මත්ද්‍රව්‍ය අපරාධහරණය (drug decriminalization)


 


මත්ද්‍රව්‍ය අපරාධහරණය (drug decriminalization) යන අදහස ප්‍රකට වන්නේ පෘතුගාලය මත්ද්‍රව්‍ය (කොකේන්, හෙරොයින්, කංසා) සම්බන්ධ අපරාධ හා භාවිතයේ  ගැටළු අඩු කර ගැනීමේ මොඩලයක් වශයෙන් එය අත්හදා බැලීමට පටන් ගැනීමත් සමඟය. එයින් ආභාශය ලබාගෙන ඇතැයි සැලකිය හැකි පහත අදහසින් ප්‍රකාශ වන්නේ වෙනත් සමාජවල ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය අපරාධහරණය නම් වැඩපිළිවෙළ අප රටටත් හඳුන්වා දිය යුතු බවය.


වෙනත් සමාජයක යම් සාර්ථකත්වයක් අත්කර ගත් නිසාම එය ⁣ලාංකික සමාජයෙත් ඒ ආකාරයෙන්ම සිදුවේ යැයි දිගින් දිගටම කල්පනා කරන බොහෝ ⁣පිරිසක් සිටිති. ඒ එම සමාජ දෙක අතර තිබෙන ආර්ථික, සංස්කෘතික, සාමාජීය, නීතියට අවනත වීම ආදී වෙනස්කම් සියල්ල නොසලකා හැරය. එය එසේ නොවන බව බටහිරින් අපට ලැබුණු වාහන පැදවීම හා අරක්කු පානය, බටහිරට සාපේක්ෂව අප රටේ ක්‍රියාත්මක වන ව්‍යාකූල ස්භාවය නිරීක්ෂණය කිරීමෙන් හෝ තේරුම්ගත හැකිය. 


එක්තරා ස්වදේශික ඇමරිකානුවෙක් සාකච්ඡාවක දී පවසන්නේ ලකෝටා නම් තම ගෝත්‍රයේ මිනිසුන් අතර ඇල්කොහොල් භාවිතය ව්‍යසනයක් බවට පත් වී ඇති බවයි. ඔහු සමඟ සාකච්ඡාව මෙහෙයවන සුදු ජාතිකයා පවසන්නේ තමන්ගේ පියා ඉතා දැඩිව මත්පැන් පානයට ඇබ්බැහි වූවෙක් බවත්, පසුව මත්පැන් පානය අතහැරීමට තීරණය කල පසු ඔහු එය සාර්ථකව කල බවත්ය. ඒ ආකාරයට ලකෝටා ජාතිකයන්ට මත්පැන් පානය නැවැත්විය නොහැක්කේ මන්දැයි අසයි. එයට පිළිතුරු වශයෙන් ස්වදේශික ඇමරිකානුවා පවසන්නේ, ඔබලා සුදු මිනිසුන් බවත්, ඔබලාට එය කලහැකි බවත්ය. නමුත්, ලකෝටා ජාතිකයන් සම්බන්ධයෙන් එය එසේ සිදු නොවන දෙයක් බවත්ය. ලකෝටා ජාතිකයන් මෙන්ම අනෙකුත් ස්වදේශික ඇමරිකානුවන් ද සුදු මිනිසුන්ගේ බීම භාවිතයට නොදන්නා බවත්, එය ව්‍යසනයකින් කෙලවර කරගන්නා බවත් ඔහු පවසයි. 


මෙම ස්වදේශික ඇමරිකානුවාගේ නිරීක්ෂණය මත්පැන් පානය සම්බන්ධයෙන් ලාංකික සමාජයට ද බොහෝදුරට ගැලපේ. නීතිමය රෙගුලාසි නිසා යම් මට්ටමකට පාලනය වී තිබෙන මත්ද්‍රව්‍ය භාවිතය, එය අපරාධහරණයට ලක් කලහොත් කුමනාකාර තත්වයක් සමාජයේ ඇති කරනු ඇත්ද? ආරම්භයේ දී අපරාධහරණය පෘතුගාලයේ යම් සාර්ථකත්වයක් ලබා ගත්තද, එම ක්‍රමය එක්සත් ජනපදයේ ඔරිගොන් ප්‍රාන්තයේ ක්‍රියාත්මක කොට මත්ද්‍රව්‍ය ව්‍යසනය තවත් උග්‍ර වූ බවට වාර්තා දැකගත හැක.

මත්ද්‍රව්‍ය අපරාධහරණය (drug decriminalization)  මත්ද්‍රව්‍ය අපරාධහරණය (drug decriminalization) Reviewed by Fox Talks on 5:18 AM Rating: 5

No comments :

Powered by Blogger.