Ubermensch [The Sinner]




The Sinner: Season 3

[Spoiler alert]

පාසැල් ගුරුවරයෙක් වන ජේමි බර්න්ස් හා ඔහුගේ බිරිඳ ලීලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අතර ලීලා ඇගේ ප්‍රථම දරු ප්‍රසුතියට සුදානම්ව සිටින්නීය. සියල්ල වෙනස් වීමට පටන් ගන්නේ ජේමිගේ පැරණි මිතුරෙක් වන නික් හාස් ඔවුන්ගේ නිවසට පැමිණිමත් සමඟය. නික් විශ්ව විද්‍යාලයේදී ජේමිට හමුවූ මිතුරෙක් වන අතර සමාන අදහස් හුවමාරුවීම නිසා ඔවුන් අතර සමීප සම්බන්ධයක් ගොඩ නැඟී ඇත. නමුත් විශ්ව විද්‍යාල ජීවිතයෙන් පසු දුරස්ථව සිටින ඔවුන් නැවත හමුවන්නේ වසර 18කින් පමණ පසුවය. ජේමි සාමාන්‍ය පරිදි පාසලේ සහ නිවසේ වැඩකටයුතු වල නිරත වෙන නමුත් නික් සමඟ ආශ්‍රයද පවත්වාගෙන යයි. නමුත් එක්තරා රාත්‍රියක දී සිදුවූ මෝටර් රථ අනතුරකින් නික් මියගොස් ජේමි තුවාල ලබයි. ජේමිගේ අසාමාන්‍ය හැසිරීම හා අනතුරේ වූ සැකසහිත ස්භාවය නිසා රහස් පරීක්ෂකයෙකු වන හැරී ඇම්බ්‍රෝස් අනතුර සම්බන්ධව ගැඹුරින් පරීක්ෂා කිරීම⁣ට පෙලඹෙයි. එහිදී ඔහු සොයාගන්නේ නික් ගේ මරණයට ජේමි වගකිව යුතු බවය. නමුත් සිදුවීමේ ඇති සංකීර්ණ ස්භාවය නිසා ජේමි අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සාක්ෂි ගොනු කරගැනීමට ඇම්බ්‍රෝස් ට නොහැකි වෙයි. 

ජේමි ලබාදුන් තොරතුරු ඔස්සේ පරීක්ෂණ මෙහෙයවන ඇම්බ්‍රෝස් හට ජේමි සහ නික් නැවති සිටි විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ ඇඳක කොටා තිබු Ubermensch නම් වැකියක් දක්නට ලැබෙයි. ඇම්බ්‍රෝස් ඒ පිළිබඳ ජේමිගේ විශ්ව විද්‍යාල ආචාර්යවරයාගෙන් විමසයි. එහිදී අනාවරණය වන්නේ  ජෙමි සහ නික් ෆෙඩ්රික් නිට්⁣ෂේ නම් ජර්මානු දාර්ශනිකයාගේ දාර්ශනික අදහස්වලට ඇලුම් කර ඇති බවත් ඔවුන් තම ජීවන දර්ශනය ලෙස අනුගමනය කර ඇත්තේ නිට්⁣ෂේගේ Ubermensch නම් සංකල්පය බවත්ය.

Ubermensch සංකල්පය පැහැදිලි කරන්නේ පවතින මනුෂ්‍ය ස්භාවයට අභියෝග කරන, තමාගේම සදාචාර පද්ධතියක් නිර්මාණය කර ගන්නා උසස් තලයක මනුෂ්‍ය ස්භාවයක් ලෙසටය. මෙහි ඉංග්‍රීසි අර්ථය superman ලෙස ගැනෙන අතර සුප්‍රකට කොමික් චරිතයක් වන Superman නිර්මාණය කිරීමට ද නිට්⁣ෂේගේ Ubermensch සංකල්පයේ ආභාෂය ලැබී ඇතැයි සැලකේ. 

"The ideal superior man of the future who could rise above conventional Christian morality to create and impose his own values.
"Originally described by Friedrich Nietzsche in Thus Spake Zarathustra (1883-5)."

නිට්⁣ෂේගේ දර්ශනයට අනුව යමින් ජේමි සහ නික් විශ්වාස කරන්නේ දෙවියන් මිය ගොස් ඇති ලෝකයක ජීවිතයට අර්ථයන් තමන් විසින්ම සපයාගත යුතු බවයි. ඒ සඳහා ඔවුන් විවිධ දෑ අත්හදා බැලීමට පෙළඹෙයි. එයින් එක් අදහසක් නම් ජීවිතයේ සැබෑ අර්ථය සොයා ගැනීමට නම් බිය නම් වූ සාමාන්‍ය මිනිස් හැඟීම අභිබවා යා යුතු බවත් එය ඔවුන්ව සාමාන්‍ය මනුෂ්‍යයාට වඩා ඉහළ තලයකට ඔසවා තබන බවත්ය. මේ සඳහා ඔවුන් තෝරාගන්නා එක් ක්‍රියාකාරකමක් වන්නේ උස් පාලමක සිට ජීවිතය පරදුවට තබා ගැඹුර නොදන්නා දිය පහරකට පැනීමය. ඒ ආකාරයේ තවත් අදහසක් ලෙස ඔවුන් තෝරා ගන්නේ අන්තරාදායක ක්‍රියාවන් තුලින් වේදනාව අත්දැකීමය. ඒ සඳහා පැය ගණනාවක් එකිනෙකා පණ පිටින් පොළව යට වළදා ගැනීමේ ක්‍රියාකාරකමක ඔවුන් නිරත වෙයි. පොළව යට සිටින කාලය තුලදී තමාගේ ජීවිතයේ අතීතය, වර්තමානය මෙන්ම අනාගත බලාපොරොත්තු ගැනත් ගැඹුරින් ආවර්ජනය කිරීමට අවස්ථාවක් ලැබේ. 

සාර්ථක වෘත්තීය හා පවුල් ජීවිතයක් ගත කලද එක්තරා මොහොතක දී ජේමිට ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හැරෙන අතර විශාල හිස්කමක් ඔහුගේ ජීවිතය වෙලා ගනියි. මෙම හිස් ස්භාවයෙන් මිදීම සඳහා ජේමි තීරණය කරනු ලබන්නේ නැවත නික් හා සම්බන්ධය ගොඩනඟා ගැනීමටය. වසර 18කට පසුව ඔවුන් දෙදෙනා මුණ ගැසෙන්නේ ඒ අනුවය. මේ වනවිට තමාගේ ජීවන දර්ශනය ඔස්සේ එක්තරා අන්තයකට ගමන් කර තිබෙන නික්, ජේමිට යෝජනා කරන්නේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමටය. එයින් ඔහු අපේක්ෂා කරන්නේ ඝාතනයක් හරහා ජීවිතයට ප්‍රතිවිරුද්ධ අන්තයේ ඇති නිදහස ජේමිට අත්විඳිමට අවස්ථාව සලසා දීමටය. ඒ සඳහා නික් එම ප්‍රදේශයේ හුදකලා දිවියක් ගත කරන සෝන්යා නම් චිත්‍ර ශිල්පිනියක් අහඹු ලෙස තෝරා ගනියි. නමුත් නික්ගේ මෙම යෝජනාවට දැඩිව විරුද්ධ වන ජේමි මෝටර් රථයේ ගමන් කරන අතරතුර සිදුවන බහින්බස් වීමක් දුරදිග ගොස් රථය පාලනයෙන් ගිලිහි අනතුර සිදුවෙයි. අනතුරෙන් තුවාල ලබන නික් බේරා ගැනීමට හැකියාවක් තිබියදීත් නික් එයට විරුද්ධ වන්නේ තමාගේ මරණය සිදුවන අයුරු බලාසිටීම මඟින් ජේමි හට මරණය පිළිබඳ ග්‍රස්ථියක් ඇති කරවීමටය.

මෙම සිදුවීමෙන් පසු ජේමිගේ ජීවිතය නැවත සාමාන්‍ය තත්වයට පත් නොවන ආකාරයේ ⁣පරිවර්තනයකට භාජනය වන අතර තම ශිෂ්‍යාවකට තම ජීවන දර්ශනය අනුසාරයෙන් ඇයගේ දෙමව්පියන්ට එරෙහිව යාමට උපදෙස් ලබාදීම, බිරිඳ සහ හිතමිතුරන් සමඟ තිබුණු සම්බන්ධතා සියල්ල විනාශ වීම මෙන්ම අවසානයේ මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදුකිරීම දක්වා එය ⁣දිග්ගැස්සෙයි. 

Ubermensch දර්ශනය හරහා ජේමි හා නික් පැමිණි නිගමනයක් ලෙස සැලකිය හැක්කේ ලෝකයේ සත්‍යය හා මායාව වශයෙන් කොටස් දෙකක් පවතින බවත්, සෙසු ලෝකයා මායාවේ ගිලෙමින් සිටින විට තමන් සත්‍යය අත්දකිමින් සිටින බවත්ය. එම සත්‍යය කරා ලඟා වියහැකි මාර්ගය දන්නේ තමන් යන හැඟීමත් ඔවුන්ට ඇත. දර්ශනය, ආගමිකත්වය, නිර්-ආගමිකත්වය, විද්‍යාව ආදී ඕනෑම දෙයකින් ලැබෙන දැනුමක් තුලින් සත්‍යය හා මායාව ලෙස වෙන්කිරීමක් කරගත හැකිය. ඉන්පසුව ක්‍රියාකරන්නේ එම බෙදීමට අනුවය. මෙම බෙදීම සමඟ බාහිර ලෝකය සමඟ සම්බන්ධය තුන් ආකාරයකින් පවත්වා ගෙන යා හැකිය.

01. තමාට ගෝචර වූ සත්‍යය සමඟ සෙසු සමාජයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වීම හෝ සීමිත සම්බන්ධතා පමණක් පැවැත්වීම. 
The Sinner දෙවැනි කතාමාලාවේම දැක්වෙන මොස්වුඩ් කොමියුනය ඒ ආකාරයට තමාගේම ජීවන දර්ශනයක් පිළිපදමින් බාහිර සමාජයෙන් වෙන්ව වාසය කරන පිරිසකි. 

02. තමන් සත්‍යය දන්නා නමුත් මායාවේ පැටලි සිටින බාහිර සමාජය සමඟ තුලනාත්මක සම්මුති⁣යකට එළඹී වාසය කිරීම.
දාර්ශනික, ආගමික, නිර්-ආගමික, විද්‍යාත්මක ආදී වශයෙන් තමන් සත්‍යය දන්නේ යැයි සිතන බහුතරයකගේ ගණුදෙනුව මේ ආකාර යැයි සැලකිය හැකිය. එනම් බාහිර සමාජය සමඟ යහපත් සම්බන්ධයක් පවත්වා ගෙන යාමට නම් එම සමාජය තුල විසිරී පැතිරී තිබෙන මායාව ඉවසීමට හෝ එය සමඟ යම් මට්ටමක එකඟතාවයකට හෝ පැමිණිය යුතුය.

03. තමාට ගෝචර වූ සත්‍යය සමඟින්ම සමාජයේ වාසය කිරීමට උත්සහ කිරීම.

ජේමි අවසානයේ යොමුවන්නේ එවැනි ජීවිතයකටය. දාර්ශනික ඉගැන්වීම් හරහා ඔහුට ගෝචර වූ සත්‍යය ගැන සිතමින් සාමාන්‍ය සමාජයේ ගැවසීම නිසා ඔහුට සිදුවන්නේ නොනවතින හැලහැප්පීම් රැසකට මුහුණ දීමටය. මේ නිසා ඔවුන්ට සාමාන්‍ය ආකාරයෙන් සමාජ සම්බන්ධතා පැවැත්වීමට නොහැකි වන අතර අසාමාන්‍ය හැසිරීමක් ඇති අයෙකු ලෙස හංවඩු ගැසෙයි. අවසානයේ දී ජේමිට සිදුවන්නේ සමාජ විරෝධියෙක් වශයෙන් මිය යෑමටය.
Ubermensch [The Sinner] Ubermensch [The Sinner] Reviewed by Fox Talks on 8:10 AM Rating: 5

No comments :

Powered by Blogger.