද ස්කොට්ලන්තයේ අප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වන පෙගන් (pagan) ආගමික විශ්වාස සහ පුජාවිධි පිලිබද අදහසක්ද මේ කතාමාලාව ඔස්සේ ලබාගත හැක. කුඩා දරැවෙකුගේ කායික හා මානසික වර්ධනයේ ඌනතාවයක් පෙන්නුම් කරන විට දෙමව්පියන් විශ්වාස කරන්නේ එම රෝගී දරැවා මිනිස් දරැවෙකු නොව සුරදුතයන් විසින් තම සැබෑ දරැවා රැගෙන ගොස් එවෙනුවට දමාගොස් ඇති සුරදුතයන්ට අයත් (changeling) දරැවෙක් ලෙසය. එසේ සිතා එම රෝගී දරැවා කැලයේ ඈත ස්ථානයක තබා පැමිණෙන්නේ සුරදුතයන් විසින් දරැවාව නැවත රැගෙනයයි කියාය. මෙය බැලුබැල්මට අමානුෂික ක්‍රියාවක් ලෙස පෙනුනත් දෙමව්පියන්ට එයින් ලැබෙන්නේ සහනයකි. තම සැබෑ දරැවා සුරදුතයන් ලග ආරක්ෂාකාරීව වැඩෙන බව සිතා ඔවුන් සැනසීමක් ලබාගනිති. එම පෙගන් පුජාවිධි බොහෝවිට ස්භාවිකත්වය හා පරිසරය සමග බැදුණු එවා බව පෙනීයයි.
කතාමාලාව තුලින් ඒ කාලයේ ස්කොට්ලන්තයේ පැවති පුරැෂ මුලික සමාජයේ ලක්ෂණ පිලිබිඹු වේ. පියා වැරදිවලට දරැවන්ට දඩුවම් ලබාදෙන අතර තම අණට අකීකරැ වන බිරිඳට දඩුවම් දීමට ස්වාමිපුරුෂයාට අයිතියක් තිබි ඇත. 20 වන සියවසේ මුල් භාගයෙදි වික්ටෝරියානු ආචාර ධර්ම වලට අනුකූලව හැදිවැඩුන ඉංග්‍රීසි ජාතික ක්ලෙයාර් එම ආචාර ධර්ම නොමැති ස්කොට්ලන්ත වැසියන් සමග කටයුතු කිරිමෙදී සදාචාරාත්මක වශයෙන් ඔවුන් අතර ඇති වෙනස ඉස්මතු වන අතර අනෙක් අතින් 18 වන සියවසේ කාන්තාවකට සාපෙක්ෂව 20 වන සියවසේ කාන්තාව තුල ඇති නිදහස්, ඉදිරිගාමී ලක්ෂණ ඉස්මතු වීම නිසා 18වන සියවසේ පුරැෂයන් විමතියට පත්වන අයුරැත් දැකගත හැක.
මේවාට අමතරව එම කාලවකවානුව වනවිට ඉංග්‍රීසින් විසින් ස්කොට්ලන්ත ජාතිකයන් වෙත එල්ලකර තිබු පීඩනයද රෙඩ් කෝට්ස් යන අන්වර්ථ නමින් හැදින්වූ ඉංග්‍රීසි යුධ භටයන් කෙරෙහි තිබු ඔවුන්ගේ අප්‍රසාදයද මෙම කතා මාලාව තුලින් පිලිබිඹු වේ.
අවුට්ලෑන්ඩර් (Outlander) අවුට්ලෑන්ඩර් (Outlander) Reviewed by Fox Talks on 11:33 AM Rating: 5

No comments :

Powered by Blogger.