ගම්පෙරළිය : පියල්ගේ ෆැන්ටසිය සහ නන්දාගේ අප්‍රකාශිත ප්‍රේමය


පරගොඩ පන්සලට නාමල් පුජා කිරීමට යන වන්දනා ගමන ගැන කතාවට පියල් හැරෙන්නේ මහගෙදර ඇත්තන් සමඟ ජිනදාසගේ සිංහලේ ගමන ගැන කතා කිරීම නිසා ඇතිවූ අප්‍රසන්න තත්වය මඟ හරවා ගැනීමටය. මාතර හාමිනේ හා අනුලා වන්දනා ගමනට එක පයින් කැමති වූවත් නන්දා තමාගේ කැමැත්ත දීමට කල්ගනියි.

"නාමල් පූජා කරන්න යන්න මමත් කැමතියි. උඹලත් කැමතිනන් ලෑස්ති වෙයල්ලා."
"අපිත් කැමතියි."
"මේ පාර පරගොඩ ගස් බරට නාමල් හැදිලා. වැලිගම සමරතුංග වලව්වේ ඔක්කොම නාමල් පූජා කරන්න ලබන පෝයට පරගොඩ යනවලු. පුංචි නෝනත් යනවනේ?"
"තව කල් තියෙනවනේ?"
"දවස් අටයි."
"එදාට හිතුනොත් යනවා."
"නොහිතුනොත්?"
"නොහිතුනොත් ගෙදර නවතිනවා."

පරගොඩ පන්සලේ දී වන්දනාකරුවන් බුදුන් වදිමින් සිටින අතරතුර නන්දා පිරිසෙන් වෙන්වී බුදුගෙයි සිතුවම් නරඹමින් ගොස් සිදුහත් කුමරුන්ගේ අභිනිෂ්ක්‍රමණය දැක්වෙන සිතුවම දෙස බලා ජිනදාස ගැන මතකයන් ආවර්ජනය කරමින් සිටියි. ඒ අසළට පැමිණෙන පියල් දුටු ඇය බියවුණු ස්වරූපයක් පෙන්නුම් කරමින් ඒ ස්ථානයෙන් ඉක්මනින් පිටවී යයි.

තම කුළුදුල් දරුවාගේ මරණය පිළිබඳ මතකය, සිංහලේ වෙළදාමට ගොස් අතුරුදහන් වී සිටින සැමියා, සෑම විටම තමා දෙසට යොමුවන බලාපොරොත්තුවෙන් පිරුණු පියල්ගේ දෑස් නන්දා තුල වික්ෂිප්තභාවයක් ඇතිකොට ඇත. වන්දනා ගමන ප්‍රීතිමත් අත්දැකීමක් වුවත් බුදුගෙය තුලදී ඇස ගැසුන අභිනිෂ්ක්‍රමණ සිතුවම ඇයට නැවතත් යථාව (real) මුණ ගස්සවා තිබුණි. ජිනදාස සමඟ විවාහය නම් මඟහැර යා නොහැකි තත්වය සිතුවම හරහා නැවත ඉස්මතුවීම නන්දාට ක්ෂතිමය හැඟීමක් (trauma) ඇතිකිරීමට සමත්වී ඇත. එය සංකේතික පිළිවෙල (symbolic order) තුලට ගැනීමට හෝ භාෂාව මඟින් එළිදැක්වීමට හෝ අපොහොසත්ය. පියල් දුටුවිට තිගැස්සෙන ඇය කිසිවක් නොකියා ඉක්මනින් බුදුගේ ඈතට අැවිදගෙන යයි.

පන්සල් වත්තේ කොනක ඈත බලාගෙන සිටින නන්දා දකින පියල් කරත්තයේ ඇති මල්ලට අතදමා යමක් රැගෙන නන්දා සිටි ස්ථානයට යයි.

"ඕවා විශේෂ ඇපල් වර්ගයක්, කඩවල් වල විකුණන්න නැහැ."

පියල් දිගු කල ඇපල් ගෙඩිය මඳ සිනාවක් සමඟ ගත් නන්දා නැවතත් ඈත බලාගනියි. ජිනදාස සමඟ විවාහය හා එය නිසා තමාට ඇතිවූ ශෝකජනක හැඟීම් ගැන කතාබහ අවසානයේ පියල් නන්දාට තමාගේ සිතේ තෙරපෙමින් පවතින යෝජනාව ඉදිරිපත් කරයි.

"මම අලුතින් හදාපු ගේ රුපියල් විසි පන්දාහක් විතර වටිනවා. මම එ්ක නන්දාගේ නමට ලියලා දෙන්නම්."
"ඇයි? "
"නන්දා ඇවිත් අපේ ගෙදර නවතින්න. ජිනදාස ගැන ප්‍රශ්නේ බේරුමක් කරගත්තහම අපි කසාද බදිමු."

අසාර්ථක විවාහ ජීවිතය හා පරිහානියට යන මහගෙදර ආර්ථිකය නිසා පීඩා විඳින නන්දාට අවශ්‍ය කුමක්ද යැයි පියල් විසින් කරන උපකල්පනයට දෙනු ලබන පිළිතුර හෙවත් නන්දා පිළිබඳ පියල්ගේ ෆැන්ටසිය බිඳි යන්නේ අත් දෙකේ මාරු වෙමින් තිබුණ ඇපල් ගෙඩිය විසිකර දමා නන්දා කෝපයෙන් ඉවත්ව යාමත් සමඟය. පියල්ගේ විශ්වාසය වන්නේ තමාගේ ආශාව ස්ථානගත වන්නේ නන්දාගේ lack එක තුල බවය. අසාර්ථක විවාහය හා ආර්ථික පරිහානිය නිසා නන්දාට දැන් අවශ්‍ය වන්නේ සැප පහසුකම් වලින් පිරි ප්‍රේමනීය විවාහ ජීවිතයක් යන පියල්ගේ ෆැන්ටසිය සමඟ නන්දා වැනි ස්ත්‍රියකට ආලය කිරීම හා ඇය තම නිවසට කැන්ඳාගෙන ඒම සම්බන්ධ ඔහුගේ ආශාව සමපාත වෙයි. නමුත් පරම්පරාවෙන් ලැබුන ඉහළ සමාජ තත්වය ගැන තවමත් දැඩිව සිතන මහගෙදර ස්ත්‍රීන්ගේ පොදු මනෝභාවය ප්‍රකට කරන නන්දා වෙළද බලය නිසා අත්කරගත් සමාජ තත්වයන්ට තමන් තවමත් පහසුවෙන් යටත් නොවන බව සංකේතාත්මකව පෙන්වන්නේ තමන් කිසිදිනෙක රසවිඳ නැති ඇපල් ගෙඩිය පියල් ඉදිරියේම විසිකර දැමීමෙනි.

නන්දාගේ චෛතසිකයන් දෝලනය වන්නේ කුල ගර්වය හා පියල් කෙරෙහි ඇති අප්‍රකාශිත ප්‍රේමය අතරය. නමුත් කුල ගර්වය යන සාධකය ⁣කාලයත් සමඟ මහගෙදරින් ක්ෂය වී යාමට පටන්ගෙන ඇති නිසා දැන් නන්දාට ඉතිරිව ඇත්තේ පියල්ට නිදහසේ ප්‍රේම කිරීමටය. නමුත් නන්දා වැනි ස්ත්‍රියකට එය එතරම් පහසු නැත.

වන්දනා ගමනින් පසු අසනීප වන නන්දා බැලීමට පැමිණෙන වෛද්‍යවරයා පවසන්නේ රෝගියාට තුන්වේලටම මෝල්ටඩ් මිල්ක් දීමට හැකිනම් හොඳ බවයි. ආර්ථික තත්වය අතින් පහත් අඩියකට වැටී සිටින මහගෙදර ඇත්තන් අවසානයේ නන්දාට මෝල්ටඩ් මිල්ක් ගැනීමට අනුලාගේ කනකර උගස් කිරීමට සැරසෙයි. එහෙත් පියල් විසින් මහගෙදරට එවා තිබූ මෝල්ටඩ් මිල්ක් බෝතලය නිසා එය වැලකී යයි. කිරි කෝප්පයක් සාදාගෙන ඇඳ ලඟට පැමිණෙන අනුලාගෙන් නන්දා අසන්නේ මෝල්ටඩ් මිල්ක් ලැබුනේ කෙසේද කියායි. පියල්⁣ විසින් එය මහගෙදරට එවා ඇතිබව දැනගත් නන්දා කිරි කෝප්පය වේගයෙන් විසිකර දමයි.

"බොන්න."
"කොහෙන්ද මෝල්ටඩ් මිල්ක්?"
"කොහෙන් වුනාම මොකද බොන්න."
"කොහෙන්ද අනු?"
"පියල් බෝතල් දෙකක් එවලා තිබුණා."

මහ හඬක් නංවමින් බිත්තියේ වැදී කෝප්පය කුඩුවී යාමත් සමඟ අනුලා නන්දාට බැන වදිමින් කාමරයෙන් පිටව යයි.

"ඔක්කොම කරන්නේ බොරු. පියල් ගැන හිත හිතා ඉදලමයි ලෙඩ වුනේ. දැමුත් හිතන්නේ පියල් ගැනමයි. බොරුවට පෙන්නන්න හදනවා පියල්ට අකමැති බව. පියල් එක්ක තරහ බව."

නන්දා හා අනුලා අතර ඇතිවූ මෙම කතාබහ මනෝවිශ්ලේෂණ සායනික රාමුවක් තුලට ගෙන ඒමට උත්සහ කරමු. සායනයකදී විශ්ලේෂකයාගේ යෝජනාවකට රෝගියා එකඟත්වය පල කලහොත් එහිදී විශ්ලේෂකයා පැවසු දෙය සත්‍යයක් බව තහවුරු කළ හැකිය. එමෙන්ම රෝගියා එම යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කළහොත් නැවතත් එය විශ්ලේෂකයාගේ යෝජනාවේ සත්‍යතාවය තහවුරු කරන සළකුණක් ලෙස සැලකේ. මෝල්ටඩ් මිල්ක් ලැබුනේ කෙසේදැයි නන්දා අසන ප්‍රශ්නයට අනුලා දෙන පිළිතුරත් සමඟ ඇය ඉදිරිපත් කරන අප්‍රකාශිත ප්‍රතිප්‍රශ්නය වන්නේ,

"නන්දා දැන් පියල්ට කැමතියි නේද?"

නන්දා සිනාමුසු මුහුණින් කිරි කෝප්පය පානය කලහොත් අනුලාට තමන්ගේ ප්‍රශ්නයට පිළිතුර ඍජුව ලැබෙනු ඇත. එහෙත් පියල්ව ප්‍රතික්ෂේප කරන නන්දාගේ ආවේගකාරී හැසිරීම හරහා අනුලාට එම පිළිතුර ලැබුනේ වක්‍රාකාරවය. අනුලාගේ දෝෂාරෝපණය තුලින් පෙනෙන්නේ ඇය නන්දාගේ පිළිතුර තේරුම් ගත් බවයි.

ගම්පෙරළිය : පියල්ගේ ෆැන්ටසිය සහ නන්දාගේ අප්‍රකාශිත ප්‍රේමය ගම්පෙරළිය : පියල්ගේ ෆැන්ටසිය සහ නන්දාගේ අප්‍රකාශිත ප්‍රේමය Reviewed by Fox Talks on 7:59 AM Rating: 5

No comments :

Powered by Blogger.