IMF සහ විදේශ ණය උගුල

 


පසුගිය කාලයේ IMF ණය මුදල් අනුමත වීමත් සමඟ විදෙස් ණය සම්බන්ධ විවිධ අදහස් දක්නට ලැබුණි. IMF සමඟ කරන ගණුදෙනු ගැන විවේචනාත්මකව බලන පිරිසේ මතය වන්නේ  IMF ණය යනු අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සදාකාලික ණය අර්බුදයකට ඇද දමන උගුලක් බවයි. මේ ගැන සොයා බැලීමේදී ණය, ආධාර, ආයෝජන වශයෙන් බටහිර සංවර්ධිත රටවලින් සංවර්ධනය වෙමින් පවතින රටවලට ලැබෙන මුදල් සම්බන්ධව වසර හයකට පමණ පෙර පලවූ සටහනක් දක්නට ලැබුණි. 


යටත්විජිත යුගයේ දී බලවත් බටහිර රටවල් තමන් යටතේ පැවති කොලනි වලින් ලබාගත් සම්පත් හා වහල් ශ්‍රමය, තම රටවල ආර්ථික සමෘද්ධිය ඇති කරගැනීමට විශාල පිටුවහලක්  විය. දැන්, යටත්විජිත යුගය අවසන් වීමෙන් පසු පෙර මෙන් සම්පත් සූරාකෑමක් සිදු නොවන බවත්, ධනවත් බටහිර රටවල් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවලට විශාල වශයෙන් ආධාර ලබා දෙන බවත් පැවසේ. මෙසේ දුප්පත් රටවල සුබසාධනය සඳහා ආධාර ලබාදීම බොහෝදෙනා අගය කරන සද්ක්‍රියාවක් වශයෙන් සැලකුවත්, එය මතුපිටින් පෙනෙන අන්දමේ සරළව සැලකිය හැකි ක්‍රියාවලියක් නොවන බව පැවසේ. 


Global Financial Integrity (GFI) හා Centre for Applied Research at the Norwegian School of Economics යන ආයතන  විසින් අනාවරණය කොට ඇති කරුණු වලට අනුව ධනවත් රටවල සිට දුප්පත් රටවලට ගලා යන මුදල් ප්‍රමාණයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් දුප්පත් රටවල සිට ධනවත් රටවල⁣ට ගලාගෙන යන බව දැක්වේ. එම අනාවරණයට අනුව 2012 වසරේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ධනවත් රටවල් වලින්, ආධාර, ආයෝජන, ණය, විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ආදී ලෙස ලැබී ඇති සම්පූර්ණ මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.3 කි. නමුත්, එම වසරේදීම ඩොලර් ට්‍රිලියන 3.3 ක් එම රටවලින් ධනවත් රටවලට ඇදී ගොස් ඇත. එයින් පැවසෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් තමන්ට  ලැබෙන මුදල් ප්‍රමාණයට වඩා ඩොලර් ට්‍රිලියන 2ක් අනෙක් රටවල් වලට යවා ඇති බවයි. 1980 සිට එසේ එම රටවලින් පිටවී ඇති මුදල් ප්‍රමාණයේ එකතුව ඩොලර් ට්‍රිලියන 16.3 ලෙස සැලකේ. 


මෙසේ සංවර්ධනය වෙමින් පවතින රටවලින් මුදල් පිටතට ගලාගෙන යන්නේ කෙසේද? එක් ක්‍රමයක් වන්නේ ධනවත් රටවල් හා ආයතන වලින් ලැබී ඇති ණය සම්බන්ධ ගෙවීම්ය. සංවර්ධනය වෙමින් පවතින රටවල් 1980 සිට ණය පොලී ලෙස පමණක් ඩොලර් ට්‍රිලියන 4.2ක මුදලක් ගෙවා ඇත. 


තවත් ක්‍රමයක් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල සිදුකර ඇති ආයෝජන හරහා උපයා ගන්නා මුදල් නැවත තම රටවලට යැවීම මඟින්ය. උදාහරණ ලෙස BP සමාගම නයිජීරියානු ඛනිජ තෙල් කර්මාතනයේ සහ ඇමරිකානු සමාගම් දකුණු අප්‍රිකා රන් ආකර වල ආයෝජනය කොට උපයන ලාභය දැක්විය හැකිය.


මෙයින් වඩාත් බරපතලම ක්‍රමය ලෙස සැලකෙන්නේ නීත්‍යානුකූල නොවන ලෙස මුදල් ගලායෑමය (Unrecorded/illicit capital flight). GFI ඇස්තමේන්තු කර ඇති ආකාරයට නීත්‍යානුකූල නොවන ක්‍රම හරහා මුදල් පිටතට ගලායාම නිසා 1980 වසරේ සිට සංවර්ධනය වෙමින් පවතින රටවලට අහිමි වී ඇති මුදල් ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 13.4 කි. 


මෙම අක්‍රමිකතා වැඩි වශයෙන් සිදුවන්නේ අන්තර්ජාතික වෙළදාම හරහාය. මේවා සිදුවන එක් ක්‍රමයක් වන්නේ විදේශීය හා දේශීය සමාගම් විසින් සිදුකරන trade misinvoicing ය. මෙම ක්‍රමයට යොමුවීම පිටුපස බදු ගෙවිම් පැහැර හැරීම මෙන්ම මුදල් විශුද්ධිකරණය වැනි අරමුණු ද ඇත. මෙම ක්‍රමවේදය නිසා 2012 වසරේ පමණක් සංවර්ධනය වෙමින් පවතින රටවලට අහිමි වී ඇති මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 700 කි. එය එම රටවල්වලට ආධාර ලෙස ලැබුණු මුදල මෙන් පස් ගුණයකි. 


බහුජාතික සමාගම් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවලින් මුදල් පිට කරගන්නා තවත් ආකාරයක් වන්නේ same-invoice faking නම් නීතිවිරෝධී ක්‍රමයයි. මෙයින් රටකට අහිමිවන මුදල් ප්‍රමාණය හඳුනා ගැනීමට අපහසු දෙයක් වුවත්, GFI ඇස්තමේන්තුවට අනුව වසරකට ඩොලර් බිලියන 700ක් පමණ වේ යැයි සැලකේ. නමුත්, මෙය අදාළ වන්නේ භාණ්ඩ වෙළදාමට අදාළව පමණි. සේවා සඳහාත් ගණනය කලහොත් මුළු මුදල ලෙස වසරකට ඩොලර් ට්‍රිලියන 3ක් පමණ සංවර්ධනය වෙමින් පවතින රටවලින් පිටතට ගලා ගොස් ඇත. මෙම ක්‍රමයට සංවර්ධනය වෙමින් පවතින රටවලින් පිටතට ගලායන මුදල් ප්‍රමාණය එම රටවලට ලැබෙන ආධාර මුදල් මෙන් 24 ගුණයකි. එනම්, එම රටවල් වලට ආධාර වශයෙන් ලැබෙන සෑම ඩොලරයකට ම, ඩොලර් 24ක් එම රටවලින් පිටතට ඇදී යයි. මෙම අයථා මුදල් ගලනය නිසා දියුණු වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනය විශාල වශයෙන් ඇනහිටී ඇත. 


නීත්‍යානුකූල නොවන ලෙස ප්‍රාග්ධනය ගලායෑමට වරදකරුවන් ලෙස ඉහත අයථා ක්‍රම භාවිතා කරන සමාගම් ද වගකිය යුතු වුවත් ඒවා මෙතරම් පහසුවෙන් කිරීමට හැකියාවක් ලැබී ඇත්තේ ලෝක වෙළඳ සංවිධානය 90 දශකයේ සිට වෙළදාම් කටයුතු සම්බන්ධ ඇතැම් නීති රෙගුලාසි ලිහිල් කිරීමත් සමඟය. ඊට පෙර රේගු නිළධාරීන්ට යම් ගණුදෙනුවක් නිවැරදි ක්‍රමවේදයකට අනුව නොකරන දෙයක් ලෙස හඳුනාගැනීමට හැකිවුවහොත් එම ගණුදෙනුව නැවැත්වීමේ හැකියාවක් තිබුණි. ලෝක වෙළඳ සංවිධානය විසින් මේ ක්‍රමය නිසා වෙළදාම් කටයුතු වල කාර්‍යක්ෂමතාවය අඩුවන බව පවසා, 1994 සිට ඒ සම්බන්ධ නීති රේගුලාසි ලිහිල් කොට ඇත. මේ නිසා ඇතැම් අයථා ගණුදෙනු නැවැත්වීමේ හැකියාව අහෝසි වී ඇත. 

එමෙන්ම මෙම ප්‍රාග්ධනය ගලායෑම පහසුවීමට tax havens ද විශාල වශයෙන් පහසුකම් සපයන බව සඳහන්ය. ලෝකයේ තිබෙන එවැනි tax haven වැඩි ප්‍රමාණයක පාලනය ඇත්තේ බලවත් බටහිර රටවල් කිහිපයක් අතේය. මේ ආකාරයට ලෝකයේ විශාලතම tax haven ක්‍රියාත්මක වන්නේ London නගරය කේන්ද්‍ර කරගනිමින් බ්‍රිතාන්‍යයේ පාලනය යටතේ පවතින British Virgin island හා Cayman island වැනි භූමි ප්‍රදේශ හරහාය. 


යටත්විජිත යුගය අවසන් වීමත් සමඟ තමන් යටතේ පැවති රටවලින් සෘජුව සම්පත් හා ශ්‍රමය ලබාගැනීම බටහිර රටවල් නවතා දැමුවත්, ඔවුන් තම රටවලට වක්‍රාකාරයෙන් නොනවත්වා ප්‍රාග්ධනය ගලායෑමේ විවිධ ක්‍රම සකස් කර ඇති බව පෙනේ. මේවායේ ඇති සදාචාර විරෝධී ස්භාවය නිසා ඇතිවිය හැකි විවේචන යටපත් කර, තමන් ගැන යහපත් ප්‍රතිරූපයක් ඇති කිරීමේ අරමුණින් දුප්පත් රටවලට ආධාර ලබාදීමේ වැඩපිළිවෙළවල් ඔවුන් ක්‍රියාත්මක කරයි.


ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක් IMF ණය ලබාගැනීම හරහා ණය උගුලක පැටලෙනවා යැයි කියන්නේ ලබාගන්නා ණය වලට අදාළ පොලී මුදල් නොනවත්වා ගෙවීමට සිදුවීමත්, එම ණය ලබාගැනිමෙන් පසුව වක්‍රාකාරයෙන් මුදල් නැවතත් රටින් පිටට ගලායාම නිසා නැවත නැවත ණය ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැතිවීම නිසා විය හැකිය. ණය ලබාදීමේදී  IMF පනවන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය වැනි කොන්දේසි ක්‍රියාත්මක කිරීම හරහා එම මුදල් නැවත රටෙන් පිටතට ගලායෑම පහසු කරවන මාර්ග විවර වනවා මෙන්ම එයට යම් නෛතික ආවරණයක් ද ලැබෙනවා වියහැකිය. 


අප රටේ කලක පටන් රාජ්‍ය සේවයේ මුල්බැසගෙන ඇති අකාර්යක්ෂමතාමය හා සේවක අතිරික්තය ආදී ගැටළු නිසා සාමාන්‍ය ජනතාව අතර රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට පක්ෂව යම් කැමැත්තක් ද ඇතිවෙමින් තිබේ. මෙම තත්වයන් නිසා ණය දෙන ආයතන වලට තම අරමුණු ඉටුකර ගැනීම පහසු වී ඇත

IMF සහ විදේශ ණය උගුල IMF සහ විදේශ ණය උගුල Reviewed by Fox Talks on 4:30 AM Rating: 5

No comments :

Powered by Blogger.