අපි අපි ගැනම පුදුමවන ජාතියක්


පසුගිය දින කිහිපය තුල දුටු ෆේස්බුක් පෝස්ට් නිරීක්ෂණය කිරීමෙන් තේරැම් ගත් කරැණක් නම් අපි විසින් අපි ගැනම මහත්සේ විමතියට පත්වී ඇති බවය. එසේ නැතිනම් ලංකාවේ මිනිස්සුන් ලංකාවේ මිනිස්සුන් ගැනම පුදුම වී ඇති බවය. මෙම නිරීක්ෂණයට හේතු සාධකය වුයේ ගංවතුර කාලයේදී අප ප්‍රකට කල සාමුහිකත්ව ලක්ෂණයන්ය. මෙය ගංවතුරෙන් විපතට පත් මිනිස්සුන්ට උදව් උපකාර කළ පිරිස අවතක්සේරු කිරීමේ අදහසින් කියන කතාවක් නොව හුදු නිරීක්ෂණයක් පමණි.
ගංවතුරට කොටුවු පිරිස් බේරාගත් නිර්භීත පිහිනුම්කරැවෙක් අගය කරනවා වැනි සිද්ධියක් සමඟ මෙය පටලා ගතයුතු නොවෙයි. උදාහරණයකට මෙවැනි ප්‍රකාශ කිහිපයක් සලකා බලමු.

"අපි හරි වෙනස් ජාතියක්"
"ලෝකේ මෙහෙම උදව් කරන මිනිස්සු ආයේ මොන රටේද ඉන්නේ"
"ලංකාවේ මිනිස්සු ලඟ තියෙන මනුස්සකම ලෝකේ වෙන කොහෙවත් නෑ."

එකම රටක වැසියන් වශයෙන් අපි අපි ගැනම පුදුමවී වර්ණනා කරගන්නේ ඇයි? මා මේ පිළිබද විමසන්නේ එහි යම්කිසි නොගැලපීමක් ඇතිබව මාගේ ඉන්ද්‍රියන්ට දැනෙන නිසාය. (ඔබට එසේ නොවනවා වෙන්නට පුළුවන්) සාමාන්‍යයෙන් යම්කිසි පාර්ශවයක් විසින් සිදුකරන උසස් ක්‍රියාවක් වර්ණනා කරන්නේ ඔවුන්ට බාහිරින් සිටින වෙනත් පාර්ශවයක්ය. ක්‍රිකට් තරඟයකින් ජයග්‍රහණය කරන කණ්ඩායමක් ගනිමු. ජයග්‍රහණය ගැන සතුටුවීමෙන් නොනැවතී ක්‍රීඩකයන් "අපි පුදුම දක්ෂ කණ්ඩායමක්, අපි වගේ ක්‍රිකට් ගහන ක්‍රීඩකයෝ ලෝකේ වෙන කොහෙවත් නෑ, ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුන එක ගැන හරි ආඩම්බරයි, අපි හරිම වෙනස් ටීම් එකක්" වැනි අදහස් පලකලහොත් එහි යම්කිසි නොගැලපීමක් වෙයි. එම කණ්ඩායම වර්ණනා කලයුත්තේ ජයග්‍රහණය සදහා ඔවුන් යොදාගත් උපක්‍රම ආගන්තුක වෙනත් කණ්ඩායම්ය. ඒ ආකාරයට රටක වැසියන් වශයෙන් අපි අපවම වර්ණනා කරගනිමින් අපි අපටම ආගන්තුක වී ඇත්තේ ඇයි?
අප රට සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම්ව ගොඩනැගුන රටක් වුවත් අද අපට බලකෙරී ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අනුගතව ජීවත් වීමටය. ආචාර්ය නලින් ද සිල්වා පවසන ආකාරයට අපේ රට බෞද්ධ කෑලි එල්ලාගත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ රටකි. අධ්‍යාපන ක්‍රමය, නිතී පද්ධතිය, වෛද්‍ය ක්‍රමය, පාලන ක්‍රමය ආදී සියල්ල බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පදනම්වු රටවලින් අපට ලැබුන දේය. සියවස් ගණනක් මුළුල්ලේ අප වෙත මෙම සංස්කෘතික ආධිපත්‍යය මුදාහරිමින් පවතී. මෙම සංස්කෘතික ආධිපත්‍යයේ බලපෑම නිසා අප අද අපේම සිංහල බෞද්ධ සංස්කෘතියට ආගන්තුක වී සිටින්නෙමු. මේ බව වඩාත් පැහැදිලිවෙන අවස්ථාවක් නම් සිංහල අලුත් අවුරැදු සමයයි. අද අපට අපගේ සංස්කෘතික අංග දැකගත හැකිවන්නේ රෑපවාහිනියෙන් පමණි. අප සිංහල අවුරැද්ද පුරාවට අපගේ සංස්කෘතියේම ප්‍රේක්ෂකයන්වී සිටින්නෙමු. වෙනත් රටක සංස්කෘතියක් නරඹනවා සේ අපේම සංස්කෘතිය රෑපවාහිනිය හරහා දැකබලා ගන්නෙමු.
සාමුහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ඉස්මතු කරවන සංස්කෘතියක් දිර්ඝ කාලයක් මුළුල්ලේ අපට ආරෝපණය කිරීමට උත්සහ ගත්තත් ඇතැම් අවස්ථාව වලදී යටපත්වී ඇති සාමුහිකත්වය පදනම්වු සිංහල බෞද්ධ සංස්කෘතික ලක්ෂණ මතුපිටට පැමිණෙයි. ගංවතුරින් විපතට පත්වූවන්ට ආධාර උපකාර කිරීමට රජයක මැදිහත්වීමකින් තොරවම අපේ රටේ මිනිසුන් එ්ක රාශී වුයේ නැවත මතුවු ඒ සංස්කෘතික ලක්ෂණයේ බලපෑම නිසාය. තවමත් ගැමියන් අතරේ පවතින මෙම සාමුහිකත්ව ලක්ෂණ ඔවුන්ට විමතිය ඇතිකරවන දෙයක් නොවුවත් පෞද්ගලිකත්වය ප්‍රමුඛ කොටගත් ජීවන රටාවකට හුරැවෙමින් පවතින නාගරිකයන්ට, මෙවන් අනපේක්ෂිත අවස්ථාවකදී තමා තුල අවිඥානිකව පැවති සාමුහිකත්ව ලක්ෂණ ඉස්මතු වු විට පුදුම නොවී සිටින්නට නොහැකි වන්නට ඇත. එමනිසා මෙවැනි අපි අපවම වර්ණනා කරගන්නා පෝස්ට් නිර්මාණය වේ.

අපි අපි ගැනම පුදුමවන ජාතියක් අපි අපි ගැනම පුදුමවන ජාතියක් Reviewed by Fox Talks on 9:54 PM Rating: 5

No comments :

Powered by Blogger.