බැමිණිතියා සාගතය

 



වළගම්බා රජ දවස වසර 12ක් තිස්සේ පැවති බැමිණිතියා නම් මහා සාගතයක් පිළිබඳ විස්තර සිහලවස්තුප්පකරණය හා රසවාහිණිය වැනි මූලාශ්‍ර වල සඳහන්ය. වළගම්බා රජු පළමු වරට රජ වී මාස කිහිපයකට පසු බ්‍රාහ්මණ තිස්ස නැමැති බමුණෙක් කැරැල්ලක් ආරම්භ කොට රුහුණේ සිට අනුරාධපුරය දක්වා වැව් හා දේපොල විනාශ කරමින් පැමිණ ඇත. මෙම විනාශය සාගතයක් ඇති වීමට තරම් ප්‍රබල වී ඇත. බමුණන්ගේ කැරැල්ලක් නිසා සාගතය ඇරඹුණු බැවින් එයට බැමිණිතියා යන නම ලැබී ඇත. එම කාලයේම පැමිණි පුල්ලහස්ථ, බාහිය, පණයමාර, පිළයමාර, දාඨිය යන ඉන්දීය ආක්‍රමණිකයන් නිසා වළගම්බා රජුට අනුරාධපුර අතහැර පලායෑමට සිදුවිය. මෙයින් ති⁣දෙනෙක් එකිනෙකා මරා ගනිමින් අවුරුදු 12ක් රජකම් කොට ඇත. 


තිස්ස බමුණාගේ කැරැල්ලත්, ඉන්දීය ආක්‍රමණයත්, ඉන්පසු ඇතිවූ නියඟයත් නිසා වැව්, අමුණු, ගොවිතැන් කටයුතු විනාශ වී වසර 12ක් පුරාවට උග්‍ර ආහාර අර්බුදයක් පැන නැඟී ඇත. රට අස්ථාවර වීම හා ආහාර හිඟය නිසා රටේ ලෙඩ රෝග, සොර සතුරු උවදුරු ඇතිවීම හා සාර ධර්ම පිරිහීමට ලක්වී ඇත. මිනිසුන් කැළෑ කොළ, මුල් ආහාරයට ගෙන ඇති අතර පසුව මිනිසුන් පවා මරාගෙන කෑමට පෙළඹී තිබේ. ආහාර හිඟය නිසා තිස්සමහාරාමයේ සහ සිතුල් පව්වේ වාසය කල භික්ෂූන් වහන්සේලා 24,000ක් මරණයට පත්වූ බව අටුවාවේ සඳහන්ය. මෙම ව්‍යසනයෙන් බේරීමට කොටසක් මලය රටටත්, තවත් කොටසක් ඉන්දීයාවටත් ගොස් ඇත. භික්ෂූන් වහන්සේලා මිය යෑම හා විදේශගත වීම නිසා වෙනත් ඇදහිලි කණ්ඩායම් බිහි වී ශාසනය පරිහානියට පත්වී තිබේ. වළගම්බා රජුටත් සේනා සංවිධාන කොට ආක්‍රමණිකයන් පලවාහැරීමට වසර 12ක් ගතවී ඇත්තේ රටේ ඇතිවූ සාගතය බලපෑම නිසාය.


බැමිණිතියා සාගතයෙන් පසුව ත්‍රිපිටකය ග්‍රන්ථරූඩ කිරීමට තීරණය කෙරුණු අතර භික්ෂූන් වහන්සේ ද එතෙක් ප්‍රතිවේද ශාසනයට ලබා දී තිබුණු මුල් තැන පර්යාප්ති ශාසනයට ලබාදීමට කටයුතු කර ඇත. සාගත සමයේ භික්ෂූන් වහන්සේලාට නිසි පරිදි දාන මානාදිය ලබාදීමට නොහැකි වීමෙන් විශාල පිරිසක් මිය ගිය නිසා, ඉදිරියේදී එවැනි තත්වයන් ඇතිවීම මඟ හරවා ගැනීමට විහාරස්ථාන වල භාවිතයට ඉඩ කඩම් හා දේපොල පූජා කිරීම ආරම්භ කොට ඇත. 


(පුවත්පත් ලිපියක් ඇසුරෙන්)

බැමිණිතියා සාගතය බැමිණිතියා සාගතය Reviewed by Fox Talks on 5:10 AM Rating: 5

No comments :

Powered by Blogger.