අජිත් කුමාරසිරි



ලංකාවේ ක්‍රම විරෝධියෙක් වීම නිසා ගෙවීමට සිදුවන වන්දියක් වන්නේ අජිත් කුමාරසිරිගේ ගීත ඇසීමට සිදුවීමය. අරකගේ උගුර නිකන් බල්ලෝ කාලා වැනි සාහසික නමුත් අතිශය අවංක ප්‍රකාශයක් අජිත්ගේ ක්‍රම විරෝධී මැදිහත්වීම අවතක්සේරු කිරීමක් ලෙස ⁣රැඩිකල්ලා තේරුම් ගැනීමට ඉඩ ඇත. අජිත්ගේ කටහඬ අඩුවෙන්ම බල්ලෝ කා ඇත්තේ මේ ගීතයේ විය හැකිය.






පණ්ඩිත් අමරදේවයන්ට පද්ම ශ්‍රී විභුෂණ සම්මානය ලැබුණ විදිහ ගැන අජිත් කුමාරසිරි ඉන්ටවිව් එකකදී දක්වන්නේ  මෙහෙම අදහසක්,


නිදහස් ඉන්දියාවේ පළවෙනි අගමැති බවට පත්වුන නේරු ඉන්දියානු කලාපයේ සංස්කෘතික මෙහෙයුමක් කරන්න ගන්නවා. ඒකේ කොටසක් වශයෙන් B.V. කෙස්කාර් කියන නේරු රජයේ හිටපු ජනමාධ්‍ය හා සංස්කෘතික ඇමතිවරයා බටහිර නැඹුරුවක් තියෙන සංගීතය ඉන්දියානු ගුවන් විදුලියේ ප්‍රචාරය කරන එක නවත්තනවා. ඒ තහනම නිසා ඉන්දියාවේ මිනිස්සු Radio Ceylon අහන්න යොමුවෙනවා. Radio Ceylon ජනප්‍රිය වෙන්න ගත්තහම ඉන්දියානු නියෝජිතයෝ ලංකාවට ඇවිත් Radio Ceylon එකට ප්‍රමිතියක් හදන්න පටන් ගන්නවා. මෙතනදි ඉන්දියානු විරෝධයක් තිබුණු සුනිල් ශාන්ත ඉවත් වෙලා අමරදේවයන් ඉන්දියානු නියෝජිතයා වෙනවා. අජිත්ගේ අදහසට අනුව පද්ම ශ්‍රී විභුෂණ වගේ සම්මානයක් කෙනෙකුට හම්බ වෙන්න ඉන්දියාවට යම්කිසි සේවයක් කරලා තියෙන්න ඕන. Radio Ceylon ඉන්දියානු ප්‍රමිතියට අනුව ගොඩනඟන්න උදව් කරපු නිසා තමයි අමරදේවට ඒ සම්මානය ලැබෙන්නේ කියන අදහස තමයි අජිත් මතු කරන්නේ.


ඒ වගේම අජිත් කියනවා, එදිරිවීර සරච්චන්ද්‍රයන් තමා ඇල්බට් වෙනුවට අමරදේව කියන නම යෝජනා කරලා ඔහුව ඉදිරියට අරගන්නේ කියලා. අජිත් කියන විදිහට එදිරිවීර සරච්චන්ද්‍ර කියන්නේ ඇමරිකානු රොකෆෙලා පදනමේ ශ්‍රි ලාංකික නියෝජිතයෙක්. ඒ පදනම සරච්චන්ද්‍රයන්ට අරමුදල් සපයලා තියෙනවා ලංකාවේ නොයෙකුත් ව්‍යාපෘති හා පර්යේෂණ කරන්න. අජිත් කියන විදිහට B.V කෙස්කාර් බටහිර සංගීතය තහනම් කරන්නේ ඉන්දියානු සම්භාව්‍ය සංගීතයට තියෙන ස්ථානය ආරක්ෂා කරගන්න. එකේ ප්‍රතිඵලයක් විදිහට තමා අමරදේව Radio Ceylon වල තැනක් ලැබෙන්නේ. දැන් අමරදේව ඉන්දියාවේ නියෝජිතයෙක් වෙන එකයි, රොකෆෙලා අරමුදල් ලැබෙන සරච්චන්ද්‍රයන් අමරදේවට සහයෝගය දක්වන එකයි අතර ගැලපීමක් තියෙනවද? 


මේ ගැන පොඩ්ඩක් හොයලා බලද්දී පහත තොරතුරු දැනගන්න ලැබුණා,


කෙස්කාර් 1952 දී All India Radio හරහා හින්දි චිත්‍රපටි ගීත ප්‍රචාරය කරන එක තහනම් කරනවා. තහනමට හේතුව ඒ චිත්‍රපට ගීත වල තියෙන බටහිර නැඹුරුව නිදහස් ඉන්දියාවේ සංස්කෘතික වර්ධනයට හානිදායකයි කියන එක. ඒ වෙනුවට ගුවන් විදුලිය හරහා සම්භාව්‍ය සංගීතය ප්‍රචාරය කරන්න තමා ඔහු උනන්දු වෙන්නේ. ඒ අතරේ Radio Ceylon ප්‍රචාරය කරන හින්දි චිත්‍රපටි ගීත පමණක් තියෙන Ameen Sayani මෙහෙයවපු Binaca Geetmala කියන සංගීත වැඩසටහන ඉන්දියාවේ ජනප්‍රිය වෙනවා. සෑම බදාදා දිනයකම මේ වැඩසටහනට සවන් දෙන්න ඉන්දියානු රසිකයෝ Radio Ceylon සුසර කරන්න ගන්නවා.


Radio Ceylon ප්‍රමිතිකරණය කරන්න ලංකාවට එන්නේ භාත්කණ්ඩේ සංගීත ආයතනයේ ප්‍රධානියා වුන මහාචාර්ය රතන්ජන්කර්. 1952 දී සුනිල් ශාන්ත Radio Ceylon එකෙන් ඉවත් කරන්නේ ඔහු රතන්ජන්කර්ගේ පරීක්ෂණයකට පෙනී සිටීම ප්‍රතික්ෂේප කරපු නිසා. සුනිල් ශාන්ත පසුව ප්‍රකාශ කරලා තියෙන්නේ රතන්ජන්කර් වගේ හින්දුස්ථානි සංගීත පසුබිමක් තියෙන කෙනෙක් එක්ක අපේම සංගීත සම්ප්‍රදායක් හදන එක කරන්න බැරි දෙයක් කියලා. සුනිල් ශාන්ත Radio Ceylon එකෙන් ඉවත් කරාට පසුව ඔහුගේ ගීත අඩංගු සංගීත තැටි පවා විනාශ කරන්නත් ඇතැමුන් කටයුතු කරලා තියෙනවා.

අජිත්ගේ අදහසේ සත්‍යතාවයක් තියෙනවද? එහෙම නැත්තන් ඒකත් රොකෆෙලා පදනම සම්බන්ධව ගොඩනැඟිලා තියෙන කුමන්ත්‍රණ න්‍යායන් වගේම කතාවක්ද?

අජිත් කුමාරසිරි අජිත් කුමාරසිරි Reviewed by Fox Talks on 9:13 AM Rating: 5

No comments :

Powered by Blogger.