Good Kill (2014) – Movie Review



ඇමෙරිකානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා නියමුවෙක් ලෙස කටයුතු කල මේජර් තෝමස් ඊගන් (ටොමි), මිනිසුන් සහිත යානා, ගුවන් ප්‍රහාර සදහා යොදාගැනීම සීමාකල පසු ලාස් වේගාස් නගරය කේන්ද්‍ර කොටගත් ගුවන් හමුදා කඳවුරක ඩ්‍රෝන් නියමුවෙක් ලෙස කටයුතු කිරීමට පටන් ගනී. තාලිබාන් ඉලක්ක වෙත එල්ල කරන ඩ්‍රෝන් ප්‍රහාර වලින් සිවිල් වැසියන්ට සිදුවන හානිය ( collateral damage) නිසා මෙන්ම පසුව ඔහුගේ කණ්ඩායම CIA සංවිධානයේ නියෝග වලට අනුව දියත් කරන ප්‍රහාරවල ඇති සදාචාර විරෝධී ස්වරෑපය නිසාත් තම රැකියාවෙන් ලෝකයට ඉටුවිය යුතු යහපත ඉටු නොවනවා කියා අපේක්ෂා භංගත්වයට පත්වී තම රැකියාවේ සදාචාරාත්මක මානයන් ප්‍රශ්න කිරීමට පටන් ගනී. රැකියාවේ සිදුවු එම වෙනස්වීමත් සමඟ සාමාන්‍ය අයුරින් ගෙවිගිය ඔහුගේ පවුල් ජිවිතයද විපර්යාසයකට ලක්වේ. මෙය සත්‍ය සිදුවීම් පාදක කොටගෙන නිර්මාණය කල චිත්‍රපටයක් බව දැක්වෙයි.
සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වු තවත් ඇමෙරිකානු යුධ චිත්‍රපටයක් වු ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ American Sniper (2014) – 7.3 IMDB  චිත්‍රපටයෙන් හමුවන ඉරාකයේ සේවයේ යෙදී සිටින ක්‍රිස් කයිල් නම් ස්නයිපර් වෙඩික්කරුවා හමුදා සේවයේ යෙදී සිටියදි මෙන්ම ඉන් ඉවත්වු පසුවත් සිවිල් සමාජයට අනුගත වීමෙදි යම් ගැටළුකාරී තත්වයන්ට මුහුණ පෑමට සිදුවේ. ඉරාකයේ යුධ මෙහෙයුම් වලට සම්බන්ධව සිටින ඔහු තම පවුලේ සාමාජිකයන් සමඟ එක්වන්නේ මෙහෙයුම් අතරතුර ලැබෙන නිවාඩුවකදී පමණි. සාමාන්‍ය සිවිල් ජිවිතයේදීද සෑම දෙයක් ගැනම දැඩි විමසිල්ලෙන් සිටින ඔහු බොහෝවිට කළහකාරී හැසීරිමක් පෙන්නුම් කරයි.
ක්‍රිස් කයිල් මෙන්ම ටොමිත් ත්‍රස්තවාදයට එරෙහි ඇමෙරිකානු යුද්ධයේ (war on terror) සෙබළුන් වුවත් ටොමිගේ දිනචර්යාව ක්‍රිස්ට වඩා බෙහෙවින් වෙනස් වුවකි. සාමාන්‍ය කන්තොරැ රැකියාවක් කරන අයෙකු මෙන් වායු සමීකරණය කල කාමරයක, කෝපි කොප්පයක් පානය කරන ගමන් ඔහු ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ මෙහෙයුම් වලට සහභාගී වෙයි. පැය 12 සේවා මුරය අවසන් කරන ටොමි සුපිරි වෙළදසලට ගොස් එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය බඩු බාහිරාදියත් රැගෙන නිවස බලා යයි. ඔහු එනතෙක් දරැවන් හා බිරිඳ මග බලාගෙන සිටියි. ඉන්පසු සවස් කාලය පවුලේ හිතවතුන් සමග බාබකිව් එකක් දමා ප්‍රීතියෙන් ගෙවා දමයි. එමෙන්ම යුද්ධය වැනි විනාශකාරී, කර්කශ දෙයකට සම්බන්ධවී සිටියත් ක්‍රිස් මෙන් කළහාකාරි හැසිරීමක් ටොමි තුලින් විද්‍යාමාන නොවේ. ටොමිගේ බිරිඳගෙන් ඇයගේ මිතුරියක් ටොමිට නිතර තරහ යනවාද කියා විමසන විට පවසන්නේ ඇය කිසිදිනක ඔහු කෝපයෙන් සිටිනවා දැක නැති බවයි.
ටොමි වෘත්තීයෙන් ප්‍රහාරක ගුවන්යානා නියමුවෙක් වුවත් ඩ්‍රෝන් නියමුවෙක් වශයෙන් ක්‍රියාකිරීමේදි ඔහුට සැබෑ යුද්ධයකදී මුහුණ දීමට සිදුවන අනතුරැදායක තත්වයන්ට මුහුණ දීමට සිදුනොවේ. ඔහුගේ නව රැකියාව තුලදී යුද්ධය අනතුරැදායක දෙයක් බවට පත්කරන සාරය (essence) එයින් ඉවත්කොට ඇත. චිත්‍රපටයේ දැක්වෙන ටොමිගේ හැසිරීමට හේතුව වන්නේ සාරය අහිමිවු රැකියවක නිරතවීම නිසා තමන් තුල ගොඩ නැගෙන අර්බුදයයි. මෙය තේරැම් ගැනීමට අතථ්‍ය යතාර්ථය (virtual reality) පිළිබද ජිජැකීයානු කියවීමෙන් යම්කිසි ආලෝකයක් ලබාගත හැකිය. ජිජැක් අතථ්‍ය යතාර්ථය සමාන කරන්නේ සාරය අහිමි කරවු නිෂ්පාදනයකටය. අද වෙළදපොලේ ඇති සමහරක් භාණ්ඩ වලින් එවායේ ඇති අන්තරාදායක කොටස් ඉවත් කර ඇත. කැෆේන් ඉවත්කල කෝපි, මේදය ඉවත්කල කිරි, ඇල්කොහොල් ඉවත්කල බියර් ආදි වශයෙන් එවා දැක්විය හැක. ඒ ආකාරයට අතථ්‍ය යතාර්ථය වශයෙන් අපට හමුවන්නේ සාරය ඉවත්කල යතාර්ථයකි. යතාර්ථය අත්දැකිය හැකිවුවත් එය අන්තරාදායක දෙයක් බවට පත්කරන සාරය ඉවත්කොට ඇත. එය හරියට කැෆේන් ඉවත්කල (decaffeinated) කල කෝපි වලත් අනෙක් කෝපිවල මෙන් රසය හා සුවඳ පවතින්නාක් මෙන්ය.
ඩ්‍රෝන් නියමුවෙක් යුද මෙහෙයුම් වලට සහභාගී වුවත් ඔහුට යුද්ධයේ ඇති අනතුරැදායක තත්වයන් අත්දකින්නේ නැත. මෙය යම්තාක් දුරකට xbox හරහා කරන යුධ ක්‍රීඩාවකට සමානවේ. අප යුද්ධයකට සහභාගී වුවත් යුද්ධයේ සාරය වන අනතුරැදායක ස්භාවය එයින් ඉවත්කර ඇත. ටොමිගේ රැකියාවත් බාහිරින් එවැනි විඩීයෝ ක්‍රීඩාවක් වැනිය. ඩිජිටල් තිරයක් ඉදිරිපස සිට වීඩියෝ ක්‍රීඩාවක ආකාරයට සතුරැ ඉලක්ක වෙත ප්‍රහාර දියත් කරයි. එහෙත් තිරයෙන් දිස් වන්නේ සැබෑ ලෙසම ලේ, මස් වලින් සැදුන මිනිස් ඉලක්කය. තමන් කිසිදු අන්තරාදායක තත්වයකට මුහුණ නොපා සතුරන් විනාශ කරදැමීම ඔහුට සාධාරණීකරණය කරගැනීමට නොහැකි වෙයි. එයින් ඔහුට තමන් පිළිබදව විශාල වරදකාරී හැඟීමක් ඇතිවෙයි. මීට පෙර ප්‍රහාරක යානා නියමුවෙකු වශයෙක් සතුරාගේ ප්‍රහාරයට ලක්වීමේ අවදානම සහිතවම සතුරන් විනාශ කිරීමට හැකියාවක් ලැබුණු නිසා ඔහුට තමන් කරන මනුෂ්‍ය ඝාතන සාධාරණීකරණය කරගැනීමේ හැකියාවක් තිබෙන්නට ඇත. මෙම අවදානම ඉවත්වීම එක් අතකින් ඔහුගේ සමීපතමයන්ට සුභවාදී දෙයක් වුවත්, අනෙක් අතින් එය නිසා ටොමිගේ සාමාන්‍ය ජීවන රටාව විපර්යාසයකට භාජනයවේ. ඔහු සිතන්නේ තමා හා පවුලේ සාමාජිකයන් අතරේ ක්‍රමයෙන් දුරස්වන සම්බන්ධය නැවතත් සාමාන්‍ය අතට පත්කර ගැනීමට නම් නව රැකියාවේ ස්භාවය නිසා අහිමිවු ජිවීත අවදානම නැවත ඇතිකර කරගත යුතු බවයි. එමනිසා ඔහුට සැබෑ ලෙසම යුද්ධයට සහභාගීවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස තම ප්‍රධානියාගෙන් ඉල්ලීමක් කරයි. ඔහු ඒ පිළිබදව වරක් බිරිඳට පවසන්නේ I am a pilot and I’m not flying.

ගුවන් හමුදාවේ නීතිරීතිද උල්ලංඝනය කරමින් CIA සංවිධානයේ නියෝග වලට අනුව කරන follow up ප්‍රහාර (එක් ඩ්‍රෝන් ප්‍රහාරයකින් පසුව එතනට එකතුවන පිරිස ඉලක්ක කරගෙන නැවත එල්ල කරන ප්‍රහාර) නිසා ට‍ොමි තවදුරටත් තම රැකියාව කෙරෙහි කළකිරෙයි. ඔහු තම ප්‍රධානීයාගෙන් වරක් ප්‍රශ්න කරන්නේ තමන් සැබෑ ප්‍රහාරක යානා නියමුවන් නොවී කුඩා කුටීරයක සිටින ඩ්‍රෝන් නියමුවන් වී සැබෑ යුද්ධයට අදින යුධ ඇඳුම් අදිනනේ කුමන හේතුවක් නිසාද කියාය.

මෙම චිත්‍රපටයේ දැක්වෙන ප්‍රහාර සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කර ඇති බව දැක්වෙයි. එමනිසා මෙහි දැක්වෙන සිදුවීම් වලට සමාන සිදුවීම් සැබෑ ලෙසටම සිදුවී තිබිමේ සම්භාවිතාවයක් ඇත. ඩ්‍රෝන් යානයක සිට නිකුත් කරන මිසයිලයක් සතුරැ ඉලක්කය වෙත ලඟාවීමට තප්පර 12ක පමණ කාලයක් ගතවේ. වරක් එවැනි මිසයිලයක් ඉලක්කය වෙත ගමන් කරනා අතරතුර කුඩා ළමුන් දෙදෙනෙක් ඒ අසලින් ගමන් කිරීම නිසා ඔවුනුත් ප්‍රහාරයට ගොදුරැවී (collateral damage) මියයයි. එම සිදුවීම නිසා කම්පනයට පත්වන තම කණ්ඩායම එයින් ඇතිවු වරදකාරී හැඟිමෙන් මුදවා ගැනීමට එම ප්‍රහාරයට අණදුන් ප්‍රධානීයා මේ ආකාරයෙන් හේතු දක්වයි.
We didn’t know those kids were gonna show up. But they know. They knew for a fact. There were kids on those 767s they flew into the twin towers. They had to walk past those kids to get into the cockpits.
එම වරදකාරී හැඟීමෙන් මිදීමට ඔහු සාධාරණ හේතුවක් ලෙස යොදාගන්නේ 9/11 සිදුවීමයි. එමෙන්ම ඇමරිකානු රජය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයෙදී, කොතරම් collateral damage සිදුවුවත් වැඩි වශයෙන් නියමුවන් රහිත යානා යොදාගැනීමට හේතුව මේ ආකාරයට පැහැදිලි කරයි. යම්කිසි ත්‍රස්තවාදී නායකයෙක් හෝ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සිදුවන ස්ථානයක් ඉලක්ක කරගනිමින් කරන සාමාන්‍ය යුධ මෙහෙයුම් (ගොඩබිම් හෝ නියමුවන් සහිත යානා වලින්) ඩ්‍රෝන් ප්‍රහාරවලට වඩා අන්තරාකාරීවේ. එම මෙහෙයුම් වලින් ඇමෙරිකානු සෙබළුන් මියායාම හෝ සතුරන් අතට පත්වීම හෝ සිදුවිය හැකිය. මියයන ඇමෙරිකානු සෙබළුන් ප්‍රමාණය වැඩිවන විට තම රටට යැවෙන මිනී පෙට්ටි ප්‍රමාණය වැඩිවන නිසා සාමාන්‍ය ඇමෙරිකානුන් රජය කෙරෙහි දක්වන විරෝධය ඉහල යා හැකිය. එමෙන්ම ජිවග්‍රහණයෙන් අල්ලාගත් ඇමෙරිකානු සෙබළුන්ගේ බෙලි කපාදමන රෑපරාමු අල්ජසීරා වැනි රෑපවාහිනී නාලිකා වලින් ප්‍රචාරය වනවිට පෙන්ටගනය අපකීර්තියට පත්විය හැකිය. එමනිසා කොතරම් collateral damage සිදුවුවත් ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කිරීම සෑම අතින්ම හිතකරවේ.
නැවත වතාවක් ප්‍රහාරක යානා නියමුවෙක් ලෙස ක්‍රියාකිරීමට අවස්ථාවක් නොලැබෙන නිසා මෙන්ම තම ප්‍රධානීන්ගේ නියෝග නොසලකා හැරීම නිසා ඇතිවන අර්බුදකාරී තත්වය නිසාත් අවසානයෙදී ට‍ොමි තම රැකියාවෙන් ඉවත්වී යාමට තීරණය කරයි. එහෙත් මෙතෙක්කල් තමාගේ හෘදසාක්ෂියට එරෙහිව යමින් සිදුකල ප්‍රහාර නිසා ඇතිවු වරදකාරී හැඟීම මග හරවා ගැනීමට ටොමි මෙහෙයුම් කාමරයේ කිසිවෙක් නොමැති අවස්ථාවක් බලා එක් විශේෂ මෙහෙයුමක් සිදුකරයි. දිනපතා සතුරැ ඉලක්ක නිරීක්ෂණය කරමින් සිටින ටොමිගේ කණ්ඩායමට දිනක් දක්නට ලැබෙන්නේ තුවක්කුවක් එල්ලාගත් ත්‍රස්තවාදීයෙක් යැයි පෙනෙන පුද්ගලයෙක් එක් නිවසකට ගොස් එහි සිටින කාන්තාවකට දැඩිලෙස පහරදී නිවස ඉදිරිපිටදීම දුෂණය කරන ආකාරයයි. මෙම සිදුවීම දැක කණ්ඩායමේ සියලු දෙනාම පාහේ කම්පනයට පත්වේ. මෙය දින කිහිපයක්ම ඒ ආකාරයට සිදුවේ. එහෙත් එයට එරෙහිට කිසිදු ක්‍රියාමාර්ගයක් ඩ්‍රෝන් මෙහෙයුම් කණ්ඩායම නොගනී. ඔවුන්ගේ ප්‍රධානීයා පවා එයට එරෙහිව කිසිවක් කිරීමට නොපෙලඹෙයි. වරක් එක් සාමාජිකයෙක් පවසන්නේ he is a bad guy, he is just not our bad guy කියාය. අවසානයෙදී කිසිවෙක් නොමැති අවස්ථාවක් බලා ටොමි එම පුද්ගලයාට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කොට විනාශකර දමා සැහැල්ලුවෙන් රැකියාවෙන් ඉවත්වී යයි.
චිත්‍රපටය තුලින් ඇමෙරිකානු රජය, CIA සංවිධානය හා ඇමෙරිකානු හමුදාව සම්බන්ධවී සිදුකරන සදාචාර විරෝධී සිදුවීම් ගෙනහැර දැක්වුවත් චිත්‍රපටය අවසානයෙදී ඇමෙරිකානු හමුදාව හා සාමාන්‍ය ඇමෙරිකානු යුධ සෙබළා පිළිබදව යහපත් ප්‍රතිරූපයක් ලෝකයා හමුවේ ඇති කරයි. ඇමෙරිකානු ප්‍රහාර නිසා මියයන සාමාන්‍ය මිනිසුන් කෙරෙහි අනුකම්පාවක් චිත්‍රපටය මුල සිට ඇති කිරීමට සමත් වුවත් අවසානයෙදී ඊට වඩා ප්‍රබලව සාමාන්‍ය ඇමෙරිකානු සෙබළා ගැන යහපත් ප්‍රතිරූපයක් ටොමි හරහා ඇති කිරීමට චිත්‍රපටය සමත්වෙයි.
Good Kill (2014) – Movie Review Good Kill (2014) – Movie Review Reviewed by Fox Talks on 11:50 AM Rating: 5

No comments :

Powered by Blogger.