දලයි ලාමා සොයාගැනීම


දලයි ලාමාතුමා සැලකෙන්නේ ටිබේටයේ අධ්‍යාත්මික හා දේශපාලනික නායකයා ලෙසටය. ටිබෙට් භික්ෂූන්ට රටේ පරිපාලන නායකත්වය ලැබීමේ ඉතිහාසය දහතුන්වන සියවස දක්වා දිවෙයි. එම කාලයේදී ටිබේටයේ ඇති වූ දේශපාලන අර්බුදයන්ට පිළියමක් වශයෙන් මොංගෝලියානු රාජ්‍ය සභාවේ අනුශාසක ධූරය දැරූ භික්ෂූවකට ප්‍රථම වරට ටිබේටයේ රාජ්‍ය බලය පැවරිණි. මුලදී ශාක්‍යාපා නම් බෞද්ධ නිකායක ප්‍රධාන භික්ෂූව රාජ්‍ය පාලනයට සම්බන්ධ වුවද 16 වන සියවසේ සිට ගිලුප්පා නිකායට එම බලය මාරු විය. එතැන් සිට1959 දී සිදුවූ චීන ආක්‍රමණය දක්වා එම තත්වය පැවතුණි. මාවෝ සේතුංගේ චීන හමුදාව ලාසා නගරයේ ස්ථානගත කිරීමෙන් පසු වර්තමාන දලයි ලාමාතුමා ඉන්දියාවට පලාගොස් ඇත.
දලයි ලාමාතුමා ටිබේටයේ රාජ්‍ය නායකයා වුවත් එම දේශපාලන නායකත්වයට ඔහු පත් කෙරෙන්නේ ලෝකයේ කිසිදු සම්මත දේශපාලන න්‍යායකට විග්‍රහ කල නොහැකි ක්‍රමවේදයකට අනුවය. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ දේශපාලන නායකත්වය සඳහා දලයි ලාමාවරයෙකු තෝරා ගැනීමක් නොව සොයා ගැනීමක්ය. මෙම ක්‍රමය ආරම්භ වන්නේ ගිලුප්පා නිකායේ නායක භික්ෂූව තෝරාගැනීමේ සම්ප්‍රදායට අනුවය. 16 වන සියවසෙන් පසු දේශපාලන නායකත්වය ගිලුප්පා නිකායට මාරු වීමෙන් පසුවත් ඒ ක්‍රමය දිගටම පවත්වාගෙන ගොස් ඇත. එම ක්‍රමය සැකවින් මේ ආකාරය.
ගිලුප්පා නිකායේ ආදිකතෘ වන චොන්කාපා හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා වුයේ ගෙන්ඩන් ඩ්‍රප් හිමියන්ය. චොන්කාපා හිමියන් ප්‍රකාශ කොට ඇත්තේ එම ශිෂ්‍යයා අවලෝකිතේෂ්වර බෝධිසත්වයන්ගේ අවතාරයක් බවය. එමනිසා තමාගේ මරණින් පසුව නිකායේ නායකත්වයට තම ප්‍රධාන ශිෂ්‍යයා පත්කල යුතු බවද පසුව ගෙන්ඩන් හිමියන් අපවත් වූ පසුව ඒ හිමියන්ගේ පුනරුප්පත්තිය ලෙස උපදින දරුවා සොයාගොස් ඔහුව පැවදි කරවා පසුව නායකත්වයට පත්කළ යුතුයැයිද සම්මත කරවීය.
එසේ පුනරුප්පත්තිය ලැබු දරුවා සොයාගැනීමේ ක්‍රමවේදයට අවුරුදු කිහිපයක් වුවද ගතවිය හැකිබව පැවසේ. එම දරුවා ⁣සෙවීමේ කටයුතු සිදුකරන්නේ ගිලුප්පා නිකායේ ඉහළ ලාමාවරුන් සහ රාජ්‍ය නිළධාරින් සමඟ එකතුව ටිබේටය තුල පමණකි. හිටපු දලයි ලාමාතුමාගේ අපවත් වීමෙන් පසුව ප්‍රධාන ලාමාවරයෙකු විසින් දකින නිමිත්තකට අනුව පුනරුප්පත්තිය ලැබු දරුවා සෙවීමේ කටයුතු ආරම්භ කරයි. පසුව මධ්‍යම ටිබේටයේ ඇති ශුද්ධ වූ විලක් සමීපයට ගොස් එම විලට අධිගෘහිතව සිටින කාලි දෙවඟනගෙන් ඉල්ලීමක් කලවිට සෙවීමට අදාළ අනාවැකියක් ජලය මත ඡායාවක් ආකාරයට සටහන්වන බව පැවසෙයි. එම අනාවැකිය ඔස්සේ ගොස් දරුවාව සොයා ගනියි.
14 වන දලයි ලාමා වන වර්තමාන දලයි ලාමාතුමාව මේ ක්‍රමවේදයට අනුව සොයාගැනීමට අවුරුදු හතරක පමණ කාලයක් ගතවී ඇත. එතුමා අපවත් වීමෙන් පසු නැවත උප්පත්තියක් ලබන්නේ නැති බවට විශ්වාසයක් පැවතුන ද නැවත උපතක් ලැබුවහොත් එය චීන පාලනය යටතේ පවතින ප්‍රදේශයක සිදුනොවන බවට ද විශ්වාසයක් ඇත. භෞතිකවාදය පිළිගන්නා මාවෝවාදී දේශපාලනයට වුවද ටිබේටයේ මෙම සම්ප්‍රදායන්ට අනුගත වීමට සිදුවී ඇත. ටිබේටයේ දෙවන නායකයා වන පංචන් ලාමා 1989 අපවත් වූ පසු චීන රජය විසින් නව පංචන් ලාමාවරයෙකු පත්කර ඇත්තේ සම්මත ටිබෙට් සම්ප්‍රදායට අනුකූලවය. එමෙන්ම චීන රජය විසින් සම්මත කරන ලද නීතියක ඇත්තේ යම් ටිබේට් ජාතික නායක භික්ෂූවක් මරණින් පසු උප්පත්තිය ලබා නැවත එම නායකත්වයට පත්වීමට අපේක්ෂා කරන්නේ නම් එම භික්ෂූව ඉපදිය යුත්තේ චීනය යටතේ පාලනය වන ප්‍රදේශයක බවය. එසේ නොවුනහොත් එම තනතුරට හිමිකම් කිව නොහැකිය. පැහැදිලිවම මෙම අසාමාන්‍ය නීතිය පසුපස ඇත්තේ දේශපාලනික හේතුවකි.
තවත් විශේෂ දෙයක් නම් බටහිර පිළිගත් කිසිදු දේශපාලන න්‍යායකට අනුකූල නොවී ටිබේටයේ දේශපාලන නායකයා ලෙස ක්‍රියාකලත් බටහිර කිසිදු රටක් දලයි ලාමා පත් වූ ක්‍රමය ප්‍රජාතන්ත්‍ර විරෝධීයි කියා හෝ විද්‍යානුකූල නොවෙයැයි කියා හෝ එතුමාගේ දේශපාලන නායකත්වය පිළිගැනීම ප්‍රතික්ෂේප කලායැයි අසන්නට ලැබී නැත. එම පිළිගැනීම පසුපස ඇත්තේත් පැහැදිලිවම දේශපාලනික හේතුවකි.
පුජ්‍ය මිස්සක කමලසිරි හිමියන්ගේ "මිහිඳු ගිරෙන් හිම ගිරට" කෘතියෙන් අැතැම් කරුණු උපුටාගෙන ඇත.


දලයි ලාමා සොයාගැනීම දලයි ලාමා සොයාගැනීම Reviewed by Fox Talks on 3:40 AM Rating: 5

No comments :

Powered by Blogger.