ඔත් පිළිම

 


ශ්‍රී ලංකාවේ පැරණි බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී හිදි පිළිම, හිටි පිළිම, හා ඔත් පිළිම ලෙස ප්‍රතිමා වර්ග තුනක් දක්නට ලැබේ. හිදි පිළිම හා හිටි පිළිම වල දක්නට ලැබෙන මුද්‍රා නිසා එම පිළිම වලින් නිරූපිත බුදුරජාණන් වහන්සේගේ ගුණයක් හෝ සුවිශේෂී අවස්ථාවක් ගැන දැන ගැනීම⁣ට හැකිය. නමුත් ඔත් පිළිම වල එවැනි සුවිශේෂී මුද්‍රාවක් දැකගත නොහැකි නිසා, එම පිළිම වලින් බුදුරජාණන් වහන්සේගේ සැතපෙන ඉරියව්වක් නිරූපණය වනවාද පරිනිර්වාණය නිරූපණය වනවාද කියා තර්ක මතු වී ඇත. විශේෂයෙන් පොළොන්නරු ගල් විහාරයේ හා දඹුලු විහාරයේ දේවරාජ ගුහාවේ ඔත් පිළිම වල වම් පාදය මදක් පසු පසට සිටින සේ නෙළා ඇති නිසා ඉරියව්ව සම්බන්ධව විවිධ මත ඉදිරිපත් කිරීමට යම් පදනමක් ද සැකසී ඇත.

තර්කයක් ලෙස නැවත පැවසිය හැක්කේ, සියලු ඔත් පිළිම තුලින් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය නිරූපණය වන බවයි. ඉහත දැක්වූ පරිදි සියලුම හිදි පිළිම හා හිටි පිළිම වලින් බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය අයුරින් හිදගෙන හෝ හිටගෙන වැඩ සිටින ඉරියව්වක් නොව යම්කිසි සුවිශේෂී අවස්ථාවක් නිරූපණය වෙයි. උදාහරණයකට හිදි පිළිම වල දක්නට ලැබෙන විතර්ක මුද්‍රාවෙන් ධර්ම සාකච්ඡා කිරීම/දේශනා කිරීම ද හිටි පිළිම වල දක්නට ලැබෙන අභය මුද්‍රාවෙන් පිහිට ආරක්ෂාව ලැබීම ද සංකේතවත් වේ. ඒ අනුව කිව හැක්කේ ඔත් පිළිම තුලින් ද නිරූපණය වන්නේ සාමාන්‍ය සැතපෙන ඉරියව්වක් නොව බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථාවක්, එනම් පරිනිර්වාණ අවස්ථාව බවයි. ලෝක සත්වයාගේ හිතසුව පිණිස දවසේ වැඩි කාලයක් වෙන් කල බුදුරජාණන් වහන්සේගේ සැතපීම සඳහා වෙන්කොට ඇත්තේ පැය දෙකක පමණ කාලයකි. එමනිසා ඔත් පිළිම තුලින් සැතපෙන ඉරියව්වට වඩා පරිනිර්වාණය නිරූපණය කර ඇතැයි සිතීම සාධාරණ වෙයි


ඔත් පිළිම ඔත් පිළිම Reviewed by Fox Talks on 5:16 AM Rating: 5

No comments :

Powered by Blogger.