Wild Wild Country - ඕෂෝගේ ඇමෙරිකානු ජීවිතය

 



Wild Wild Country යනු බග්වාන් ශ්‍රී රාජ්නීෂ් හෙවත් ඕෂෝගේ ආධ්‍යාත්මික ව්‍යාපාරයේ එක්තරා තීරණාත්මක සන්ධිස්ථානයක් ගැන කියවෙන වාර්තාමය වැඩසටහනකි. ඉන්දියාවෙන් ආරම්භ වූ ඔහුගේ සන්න්‍යාසි කොමියුනය එක්සත් ජනපදයට සංක්‍රමණය වීම, ඔරිගොන් ප්‍රාන්තයේ යුතෝපියානු නගරයක් ඉදිකිරීම හා එහි පරිහානිය දක්වා වූ කතාව එහි දැක්වෙයි.


සාම්ප්‍රදායික නොවන භාවනා ක්‍රම හා ලිංගිකත්වය සම්බන්ධව දැරූ විවෘත අදහස් ආදිය නිසා ඉන්දියාව තුල ආන්දෝලනාත්මක ගුරු කෙනෙක් බවට පත්වූ බග්වාන්, එයින් ලැබූ ජනප්‍රියත්වය නිසා 70 දශකය වනවිට ඉන්දයාවේ සහ බටහිර විශාල අනුගාමිකයන් පිරිසක් ආකර්ශනය කරගැනීමට සමත් විය. ඔහු ආධ්‍යාත්මික ගුරුවරයෙක් බවට පත්වීමට පෙර දර්ශනය පිළිබඳ මහාචාර්යවරයෙක් වශයෙන් සේවය කල ඇති අතර ඔහුගේ ආන්දෝලනාත්මක අදහස් පසුව ඔහුව ඇකඩමියාවෙන් නෙරපීමට හේතු වී ඇත. 


වැඩසටහන ආරම්භයේ දී බග්වාන් තම ආධ්‍යාත්මික ව්‍යාපාරයේ අරමුණ මේ ආකාරයෙන් පැහැදිලි කරයි.


" අතීතයේ සිටම පෙරදිග පැවතුනේ වැඩි වශයෙන් ආධ්‍යාත්මිකත්වය දෙසට වූ නැඹුරුතාවයකි. එමනිසා පෙරදිගට විද්‍යාත්මක නොවූ චින්තනය, තාක්ෂණික භාවිතාවන් නොමැතිකම හා දුප්පත්කම ආදිය උරුම විය. බටහිර ඒ වෙනුවට තෝරාගත්තේ ද්‍රව්‍යවාදයයි. ආධ්‍යාත්මිකත්වයක් නොමැති බටහිර මිනිසාගේ ආත්මය හිස් සහ අර්ථවිරහිත දෙයක් විය. එමනිසා පෙරදිග මිනිසා හා බටහිර මිනිසා යන දෙදෙනාම අර්ධ මිනිසුන්ය. මාගේ උත්සහය සම්පූර්ණ මිනිසෙකු නිර්මාණය කිරීමය. "



සාම්ප්‍රදායික ගුරු කෙනෙක් මෙන් ද්‍රව්‍යවාදය හා ලිංගිකත්වය ප්‍රතික්ෂේප නොකල බග්වාන් ආධ්‍යාත්මික දිවියකට ඒවා ප්‍රතික්ෂේප කිරීම අවශ්‍ය නොවන බව පැවසීය. ඔහුට විශාල බටහිර අනුගාමිකයන් පිරිසක් ඇතිවීමට ද්‍රව්‍යවාදය තුල හිදිමින්ම ආධ්‍යාත්මික අන්තය ස්පර්ශ කිරීමට අවස්ථාවක් සලසාදීම ප්‍රධාන හේතුවක් වන්නට ඇත. බග්වාන් පවසන්නේ සාම්ප්‍රදායික ගුරුවරු මෙන් ලිංගිකත්වය යටපත් කිරීමට තමන් අණ නොකරන බවත්, ආධ්‍යාත්මික පැවැත්මට ද උචිත වන ආකාරයකට එය පරිවර්තනයකට ලක් කිරීමට තමන් යෝජනා කරන බවත්ය. මෙවැනි ස්ථාවරයන් නිසා බග්වාන් තමාගේ අනුගාමිකයන් ද්‍රව්‍යවාදී ආධ්‍යාත්මික (materialist spiritualists) සන්න්‍යාසීන් ලෙස හදුන්වා ඇත. 




Dynamic meditation ලෙස හඳුන්වන ඔහුගේ භාවනා ක්‍රමය පැරණි හින්දු භාවනා ක්‍රම, නූතන මනෝ රෝග චිකිත්සක ක්‍රම සමඟ මිශ්‍ර කර ගොඩනඟා ගත්තකි. වේගවත් හුස්ම, සංගීතය, නර්තනය, වියරුව, කෑගැසීම, සිනහව, දැඟලීම, නිශ්ශබ්දතාවය, ආදී සියලු හැඟීම් ප්‍රකාශන වල එකතුවක් වන මෙම භාවනා ක්‍රමය තුලින් මානසික නිදහසක් අත්පත් කරගැනීමේ සිට කුණ්ඩලනී ශක්තිය අවදි කිරීම දක්වා භාවිතා කලහැකි බව පැවසෙයි. භාවනාව පැයක් පමණ කාලයක් සිදුකරන අතර එය අදියර පහකින් යුක්තය. සන්සුන් ශරීර ඉරියව් වෙනුවට වේගවත් චලනයන් සහිත මෙම භාවනා ක්‍රමය හැදින්විය හැක්කේ චිත්ත ඒකාග්‍රතාවය තුලින් ආධ්‍යාත්මය සුවපත් කිරීමකට  (mind to soul) වඩා ශරීරය තුලින් ආධ්‍යාත්මයට ප්‍රවේශයක් (body to soul) ලබාගන්නා ක්‍රමයක් ලෙසටය. 





බග්වාන් දක්ෂ කථිකයෙකි. නමුත් කථිකත්වයට පමණක් සීමා නොවූ මිනිසුන් ආකර්ශනය කරගැනීමට හැකි සුවිශේෂී හැකියාවක් ඔහුට තිබුණි. ඇතැමුන් විශ්වාස කරන්නේ ඔහු ප්‍රගුණ කර ඇති භාවනා ක්‍රමයකින් මේ හැකියාව ලැබී ඇති බවය. තවත් කෙනෙකුගේ අදහස ඔහු වටා ඇති ශක්ති වළල්ලක් හරහා ඔහු අනුගාමිකයන්ගේ හදවතට ආමන්ත්‍රණය කරන බවයි. ඔහුගේ දේශනා දෙස වශීකෘතව බලා සිටින හා හඬා වැටෙන අනුගාමිකයන්ගේ හැසිරීම දකින විට එවැනි ගුප්ත ශක්තියක් ඔහුට ඇතැයි සිතීම සාධාරණය.




කෙසේ නමුත් සාම්ප්‍රදායික හින්දු ආගමික සංවිධාන හා ඉන්දීය රජයේ බලපෑම් නිසා බග්වාන් හා ඔහුගේ අනුගාමිකයන්ට තවදුරටත් පුනෙයි ආශ්‍රමයේ රැදී සිටිමට නොහැකි තත්වයක් උදාවිය. එක්තරා අවස්ථාවක දේශනයක් අතරතුර දී එක් පුද්ගලයෙක් පිහි පහරක් එල්ලකල නමුත් එයින් බග්වාන්ගේ ජීවිතයට හානියක් නොවීය. 1981 දී ඔහුට හා සන්න්‍යාසීන්ට පුනෙයි ආශ්‍රමය හා ඉන්දියාව අතහැර දමා විදේශ ගතවීමට සිදුවිය. ඔවුන්ගේ ගමනාන්තය බවට පත්වූයේ එක්සත් ජනපදයේ ඔරිගොන්  ප්‍රාන්තයේ අක්කර 63000 පමණ වූ විශාල ගොවිපොළකි.




එක්සත් ජනපද ව්‍යවස්ථාවට අනුව පුරවැසියන් 150ක පිරිසකට අවශ්‍යනම් එකතුවී තමාගේම නගරයක් පිහිටුවාගත හැකිය. එම වරප්‍රසාදය යටතේ බග්වාන් ශ්‍රී රාජ්නීෂ්ගේ අනුගාමිකයන් Big Muddy Ranch නම් වූ එම ගොවිපොළ මිලදී ගෙන රාජ්නීෂ්පුරම් නමින් නගරයක් ගොඩනඟා ඇත. සන්න්‍යාසීන් බවට පත්වී ඇති ඉංජිනේරුවන්, විද්‍යාඥයන්, ගෘහ නිර්මාණශිල්පීන්, සැළසුම්කරුවන් ආදී සියලු දෙනාගේම දායකත්වය නගර නිර්මාණයට ලබාගෙන ඇත. නගරයට අවශ්‍ය යටිතල පහසුකම්, විදුලි බලය, සිය ගණනක් වූ නිවාස, වෙළදසැල්, බැංකු, 10000කට පමණ රැස්විය හැකි විශාල භාවනා මධ්‍යස්ථානයක් ඇතුළු සන්න්‍යාසීන්ගේ ආධ්‍යාත්මික හා ලෞකික අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස අංග සම්පූර්ණ නගරයක් ඔවුන් ඉදිකර ඇත. ඊට අමතරව ජල අවශ්‍යතා සඳහා විශාල ජලාශයක්, ගුවන් තොටුපොළක් හා නගරයට අයත් කුඩා පරිමාණයේ ගුවන් සේවයක් ද ඔවුන් සතුව තිබී ඇත. නගරය ඒ ආකාරයෙන් ගොඩනැඟි ඇති විට බග්වාන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා රෝල්ස් රොයිස් මෝටර් රථ 93ක එකතුවක් තිබුණි. හොලිවුඩ් ක්‍රවුඩ් නමින් හැදින්වුණු හොලිවුඩයට අයත් ධනවත් පිරිස් ඔහුට තෑගි කල මිල අධික දියමන්ති ඔරලෝසු එකතුවක් ද ඔහු සතු විය. 




අලුතෙන් ඉදිකරන ලද රාජ්නීෂ්පුරම් නගරයට ආසන්නම නගරය වන ඇන්ටිලෝප් හි විසු ක්‍රිස්තියානි ආගම ඇදහූ සාමකාමී නගර වැසියන්ට තමන්ගේ නව අසල්වාසීන් ගැන එතරම් ප්‍රසාදයක් නොවීය. ඔවුන් බග්වාන්ගේ ආධ්‍යාත්මික ව්‍යාපාරය දුටුවේ යම්කිසි විනාශකාරී ආගමික කල්ලියක් ලෙසටය. ඇතැමෙක් එය ඇමරිකානුවන් 900කට අධික පිරිසකට මරු කැඳවූ Jonestown පන්නයේ කල්ට් එකක් ලෙස ද සැලකීය. එවැනි නිගමනයකට පැමිණීමට ඔවුන්ට සාධාරණ හේතු ද තිබුණි. වුල්ෆ්ගැන්ග් නම් ජර්මානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වරක් පු⁣නායි ආශ්‍රමයේ සිදුවන චිකිත්සාවක් (therapy) රහසිගතව වීඩියෝගත කොට ඇත. කුඩා ශාලාවක නිරුවතින් ඉතා ආවේගශීලි ලෙස පිරිසක් එම චිකිත්සාවේ යෙදෙන අයුරු  එහි සටහන්ව ඇත. ආශ්‍රමයට සම්බන්ධ නොමැති කෙනෙකුට එය ඉතාමත් අස්වාභාවික හැසිරීමක් ලෙස පෙනීයාමේ පුුදුමයක් නැත. ඇන්ටිලෝප් වැසියන්ට මෙම වීඩියෝ දර්ශන මෙන්ම සන්න්‍යාසීන් එළිමහන් ස්ථානවල සිදුකරන ලිංගික ක්‍රියාකාරකම් ද නිරීක්ෂණය වී තිබීම නිසා ක්‍රමක්ක්‍රමයෙන් රාජ්නීෂ්පුරම් නගරයට එරෙහිව විරෝධයක් ගොඩ නැඟී ඇත. 




ඇන්ටිලෝප් වැසියන් රාජ්‍ය යාන්ත්‍රණය හා නීතිමය ප්‍රතිපාදන යොදාගෙන රාජ්නීෂ්පුරම් නගරයේ ඉදිකිරීම් කටයුතු වලට  බාධා කිරීමට පටන් ගැණුනි. මෙයට ප්‍රතිචාර ලෙස රාජ්නීෂ් ප්‍රජාව සිදුකරේ ඇන්ටිලෝප් නගරයේ තිබු නිවාස හා දේපොළ මිලදී ගැනීමට පටන් ගැනීමයි. එතරම් ජනාකීර්ණ නොවූ නගරයක් වූ ඇන්ටිලෝප්හි ඇතැම් වැසියන්ට තම දේපොළ විකුණා ගැනීමේ අපහසුතාවයක් තිබුණි. රාජ්නීෂ් ප්‍රජාව අත දිගහැර මුදල් වියදම් කල බැවි න් බොහෝදෙනා ඒවා විකුණා දැමීමට පෙළඹුණි. අවසානයේ නගරයේ සැලකිය යුතු ප්‍රමාණයක් රාජ්නීෂ් ප්‍රජාවට අයත් විය. ඉන්පසු පැවැත්වු නාගරික මැතිවරණයෙන් පසුව නගරයේ බලය මුළුමනින්ම තහවුරු කරගත් ඔවුන් ඇන්ටිලෝප් නගරය, සිටි ඔෆ් රාජ්නීෂ් නමින් නාමකරණය කර ඇත. ඔවුන්ගේ පොලිස් ඒකකයට නගරයේ ආරක්ෂාව ද භාර කෙරුණි. 




මේ අතරතුර රාජ්නීෂ් ප්‍රජාවට අයත් පෝර්ට්ලන්ඩ්හි පිහිටා තිබු හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. මෙය තමාට එල්ල වූ සෘජු තර්ජනයක් ලෙස සැලකූ රාජ්නීෂ් ප්‍රජාව ආයුධ වලින් සන්නද්ධ වීමට තීරණය කෙරුණි. විශාල වශයෙන් ආයුධ එක්රුස් කල ඔවුන් ගොවිපොළේ දී තම අනුගාමිකයන්ට අවි පුහුණුව ලබාදීමට ද කටයුතු කෙරිණි. මුර සංචාරයේ යෙදුන ට්‍රක් රථ හා හෙලිකොප්ටර් මඟින් නිරතුරුවම නගරයේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය. 




1984 වනවිට රාජ්නීෂ්පුරම් නගරය අයත්වන වස්කෝ ප්‍රාන්ත බලධාරීන් නගරය සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කෙරුණි. මෙයට ප්‍රතිචාර ලෙස රාජ්නීෂ් ප්‍රජාව එළඹෙන ප්‍රාන්ත මැතිවරණයේදී ප්‍රාන්ත පාලනයට තමන්ගේ නියෝජිතයන් තිදෙනෙක් පත්කර යැවීමට සැලසුම් සකසන ලදී. නමුත් එයට ප්‍රමාණවත් තරම් ඡන්ද පදනමක් ඔවුන්ට නොවීය. එයට පිළියමක් ලෙස ඇමරිකාවේ සෑම ප්‍රධාන නගරයකම සැරිසැරූ රාජ්නීෂ් අනුගාමිකයන් එම නගරවල සිටි නිවාස නොමැති යාචක පිරිස් ඒකරාශි කොට බස්රථ මඟින් රාජ්නීෂ්පුරම් වෙත රැගෙන ඒමට පටන් ගැණුනි. අවසානයේ 6000ක පමණ පිරිසක් රාජ්නීෂ්පුරම් නගරයේ ජනගහනයට එකතු විය. මෙම යාචක ප්‍රජාවේ අයෙකුට දිනකට බියර් කෝප්ප දෙක බැගින් ලබාදුන් අතර පසුව හෙළවී ඇත්තේ මොවුන් සංසුන්ව තබාගැනීමේ අදහසින් බියර් සමඟ යම්කිසි මත්ද්‍රව්‍යක් ද මිශ්‍ර කොට ලබා දී ඇති බවයි. 




මෙම ප්‍රජාව රාජ්නීෂ්පුරම් නගරයේ වැසියන් බවට පත්වුවත් ප්‍රාන්ත පාලනය විසින් මොවුන්ට ඡන්ද අයිතිය දීම ප්‍රතික්ෂේප කරන ලදී. එයින් ප්‍රාන්ත පාලනයට තම නියෝජිතයන් පත්කර යැවීමේ අදහස ව්‍යර්ථ වන බව රාජ්නීෂ් ප්‍රජාවට අවබෝධ විය. මේ අතර මැතිවරණයට දින කිහිපයකට පෙර වස්කෝ ප්‍රාන්තයේ නගරයක 750 ක පමණ පිරිසක් ආහාර විෂ වීමක් නිසා රෝහල්ගත කෙරුණි. නගරයේ ආපනශාලා ආහාර වලට විෂ මිශ්‍ර කිරීම මඟින් මෙය පැතිරී ඇති බව සොයා ගැණුනි.  ප්‍රාන්ත වැසියන් ඡන්දය දැමීමට යාම වැළැක්වීමේ අරමුණින් රාජ්නීෂ් ප්‍රජාව විසින් මෙම ආහාරවලට විෂ මිශ්‍ර කිරීම සිදුකල බවට චෝදනා නැගුණි.




දීර්ඝ අරගලයකින් පසුව රාජ්නීෂ්පුරම් නගරය වසා දැමීමට බලධාරීන් සමත් විය. නගරය වටලා බග්වාන් අත්අඩංගුවට ගැනීමට සැලසුම් සැකසුණි. නමුත් ඊට පෙර බග්වාන් ඔහුගේ සමීපතම අනුගාමිකයන් පිරිසක් සමඟ පෞද්ගලික ජෙට් යානා දෙකකින් නගරයෙන් පිටවිය. පසුව ඔවුන් උතුරු කැරොලිනාවේ ගුවන් තොටුපලකදී අත්අඩංගුවට පත්වූ අතර ආගමන විගමන නීති උල්ලංඝනය මත බග්වාන්ට විරුද්ධ නඩු  පැවරිණි. නඩු විභාගය අවසානයේදී ඔහු නැවත ඉන්දියාවට පිටුවහල් කෙරුණි.




ඉන්දියාවට පැමිණි බග්වාන් පුනෙයි පිහිටි ආශ්‍රමයෙදී තම අනුගාමිකයන් සමඟ නැවත එක්වු අතර ඔහුට පැරණි සිදුවීම් ද සහමුලින් අමතක කිරීමට අවශ්‍ය විය. ඔහු තවදුරටත් බග්වාන් ශ්‍රී රාජ්නීෂ් නොවීය. බග්වාන් නාමය අතහැර දැමූ ඔහු ගුරුවරයාට යෙදෙන ගෞරවාන්විත නාමයක් වන ඕෂෝ යන ජපන් යෙදුමෙන් ඉන්පසුව හැදින්විය.


















Wild Wild Country - ඕෂෝගේ ඇමෙරිකානු ජීවිතය Wild Wild Country - ඕෂෝගේ ඇමෙරිකානු ජීවිතය Reviewed by Fox Talks on 8:50 AM Rating: 5

No comments :

Powered by Blogger.