කොළ පෑගීම


වී ගොවිතැනේදී අස්වනු නෙලීමෙන් පසු ඊළගට කිරීමට ඇති ප්‍රධානම කටයුත්ත වන්නේ කොළ පෑගිමය. වී ගොවිතැන සදහා යන්ත්‍ර සුත්‍ර භාවිතයට පෙර කොළ පෑගීම සදහා යොදා ගත්තේ මී හරකුන්ය. කමතක් මැද ගොඩ ගසන ගොයම් මී හරකුන් ලවා පාගවා පසුව “මුක්කාලිය” නමින් හැදින්වෙන අට්ටාලය උඩට නැගී වී හුළං කරගනු ලබයි. රජරට ප්‍රදේශයේ වී හුළං කිරීම වැඩි වශයෙන් සිදුකොට ඇත්තේ වෙසක් කාලයේදීය. ඒ රජරට ප්‍රදේශයට හුළං හැමීම වැඩියෙන් ඇත්තේ එම කාලයේ නිසාය.
ට්‍රැක්ටර් භාවිතය පැමිණීමත් සමග කමත මැද ගොඩ ගසන ගොයම් කොළය පාගා ගනු ලබන්නේ ලොකු ට්‍රැක්ටරයක් මගිනි. ඉන්පසු ලෑන්ඩ් මාස්ටරයට සවි කරන හුළං පෙත්තක් මගින් වී ෆෑන් කරගනු ලැබේ. අත් ට්‍රැක්ටරය නිපදවූ සමාගමේ නම් ලෑන්ඩ් මාස්ටර් උවත් දැන් පොදුවේ සෑම අත් ට්‍රැක්ටරේකටම ලෑන්ඩ් මාස්ටරේ කියා ගොවියන් හදුන්වයි. වගාවට සුදුසු ලෙස පස සකස් කිරීමට හා අස්වනු ප්‍රවාහනයට තාමත් ට්‍රැක්ටර් යොදා ගන්නා නමුත් කොළ පෑගීම හා හුළං කිරීමට දැන් “සුනාමි” නමින් හැදින්වෙන යන්ත්‍රයකුත් යොදාගනී. සුනාමි ගහනවා කියන්නේ ඒයටයි. සුනාමි ගැසීමට ගොයම් කපා ඒවා යන්ත්‍රය ලගට රැගෙන ආ යුතුය. නමුත් දැන් තිබෙන “භූතයා” නමින් හැදින්වෙන යන්ත්‍රය ගොයම් කැපීමේ සිට මලු වලට පිරවීම දක්වා සියලු දේ කිරීමට සමත් යන්ත්‍රයකි. අනෙක් ක්‍රම වලට වඩා අඩු කාලයකින් සියල්ල කරගත හැකිවුවත් වී අපතේ යාම මේ යන්ත්‍රයේ වැඩිය.
අත්තම් ක්‍රමයේ තිබු සාමුහිකත්වය කුළිවැඩ ක්‍රමය නිසා යම් ප්‍රමාණයකට අඩුවිය. යන්ත්‍රසුත්‍ර වල භාවිතය ඉහල යාමත් සමග ගොයම් කැපීම මෙන්ම කලින් මුළු රැයක් පුරා සිදුවන කොළ පෑගීමේ ක්‍රියාවලිය පැය කිහිපයක කටයුත්තයක් බවට පත්විය. එය ගොවියන්ට ආර්ථික වශයෙන් වාසිදායක වුවත් එමගින් ඔවුන් අතර පෙර තිබු සාමුහිකත්ව හැගීම තවදුරටත් අඩුවීගෙන යයි.
කොළ පෑගීම කොළ පෑගීම Reviewed by Fox Talks on 11:05 AM Rating: 5

No comments :

Powered by Blogger.