ෆෝඩ් මස්ටෑන්ග් සහ ඇපල් අයිෆෝන්




ලංකාවේ සහ බටහිර දියුණු රටවල භාණ්ඩ මිල හා ආදායම් සංසන්දනය කිරීම මේ දිනවල බහුලව සිදුවන බුද්ධිමය අභ්‍යාසයකි. ඔස්ට්‍රේලියාවේ මෙන් ලංකාවේ තරුණයන්ට ෆෝඩ් මස්ටෑන්ග් පැදීමට ඇති නොහැකියාවත්, අලුත්ම ඇපල් අයිෆෝනයේ මිලත් එවැනි සංසන්දනයන්ය. 


මෙම සංසන්දන වලින් කීමට උත්සහ කරන්නේ එම රටවල ජීවත් වීමෙන් තමන්ගේ අවශ්‍යතා පහසුවෙන් සපුරා ගැනීමට ඇති හැකියාව ගැනය. 


නමුත් එම කේන්ද්‍රයේ රටවල්වල සිටින්නන්ට මෙවැනි පරිභෝජන අවශ්‍යතා පහසුවෙන් සපුරා ගැනීමට, ඒ රටවල තිබෙන, ලෝක දේශගුණික අර්බුද තීව්‍ර කිරීමට හේතුවන කාබන් විමෝචනය ඉහල කර්මාන්ත හා බැඳුනු ආර්ථිකය හෝ පරිධියේ රටවල් වලින් ලබා ගන්නා ස්භාවික සම්පත්, අමුද්‍රව්‍ය භාවිතය ආදිය හේතුවන ආකාරය ගැන දැනුවත්වීමට ඔවුන්ට උනන්දුවක් නැත. 


නමුත් ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියකට අදාළව එක් ගසක් හෝ කපා දැමීම ඔවුන්ගේ පරිසර ප්‍රේමය අවදි කිරීමට ප්‍රමාණවත් වේ. 

දියුණු රටවලට ගොස් අඩු මුදලට සුඛෝපභෝගී මෝටර් රථ මිලදී ගැනීමට ඇති හැකියාව ගැන උදම් අනන අයෙකුට එම මෝටර් රථ නිපදවන්නේ දකුණු ඇමරිකාවේ අටකාමා කාන්තාරයේ ලුණු තට්ටු පෙරලා ලබා ගන්නා අමුද්‍රව්‍යයන්⁣ගේ පිහිටෙන් වීම කිසිසේත්ම ගැටළුවක් නොවේ. එමෙන්ම එම ක්‍රියාවලිය මඟින් එම කාන්තාරය අවට පරිසර පද්ධතියට, ජල මූලාශ්‍ර, පස හා ස්වදේශීය ජන සමූහයන් වලට සිදුකරන විනාශය ගැනද ගැටළුවක් නැත. 

අලුත්ම අයිෆෝනය මිලදී ගැනීමට ඇති හැකියාව හා මිල ගණන් සංසන්දනය කිරීමට දන්නා මුත් ඒවා නිෂ්පාදනයට අමුද්‍රව්‍ය ලබාගන්නා කොංගෝවේ පතල් කැණීම් නිසා සිදුවන සාමාජීය හා පාරසරික විනාශයන් ගැන සොයාබැලීමට උනන්දුවක් නැත. 


නමුත් ලංකාවේ පාලකයන් එවැනිම පරිසරයට හානිදායක සංවර්ධන ක්‍රියාවලියන් ආරම්භ කර ආර්ථික සමෘද්ධියක් ඇති කිරීමට උත්සහ කරන විට දියුණු රටක හොඳින් ආරක්ෂා කර ඇති පරිසර පද්ධතියක් හා සංසන්දනය කරමින් මහා පරිසරවේදීන් බවට පත්වෙයි.


යටත්විජිත යුග දක්වා දිවෙන කේන්ද්‍රයේ රටවල ආර්ථික සමෘද්ධියේ මූලයන් හා ඉන්පසු ඔවුන්ගේ සංවර්ධන කරා වූ  මාර්ගය ගැන සොයා බැලීමට අවශ්‍ය නොවන්නේ, විවිධ ක්‍රම ඔස්සේ එක්රැස් කරගත් ධනය යොදවා මේ වනවිට අප වැනි රටවල මිනිසුන්ට පරමාදර්ශයක් වන ආකාරයේ ක්‍රමයක් පවත්වාගෙන යාමට හැකිවී ඇති නිසාය. එම රටවල් කවරාකාරයෙන් දියුණු වුවත් මේ වනවිට ඒ රටවල ජීවත්වන අයට යහමින් ඉන්ද්‍රියන් පිනවීමේ අවස්ථාවක් ලබාදී ඇත. 

එහි ප්‍රතිඵලයක් වශයෙන් එම රටවල භාණ්ඩ මිල ගණන් හා ආදායම් ගැන තොරතුරු වලින් නිරතුරුවම අපට දැනුවත්වීමට සිදුවී ඇත. 


දියුණු රටවල් පෙන්වමින් උදෑසන සිට සවස් වනතුරු ලංකාව විවේචනය කරන කිසිවෙකුට ඒ  රටවල ආර්ථික සමෘද්ධියේ ඉතිහාසය හෝ එම පරිභෝජන පුරුදු අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කෙසේදැයි සොයා බැලීමට අවශ්‍යතාවයක් හෝ ඇතැම්විට දැනීමක් ද නැත. 


ලංකාව වැනි රටකට බහුජාතික සමාගම් හරහා අප්‍රිකානු හෝ දකුණු ඇමරිකානු රටවලින් ස්භාවික සම්පත් සූරා ගැනීමට නොහැකි නිසා අඩු මුදලට මස්ටෑන්ග් හා අයිෆෝන් ලබාගැනීමට අවශ්‍යනම්, රටේ ඉතිරිවී තිබෙන ස්භාවික සම්පත් සංවර්ධන ක්‍රියාවලියට යොදා ගැනීමට විරුද්ධ නොවී කට වසාගෙන සිටිය යුතුය. එසේ නොමැතිනම් දියුණු රටකට සංක්‍රමණය වී සියල්ල යහතින් සිදුවෙනවා යැයි සිතාගෙන ජීවත් විය යුතුය.

ෆෝඩ් මස්ටෑන්ග් සහ ඇපල් අයිෆෝන් ෆෝඩ් මස්ටෑන්ග් සහ ඇපල් අයිෆෝන් Reviewed by Fox Talks on 9:22 AM Rating: 5

No comments :

Powered by Blogger.