ඉන්සෙල් සංස්කෘතිය හා ලිබරල් ලිංගික නිදහස


එංගලන්තයේ සාමාන්‍යයෙන් පිහි ඇනුම් සම්බන්ධ අපරාධ සුලබව වාර්තා වුවත් ඇමරිකානු පන්නයේ වෙඩි තැබීම් වාර්තා නොවන තරම්ය. නමුත් පසුගියදා ප්ලීමවුත් ප්‍රදේශයෙන් එවැනි වෙඩි තැබීමක් වාර්තා වුණා. 22 හැවිරිදි ජෙක් ඩෙවිසන් නම් තරුණයෙකු විසින් සිදුකරපු වෙඩි තැබීමකින් ඔහුගේම මව ඇතුළු පස්දෙනෙකු මිය ගියා. ජෙක්ගේ වෙඩි තැබීමට හේතු වුන කරුණු සෙවීමෙදී ඔහුට බලපෑමක් සිදුකල මතවාදයක් ලෙස ඉදිරිපත් වී තිබුණේ Incel culture නම් අදහසය. Involuntary celibate යන වචන දෙක කෙටි කිරීමෙන් සාදාගත් incel යනු අන්තර්ජාලය ආශ්‍රිතව ගොඩ නැඟුන උප සංස්කෘතියක්. කෙටියෙන් කිවහොත් incel පුද්ගලයෙක් යනු ලිංගික සහකාරියක් සොයා ගැනීමට නොහැකි එහෙත් ලිංගික සම්බන්ධතා පැවැත්වීමට කැමැත්තෙන් පසුවෙන අයෙකි. මේ නොහැකියාව නිසා ඇතිවන අපේක්ෂාභංගත්වය ඔවුන්ව දැඩි ස්ත්‍රී විරෝධයක් (misogyny) කරා රැගෙන යනබව සඳහන් වෙනවා. මෙම incel ආකල්ප නිසා ඔවුන් කාන්තාවක් දකින්නේ පුරුෂයාගේ ලිංගික සතුට වෙනුවෙන් පමණක් වෙන්වුණු වස්තුවක් ලෙස සහ ඔවුන්ට ලිංගික සබඳතා ඇති කරගැනීමට ඇති නොහැකියාවට දෝෂාරෝපණයට ලක්වන්නේ ද කාන්තාවන්ය. නාස්ථික දෘෂ්ටිය සමඟ මුසුවන ස්ත්‍රී විරෝධය ඇතැම්විට කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා. සමාජජාලා මාධ්‍ය හරහා වර්ධනය වෙමින් පවතින මෙම රැඩිකල් උප සංස්කෘතිය තුලට බ්‍රිතාන්‍ය තුල පමණක් 10,000ක පමණ පිරිසක් ආකර්ශණය වී ඇතිබව වාර්තා වෙනවා. 


ලිංගික අධ්‍යාපනය හා ලිබරල් ලිංගික නිදහස ඉහළින්ම පවතින බටහිර සමාජ සැකැස්මක් තුලින් මේ ආකාරයේ කල්ට් බිහි වෙන්නේ කෙසේද? මා දකින ආකාරයට මෙම ධ්‍රැවීකරණය, එනම් එක් පසකින් විශාල ලිංගික නිදහසක් පවතින විට අනෙක් පසින් අන්තවාදී ස්ත්‍රී විරෝධයක් ගොඩනැඟීමට මූලික වෙන හේතු පැන නඟින්නේ ද මේ ලිබරල් සංස්කෘතික නිදහස තුලින්මය. මේ නිදහසත් සමඟ ශරීරය පිළිබද සාම්ප්‍රදායික සංස්කෘතිය විසින් පනවපු සීමා මායිම් ඉවත් වන අතර ඒ වෙනුවට නුතනත්ව සමාජ ප්‍රවණතා විසින් පනවනු ලබන නව සීමා මායිම් ආදේශ වී ඇත. ඒ ඔස්සේ අපට දැකගන්න හැකිවන්නේ පරිපූර්ණ ස්ත්‍රී හා පුරුෂ ශරීර උත්කර්ෂයට නැඟීමක්. බොහෝවිට චිත්‍රපටි, වෙළද දැන්වීම්, විලාසිතා සංදර්ශන, සඟරා, රෑපවාහිනිය, සමාජජාලා හරහා මේ දේ සිද්ධ වෙනවා. (මේ පිළිබඳ ඇතිවූ සංවාද සොයා බැලිය හැක) මේ පරිපූර්ණ ශරීර ආකෘතිය පිළිබඳ අදහස සෙලිබ්‍රිටි මට්ටමේ සිට නව යොවුන් වියට පා තබන තරුණ තරුණියන් දක්වාම ගමන් කරනවා. සහකරුවෙක්/සහකාරියක් සොයා ගැනීමේ සිට රැකියාව, සෞඛ්‍යය, ජනප්‍රියත්වය, සාර්ථකත්වය, ආත්ම විශ්වාසය වැනි පැතිකඩවල් දක්වාත් මේ පරිපූර්ණ ශරීරයක අවශ්‍යතාවය බලපෑමක් ඇති කරන බව පෙන්වා දී තිබෙනවා. ඒ නිසා තරුණ බොහෝදෙනෙක් උත්සහ කරන්නේ පරිපූර්ණ ශරීරයක් හැකිතාක් පවත්වාගෙන යාමට. මේ ආකෘතියෙන් විශාල ලෙස අපගමනය වූ අයෙකුට ලිංගික ආකර්ශනය ලබාගැනීම අපහසු වෙනවා මෙන්ම මෙයට පෞර්ෂයේ දුබලතාවයනුත් එක් වීමෙන් විශාල පසුබෑමක් ඇති වෙනවා. 


පෞද්ගලිකත්වය, පුද්ගල නිදහස වැනි සංකල්ප කොතරම් වර්ධනය වී ඇතත් බටහිර සමාජයේ නිසි වයසට පැමිණුන තරුණයෙකුට සහකාරියක් නොසිටීම සහ ලිංගික සම්බන්ධතා පවත්තා නොතිබීම (virgin) යම්කිසි අඩුවක් ලෙස සලකනු ලබයි. සාමාන්‍ය සමාජ අවකාශ තුලදී මේ නිසා උපහාසයට (bullying) වලට පවා ලක්විය හැකියි. අන්තර්ජාලය නිසා මෙවැනි අත්දැකීම් වලට මුහුණ පාන සමාන අදහස් දරන කොටස් වලට එකතු වී incel වැනි උප සංස්කෘතීන් ගොඩනඟා ගැනීමට පහසු වී ඇත. මධ්‍යගත නොවූ චැට් ජාල හා විඩියෝ ගේම් ප්ලැට්ෆෝම් හරහා මොවුන් අදහස් හුවමාරු කරගනු ලබයි (manosphere). ඉදිරියේදී ⁣incel සංස්කෘතිය ත්‍රස්තවාදී ප්‍රවණතාවයක් ලෙස නම් කිරීමට ද යෝජනා වී ඇත.

 

ඉන්සෙල් සංස්කෘතිය හා ලිබරල් ලිංගික නිදහස ඉන්සෙල් සංස්කෘතිය හා ලිබරල් ලිංගික නිදහස Reviewed by Fox Talks on 8:03 AM Rating: 5

No comments :

Powered by Blogger.