සාලය මැද අලියා, චිත්‍රාල් සහ චින්තන ධර්මදාස


පණ පිටින් මස්කරා උකුස්සෙක්
අලි පැටව් හුරතල් පන්සලේ
සිංහලේ රකිමින් ත්‍රීවිලයෙන්
අත්මිදී අපි විල්පත්තුවෙන්

විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක්
හුස්මක් නොගෙන දුවනා රැළක්
ජිවිතේ මහා හිස්කමක්
ඉඩමක් ගෙයක් ඇයි ගහ කොළක්
විල්පත්තුවේ…..
ගිනි පත්තුවේ…..
වන සතුන් සැරිසරයි නගරයේ
මහ කැලේ ජාතියත් ඇවිලේ
හන්දියෙත් බෝසතුන් බුදුවේ
විල්පත්තු කැපි කැපී කොටවේ
විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක්
හුස්මක් නොගෙන දුවනා රැළක්
ජිවිතේ මහා හිස්කමක්
ඉඩමක් ගෙයක් ඇයි ගහ කොළක්
විල්පත්තුවේ….
ගිනි පත්තුවේ….
ඉංග්‍රීසි භාෂාවේ The elephant in the room යනුවෙන් යෙදුමක් ඇත. එහි ඇත්තේ පැහැදිලිව පෙනෙන සත්‍යයක්, මඟ හැරිය නොහැකි කරැණක් ගැන සැලකිල්ලක් නොදක්වා, හිතාමතා එය ගැන කතා නොකර සිටිනවා වැනි අදහසකි. නිවසක සාලය මැද්දේ අලියෙක් සිටින විට අපට ඒ ගැන කතා නොකර නිවසේ අනික් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකර ගෙන යාමට නොහැකිය. චින්තන ධර්මදාස විසින් රචනා කරන ලද චිත්‍රාල් සෝමපාල විසින් ගායනා කරන විල්පත්තු වන විනාශය සම්බන්ධ මෙම ගීතයේ පද පේලි බැලීමේදි මතකයට නැගෙන්නේ එම යෙදුමයි.
විල්පත්තුවේ සිදුවන වන විනාශයට විරෝධය පළකිරීමට උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීම, ඡායාරූප තරඟ පැවත්වීම, ගීත ගායනය ආදිය කිරිමේ වරදක් නැත. එම විරෝධතා හරහා විය යුත්තේ ගැටළුව හා එයට ඇති විසඳුම ගැන සාකච්ඡා කිරීමය. විසඳුමක් ගැන කතා කිරීමට පෙර ගැටළුවට හේතුව දැනගත යුතුය. විල්පත්තු අර්බුදයට හේතුව ලෙස සැලකෙන්නේ බදුර්දීන් නම් අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සිදුවන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් නිසා ඇතිවන වන විනාශයයි. එයින් වනාන්තරය මෙන්ම වන සතුන්ගේ ජීවිතද තර්ජනයට ලක්වෙයි.
විල්පත්තු වන විනාශයට එරෙහි ගීතමය විරෝධයකදී එයට බදුර්දීන්ගේ ඇති සම්බන්ධය, නිවාස ඉදිකිරීම ආදී කරැණු එකතු කිරීම ගීතයේ රසවින්දනයට බාධාවක් වියහැකි යැයි යමෙක් කිවහොත් එය පිළිගත හැකිය. එමනිසා එම කරැණු අඩංගු නොකොට වන විනාශයට එරෙහි දැනුවත් කිරීමක් ගීතයක් හරහා සිදුකල හැක. නමුත් මෙම ගීතයෙදී විල්පත්තු අර්බුදයට මූල හේතුව වු කරැණ සදහන් නොකොට චින්තන ධර්මදාස නම් අතාර්කික සිංහල බෞද්ධ විරෝධියා විසින් තමන්ගේ සිංහල බෞද්ධ විරෝධී න්‍යාය පත්‍රය ගීතය තුලට රිංගවා ඇත. නැතිනම් විල්පත්තු වන විනාශයට එරෙහිව ලියු ගීතයකදී අර්බුදයට මුල්වු හේතුව ගැන සදහනක්වත් නොකොට පන්සලේ අලි පැටව් ඇති කිරීමක් ගැන සදහන් කරන්නේ ඇයි? චිත්‍රාල් සහ චින්තන ධර්මදාස මේ කරන්නේ සාලේ පුටු දෙකක වාඩිවී සාලේ මැද සිටින බදුර්දීන් නමැති අලියා ගැන කතා නොකොට ඈත කොහෙදෝ පන්සල සිටින අලි පැටවෙක් ගැන කතා කිරීමය. ගෙදර සාලේ මැද්දේ සිටින අලියා නොදැක්කාසේ හිද ගෙදර තාප්පෙනුත් එහා සිටින අලි පැටව්, උකුස්සන් ගැන කතා කිරීම කොතරම් අතාර්කිකද? එක අතකට චින්තන ධර්මදාස වැනි අතාර්කික සංස්කෘතික විරෝධියෙකුගෙන් තාර්කික යමක් බලාපොරොත්තුවීමත් නිෂ්ඵල දෙයකි.
ගීතය පිළිබද මාගේ විවේචනය ඇත්තේ විල්පත්තු වන විනාශය තේමා කොටගත් ගීතයකදී බදුර්දීන් ගැන කතා නොකිරීම නොව බදුර්දීන් ගැන කතා නොකොට පන්සලේ අලි පැටව්, හන්දියේ බෝගස් ගැන කතා කිරීමය. කෙසේ නමුත් චිත්‍රාල් සෝමපාල නම් මා ප්‍රිය කරන ගායකයා අනෙක් සෑමවිටම මෙන් මෙහිදීත් ඔහුගේ විශිෂ්ඨ ගායන හැකියාව පෙන්වා ඇත. එමනිසා ගීතය රසවිද චිත්‍රාල්ට විසිල් එකක් ගසා නවතිමු.
සාලය මැද අලියා, චිත්‍රාල් සහ චින්තන ධර්මදාස සාලය මැද අලියා, චිත්‍රාල් සහ චින්තන ධර්මදාස Reviewed by Fox Talks on 11:35 AM Rating: 5

No comments :

Powered by Blogger.