දියුණුවේ රහස




දියුණුව කියන දේ දවසකින් දෙකකින් ලබා ගන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. දිර්ඝ කාලයක් තිස්සේ කරන කැප කිරීම් වල හා නොපසුබට උත්සහයේ ප්‍රතිඵලයක් තමයි දියුණුව කියන්නේ. ආර්ථික දියුණුව කියන දෙත් එහෙම තමයි. දැන් ගොඩක් ආර්ථික වශයෙන් දියුණු මිනිස්සුන්ගේ ආරම්භය ගත්තොත් බොහොම දුක්ඛිත එකක්. අන්තිම අඩියේ ඉදන් පටන්ගෙන ටිකෙන් ටික අඩියෙන් අඩිය ඉස්සරහට ඇවිත් තමා දැන් ඉන්න තත්වයට ඇවිත් ඉන්නේ. ඒ ගමන් මගේදී මුහුණ පාන්ඩ වුණ බාධක කම්කටොලුත් කෙලවරක් නෑ. බොහෝ අවස්ථාවවල අතපසුවීම්, වැරදි තීරණ නිසා අපි අසමත් වෙනවා. නමුත් ඒ හැම දෙයක්ම දියුණුව කරා යන ගමනේදි එන වෙස්වලාගත් ආශිර්වාදයක් කියලා සලකාගෙන ඒ අභියෝග වලට සාර්ථකව මුහුණ දීගෙන අපේ අවසාන ඉලක්කය වෙත ලගා වෙන්න පුළුවන්. වඩා වැදගත්ම දේ මොන බාධක ආවත් මගේ ඉලක්කය වෙතට යනවා කියන අධිෂ්ඨානය. ඒ අධිෂ්ඨානය ප්‍රබල නම් අපේ ගමන කාටවත් නවත්තන්ඩ බෑ. දිනුම් කණුව පහුකරලාම තමයි නවතින්නේ.
මමත් දියුණුව ගැන මේ විදිහටම හිතන කෙනෙක්. දියුණු වෙන්ඩ ඕනෑනම් කොතනින් හරි පටන් ගෙන අන්තිම ඉලක්කය දක්වා යන්න ඕන. දියුණු වෙන්න ඕන කියලා හිතලා මම මුලින්ම පටන් ගත්තේ සූරන සුවීප් ටිකට් ගන්න. කොච්චර සුව්ප් සීරැවත් පනහ සීයෙන් එහාට යන්න බැරිවුණා. සූරන සුවීප් අරගෙන විතරක් දියුණු වෙන්න පුළුවන් කියලා හිතපු එක මගේ ජීවිතයේදි මම ගත්ත වැරදි තීරණයක්. අනික ඒ සුවීප් ටිකට් වල විශාල ජයමල්ලකුත් නෑ. බැරි වෙලාවත් ටිකට් එක ඇදුනොත් ලක්ෂ ගානක් හම්බ වෙන්නේ. ඒක ඇදුනට පස්සේ ආපහු කවදාවත් මට ඊට වඩා වැඩි සුපිරි ත්‍යාගයක් ඇදෙන්නේ නෑ. එතකොට ඊට පස්සේ සුවීප් ටිකට් වලට කරන ආයෝජනය ඵල රහිත එකක්.
ඊට පස්සේ මම තීරණය කරා සූරන්නේ නැති, දිනුම් ඇදලා ජයග්‍රාහකයෝ තොරන ටිකට් ගන්න. (නිවැරදි අවස්ථාවේ නිවැරදි තීරණ ගැනීම). මම සූරන ටිකට් වලින් එච්චර දිනුම් තිබුණේ නෑ කියලා අධෛර්යමත් වන්නේ නැතුව වෙනත් අවස්ථා සොයා ගියා. එකයි මෙතන වැදගත්ම දේ. දැන් මම ගන්නේ මහජන සම්පත, ගොවිසෙත, ජයෝදා වගේ ටිකට්. ජයමල්ල කෝටියෙන් එහා. ඇදුනොත් කෙලින්ම මගේ අවසාන ඉලක්ක වෙත යන්න පුළුවන්. නමුත් මම දන්නවා එක එච්චර ලේසි ගමනක් නෙමෙයි කියන එක. මම මුලින්ම ගත්ත ටිකට් වලට කිසිම දිනුමක් තිබ්බේ නෑ. එහෙම ගොඩක් කාලයක් මම දිනුම් නැති ටිකට් ගත්තා. එහෙම කියලා මම පසුබට වුණේ නෑ. ටික දවසකට පස්සේ රැපියල් විස්සේ දිනුම් එක දෙක එන්න ගත්තා. එතකොට මට තෙරැනා මගේ දියුණුවේ මාවතේ මුල් අඩිතාලම මම දැම්මා කියලා. මම මෙතනදී පොඩ්ඩක් උපක්‍රමශීලි වුනා. ඒ එකම තැනකින් විතරක් සුවීප් මිලදි ගන්නේ නැතුව තැන් කීපයකින් මිලදි ගන්න එක. එතකොට කොහෙන් හරි දිනුමක් තියෙයි කියන විශ්වාසය මට තිබ්බා. දැන් මට ඉදලා හිටලා රැපියල් හතලිහේ හැටේ දිනුම් ලැබෙනවා (ක්‍රමානුකූල දියුණුව).
මට දැන් හිතෙනවා මම දැන් හරි පාරට වැටිලා ඉන්නේ කියලා. මම දැන් දිගටම සුවීප් ටිකට් ගන්නවා. ආපසු විස්සේ දිනුම් ඇදුනත් මම අධෛර්යමත් වෙන්නේ නෑ. කෝටි ගානේ සුපිරි ත්‍යාගය ලගට ගිහින් තමයි මම නවතින්නේ. මොනම දෙයක් නිසාවත් මම ආපහු හැරෙන්නේ නෑ. තව දෙයක් කියන්ඩ ඕන සුවීප් මිලදී ගන්න කොට මම කරන්නේ තියෙන ලොකුම ජයමල්ල ඇදෙන සුවීප් ටිකට් එක මිලදි ගන්න එක. එකෙන් මම වියදම කරන රැපියල් විස්සට උපරිම වටිනාකමක් දෙන්න වග බලාගන්නවා. මොකද අපි කාටවත් සල්ලි නිකන් හම්බවෙන්නේ නෑ. රැපියල් විස්සක් දීලා ගන්න ටිකට් එකට කෝටි හතරක් ඇදෙනවාට වඩා වැඩි වාසියක් කෝටි හයක් ඇදුනොත් තියෙනවා. මේක ඉවර කරන්ඩ කලින් මට කාගෙදෝ කියමනක් මතක් වෙනවා. “ඔබගේ සිහින ඔබව බියට පත් කරන්නේ නැත්තම් එ් සිහින ප්‍රමාණවත් නෑ”.
දියුණුවේ රහස දියුණුවේ රහස Reviewed by Fox Talks on 11:51 AM Rating: 5

No comments :

Powered by Blogger.