අලි ඇතුන් පෙරහැරේ ගෙනයාම සහ වියුක්ත බෞද්ධයන්ගේ අලි විනෝදය


අලි ඇතුන් පෙරහැරවල රැගෙන යාම සහ පන්සල්වල ඇතිකිරීම ගැන ඇතිවූ සංවාදයක් මේ වනවිට විනෝද සාගරයක් බවට පත්වී තිබේ. අලි ඇතුන් පන්සල්වල ඇතිකිරීම හා එම සතුන් බෞද්ධ ආගමික උත්සව සදහා යොදාගැනීම බුදු දහමේ ඉගැන්වීමක් නොවන නමුත් සිංහල බෞද්ධ සංස්කෘතියේදී එම සම්බන්ධය කලාන්තරයක් මුලුල්ලේ පවතී. සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි විවේචන සිදුකරන්නන් කරන එක් උපකල්පනයක් වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිගන්නන් අකුරටම බුදු දහම පිළිපැදිය යුතුය යන්නයි. එමනිසා අවිහිංසාවාදය මුල්කර ගත් දහමක් අනුගමනය පිරිසක් අලි ඇතුන් දම්වැල් වලින් බැඳ දමා පෙරහැරේ ගෙන යන්නේ කෙසේදැයි අසයි. මුලින්ම කිව යුත්තේ පරම අවිහිංසාවාදයක් දේශනා කර ඇත්තේ ජෛන ආගමේ බවයි. එමෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියට බුදු දහමේ ආභාෂය දැඩිව බලපා තිබුනත් සංස්කෘතිය යනු සහමුලින්ම බෞද්ධ ප්‍රතිපදාව පිළිපැදීම නොවන බවය.
අලි ඇතුන් සම්බන්ධ චෝදනාව වැඩි වශයෙන් එල්ල කරන්නේ නිර්-ආගමිකයන් හා ඇතැම් වියුක්ත බෞද්ධයන්ය (වියුක්ත බෞද්ධයන් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් විතැන්වී සිටියි). ඔවුන්ට ථෙරවාදී බුදු දහමේ ඉගැන්වීම් පිළිගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් ඇත. නමුත් මුල් බුදු දහමේ ඉගැන්වීම් සමග ගැටීම එතරම් පහසු හා විනෝදජනක දෙයක් නොවේ. එයට යම් ප්‍රමාණයකට බුදු දහම ගැඹුරින් හදාරා තිබිය යුතුය. එමනිසා බුදු දහම සමඟ ඇති ඇරියස් එක කවර් කරගැනීමට ඇති පහසුම මඟ වැටි ඇත්තේ ඇතැම් භික්ෂුන්ගේ විනය විරෝධි ක්‍රියා හා සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇතැම් අංග හරහාය. අලි ඇතුන් පෙරහැරවල් වලට යොදාගැනීම හා පන්සල්වල ඇතිකිරීම සම්බන්ධයෙන් ඇති විවේචනවල පසුබිමත් එයයි.
සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධීන් සිතන්නේ තමන්ට විනෝදවීමට ඇති අවස්ථා අවහිර කර ඇත්තේ අධිපතිවාදී සිංහල බෞද්ධ සංස්කෘතිය බවයි. සිංහල බෞද්ධ සංස්කෘතික ආධිපත්‍යයක් නොමැතිනම් තමන්ට පරිපුර්ණ විනෝදයක් ලබාගත හැකිබවට ඔවුන් විශ්වාස කරයි. නමුත් මෙම ආධිපත්‍යය බිඳ දැමීමට පහසුවෙන් නොහැකි බවත් ඔවුන් දනී. එමනිසා එම ආධිපත්‍යය තුල සිටියදීම යම්තාක් දුරකට හෝ විනෝදයක් ලබාගත හැක්කේ එම සංස්කෘතිය තුල දිර්ඝ කාලයක් තිස්සේ මුල්බැස ගෙන ඇති සංස්කෘතිකාංග හා සමාජ සම්මුතීන්ට එරෙහිව යාමෙන්ය. එ්වා බිඳ දැමීමෙන්ය. මේ දිනවල දකින්නට ඇති අලි ඇතුන් කෙරෙහි ඇති අධික කරැණාවත් ස්ථානගත වන්නේ අලි ඇතුන් අධිපතිවාදී සංස්කෘතිකයට බැදී ඇති ප්‍රමාණය අනුවය. විනෝදය ඇත්තේ මෙම බැදීම කඩාබිද දැමීමට ගන්නා උත්සහයෙදීය. එමනිසා රැඩිකල්වාදීන්ගේ අලි කරැණාව ගැන මෙවැනි අදහසක් ඉදිරිපත් කලහැකිය.

"අලි ඇතුන් පෙරහැරේ රැගෙන යාමට දක්වන විරෝධයදී අලි ඇතුන් යනු අත්‍යාවශ්‍ය සාධකයක් නොවන බවයි."

 එනම් අලියා පෙරහැරේ ගෙන යාමට දක්වන විරෝධයෙදී විනෝදය ස්ථානගත වන්නේ අලියාගෙන් පිටත බවයි. පෙරහැරේ යන අලියෙකුගේ කකුලේ බැද ඇති දම්වැලක් දැකීමෙන් නිසදැස් ලියාගෙන ලියාගෙන නංගී කෙනෙකුට කෝච්චියක හැපී හෝ වගා ලිඳකට වැටි මියයන අලි පැටියෙක් ගැන කවි සිතුවිලි පහල නොවන්නේ එමනිසාය.
විදුලි වැටවල් ඇද අලියන්ට කරන්ට් වැද්දවීම, පිරිසක් ඉදිරියේ අලියන් කකුල් දෙකෙන් හෝ හොම්බෙන් හිට ගැස්සීම, සත්තුවත්තක දමාගෙන දිනපතා කොස් කොල කැවීම ආදී දේවල් වලට විරෝධය දැක්වීම එතරම් විනෝදාත්මක දෙයක් නොවන්නේ එ්වා අධිපතිවාදී සිංහල බෞද්ධ සංස්කෘතිකයට ගැටගැසී නොමැති නිසාය. එමෙන්ම ඒවාට විරැද්ධ වනවාට විරැද්ධ වන්නන්ද නැත. ඒවාට විරැද්ධ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් අනිවාර්ය විනෝදයක් ලැබීමේ සහතිකයක්ද නැත. සරලවම කිවහොත් කිසිම කික් එකක් නැත. එමනිසා ඒවාට එරෙහිව කෙස් පැලෙන තර්ක, ඡායාරෑප ප්‍රදර්ශන හෝ සාහිත්‍ය නිර්මාණ බිහිවන්නේ නැත.
වියුක්ත බෞද්ධයන්ට බුදු දහමේ පැවැත්මට සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇති සම්බන්ධය ගැන දැනීමක් නැත. බුදු දහම සංස්කෘතියෙන් විතැන්වු කල නියම බුද්ධ දේශනය මතුවන බවට නිතර අවධාරණය කරයි. අලි ඇතුන් යන පෙරහැරක් දකින වියුක්ත බෞද්ධයා තමන්ගෙන් අසන ප්‍රශ්නය වන්නේ.
“දැන් මමත් බෞද්ධයෙක්, මුනුත් බෞද්ධයෝ. ඒත් මේ අලියෝ දාගෙන පෙරහැරක් ගිහින් මට ගන්න බැරිව මුන් ගන්න ආතල් එක මොකක්ද? බුඩිසම්ස් කියන්නේ ඕක නෙමෙයිනේ. එක කොච්චර විද්‍යානුකූලද? ”
වියුක්ත බෞද්ධයාගේ අර්බුදය වන්නේ සංස්කෘතික අංගයක් හා ආගමික වතාවතක් අතර වෙනස වෙන්කර හඳුනා ගැනීමට අසමත් වීමයි. එමනිසා ඔහු හැකි සෑම අවස්ථාවකම සෑම බෞද්ධයෙකුටම “සත්‍යයෝදය” පොත කියවීමට නිර්දේශ කරයි. නියම බෞද්ධයෙක් වන ආකාරය කියාදෙයි.
නිර්-ආගමිකයන්ගේ හා වියුක්ත බෞද්ධයන්ගේ අලි කරැණාවට අලියන්ගේ සම්බන්ධයක් නොමැතිබව මේ අනුව තෙරැම්ගත හැක. එමනිසා උඩුවේ හිමියගේ පන්සලට කව්දෝ ගෙනත් දා ඇතැයි කියන අලි පැටියෙක් නිසා ගැනීමට හැකිවු ආතල් එක වැනි දෙයක් මැල්කම් රංජිත් පියතුමාගේ පල්ලියට දේව දූතයෙක් අලිපැටියෙක් ගෙනත් දැම්මා කිවත් ගැනීමට අපහසුය. උඩුවේ හිමියන් නැවත ධර්ම විනය දෙකේ පිහිටුවාලීමට දැඩි කැපවීමෙන් ක්‍රියාකරන උපාසිකාවක් විසින් අටමස්ථානේ වන්දනාවේ යනවිට ගායනය කිරීම සදහා නිර්මාණය කර ඇති පහත ගීතය රස විදින්න.
මිදුලේ සුදු වැලිතලයේ අලි අඩි හතරක සළකුණු
දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ
මා අරමේ නැති අතරේ කවුරුන් හෝ පැමිණ තිබේ
කවුරුද ආවේ අරමට කවුරුද ආවේ …..


රාජට සෝයුරන් නොමැත නාලාගිරි අසනීපෙනි

අලි අල්ලන රොෂාන් වත් ආවද මන්දා?
ඊයෙත් සැන්දෑ වරුවේ මා එනවිට මිදුල පුරා
තිබුණා අලි අඩි සලකුණු කාගෙද මන්දා


අවුල්ව ගිය මනසින් යුතු මා නිවසට ගොඩවැදුනා

ෆෝන් එකට ආ ටෙක්ස්ට් එක රහස දුරුකළා
කලින් දොඩා ගත් විදියට රොෂා පැටිය එවා තිබේ
පුංචි දෙතොල් අතරින් කිරි සිනහ මතුවුනා
එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරුවුනා
අලි ඇතුන් පෙරහැරේ ගෙනයාම සහ වියුක්ත බෞද්ධයන්ගේ අලි විනෝදය අලි ඇතුන් පෙරහැරේ ගෙනයාම සහ වියුක්ත බෞද්ධයන්ගේ අලි විනෝදය Reviewed by Fox Talks on 11:59 AM Rating: 5

No comments :

Powered by Blogger.