ප්‍රදර්ශනාත්මක පරිසර ප්‍රේමයේ සීමාව

 




පළමු පින්තූරයෙන් දෙනු ලබන්නේ නිසියාකාරව කළමනාකරණය කලහැකි නම් සංවර්ධනය හා ස්භාවික පරිසරය අතර සම්බන්ධය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යා හැකිය යන පණිවිඩයයි. එය ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක පුද්ගලයෙකුට පරිසර ප්‍රේමය පෙන්වීමට යොදා ගතහැකි පින්තූරයකි. දෙවනුව ඇත්තේ පරිසරය සංරක්ෂණය වෙනුවෙන් තමන්ගේ දායකත්වය පෙන්විය හැකි වැඩසටහනකි. මේ දෙකම ප්‍රදර්ශනාත්මක පරිසර ප්‍රේමය වෙනුවෙන් යොදාගත හැකි සෝබන අංග දෙකකි.

මේ ආකාරයේ සෝබන පරිසර සංරක්ෂණ වැඩ ඉදිරියට යනවිට විද්‍යාත්මක පර්යේෂණ වලින් හෙළිවී තිබෙන්නේ ඇමසන් වනාන්තරය අවශෝෂණය කරගන්නා කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් විමෝචනය කරන බවයි. එනම් ඇමසන් වනාන්තරය දැන් වැඩි වශයෙන් දායක වන්නේ දේශගුණික ව්‍යසනයන් තීව්‍ර කිරීමටය. එයට ප්‍රධාන හේතු ලෙස දක්වා ඇත්තේ මස් පිණිස ගවයන් ඇතිකිරීමට, සෝයා වගාවට සහ දැව සඳහා කැලෑ එළිකිරීම සහ ගිනි තැබීමය. මෙම  කර්මාන්ත ඇතිවී තිබෙන්නේ බ්‍රසීලයේ පමණක් නොව ලෝකයේම එම නිෂ්පාදන වලට ඇති ඉල්ලුම සපුරාලීමටය. වඩාත් විශේෂ සිදුවීම වන්නේ ගිනි ගැනීම් සිදුනොවන ප්‍රදේශ වලින් සිදුවන කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ද ඉහළ ගොස් තිබීමය. කුමන නිර්නායක භාවිතා කලත් අවසානයේ අපගේ පංචේන්ද්‍රියන්ට ගෝචර වන්නේ දරාගත නොහැකි උෂ්ණත්වය හෝ සීතල හෝ ස්භාවික පීඩා වැනි දේය.

https://www.theguardian.com/environment/2021/jul/14/amazon-rainforest-now-emitting-more-co2-than-it-absorbs?fbclid=IwAR3LxuGT2mFY4aApY04o8DfUbbHScPoFtBqec8iYTVRUmLkGO4JfbLhrzI4

ඇමසන් කාබන් විමෝචනය එසේ සිදුවන විට කෙනෙකුට අවශ්‍ය නම් ඇමසන් කලාපයෙන් පැමිණි දැවයෙන් සෑදු සුවපහසු සෝපාවක වාඩි වී සෝයා වලින් සැකසූ බීමක් හා ස්ටේක් පෙත්තක් ආහාරයට ගන්නා ගමන් ඉහත පින්තූර වල දැක්වෙන ආකාරයට තම පරිසර හිතකාමීත්වය ප්‍රදර්ශනය කර විද්‍යාඥයන් විසින් පාරිසරික ගැටළු වලට විසඳුම් ලබාදෙන තෙක් බලාපොරොත්තු සහගතව බලාසිටිය හැකිය. ඒ අද දවසේ ජනප්‍රිය පරිසරවාදය ක්‍රියාත්මක වන විෂම ආකාරයයි.

මාගේ අදහස නම් පරිසර ව්‍යසනය සම්පූර්ණයෙන්ම ආපසු හැරවීමෙි හෝ නැවැත්වීමේ හැකියාව මේ වනවිට අහෝසි වී ගොස් ඇති බවය. අපට හැක්කේ පැලැස්තර විසඳුම් සමඟින් තව කාලයක් ඉදිරියට යාමටය. මේ සෝබන පරිසර සංරක්ෂණ වැඩ වලින් සිදුවන්නේ පරිසරය වෙනුවෙන් බලපෑමක් සිදු නොවී තමා පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශාල දායකත්වයක් දැක්වූවා කියා ව්‍යාජ හැඟීමක් ඇතිකර ගැනීමට හැකිවීම පමණකි. පරිසරය වෙනුවෙන් කලහැකි අල්ප හෝ දෙයක් කිරීමට ඇති හැකියාවත් මේවා නිසා නැතිවී යයි. එමනිසා පරිසරය ගැන හැඟීමක් ඇති පිරිස් මුලින්ම සිදුකල යුත්තේ සෝබන පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළවල් හැකිතාක් කඩාකප්පල් කර දැමීමය.


ප්‍රදර්ශනාත්මක පරිසර ප්‍රේමයේ සීමාව ප්‍රදර්ශනාත්මක පරිසර ප්‍රේමයේ සීමාව Reviewed by Fox Talks on 7:58 AM Rating: 5

No comments :

Powered by Blogger.