නූතන පරිසර සංරක්ෂණය


 

https://fb.watch/kMbEmSYbVi/?mibextid=Nif5oz


මෙම ස්වදේශික ඇමරිකානුවා නූතනත්ව ප්‍රවාහය තම වර්ගයාගේ සාම්ප්‍රදායික ජීවන රටාවට සම්බන්ධ වූ ආකාරය හා එහි නොගැලපීම් නිසා ඇතිවූ ගැටළුකාරී තත්වයන් ගැන පැහැදිලි කරයි. 


නූතන පරිසර සංරක්ෂණය වෙන් කිරීම මත පදනම් වූවකි. ආචාර්ය නලින් ද සිල්වා පැහැදිලි කරන ආකාරයට 15 සියවසේ බටහිර ඇතිවූ චින්තන විප්ලවයෙන් පසුව මෙම වෙන් කිරීම ආරම්භ වී තිබේ. ස්වභාව ධර්මය සහ මිනිසා එක් පද්ධතියක් ලෙස නොගෙන ස්වභාව ධර්මය යනුවෙන් වෙන්ව යමක් පවතින බවත්, එහි තිබෙන ගස්, වැල් හා සතා සිව්පාවුන් ආරක්ෂා කලයුතු බව නූතන පරිසර සංරක්ෂණයේ දී දැක්වෙයි. කැලෑ කැපීමට විරුද්ධ වීම, ගස් සිටුවීම, ප්ලාස්ටික් හා පොලිතීන් එකතු කිරීම ආදිය එයට අදාළ වේ. මේ නිසා සිදුවී ඇත්තේ මිනිසා පරිසරයේ ඓන්ද්‍රීය කොටසක් ලෙස නොසලකා පරිසර සංරක්ෂණය ද මානව කේන්ද්‍රීය යමක් බවට පත්වීමය. පෙර තිබුණේ ස්වභාව ධර්මය සමඟ සහජීවනයෙන් පැවතුනු සම්බන්ධ⁣යකි. එහි දී මිනිසාගේ ජීවන රටාව ස්වභාව ධර්මය හා බැඳුණු එකක් වූ අතර විශේෂයෙන් පරිසරය රැකීමක් අවශ්‍ය වූයේ නැත. 


මෙම ලකෝටා ජාතිකයාගේ (ඔහු තමන්ව රතු ඉන්දියානුවෙකු හෝ ස්වදේශික ඇමරිකානුවෙක් ලෙස හඳුන්වා ගැනීමට අකමැති වෙයි) අදහස් දෙස බැලීමේදී පරිසරය සම්බන්ධ ඔහුගේ අදහස නූතන පරිසරවාදී කතිකාවෙන් වෙනස්ව පැරණි අදහසට සමීප බව පෙනෙයි. ස්වභාව ධර්මය සමඟ ඔවුන්ගේ සම්බන්ධය හුදු පංචේන්ද්‍රිය ගෝචර දෙයක් පමණක් නොව භූතාත්ම හා බැඳුණු යම් ආධ්‍යාත්මික දෙයක් ද වෙයි. ඔහුට අනුව පරිසරය රැකගැනීමට කලයුතු දෙය වන්නේ දැන් ගිලිහී ගොස් ඇති ස්වභාව ධර්මය තිබූ ඓන්ද්‍රීය සම්බන්ධය නැවත ගොඩනඟා ගැනීමය. 


නමුත්, නූතනත්වය මෙතෙක් පැමිණ ඇති දුර දෙස බැලීමේදී පෙර පරිදි ස්වභාව ධර්මයෙන් වෙන් නොවුණු පැරණි දෙය කරා යෑමේ රැඩිකල් හැකියාවක් දැන් නැත. එමනිසා සිදුවී ඇත්තේ මෙම ලකෝටා ජාතිකයාට මෙන්ම පැවැත්ම සඳහා පවතින ප්‍රවාහයටම (නවීන නිවාස, වාහන, විදුලි උපකරණ, ඇඳුම්, අධ්‍යාපනය) අනුගත වීමය. ගමකට අවශ්‍ය පාරක් කපන විට, මාර්ගයට අවහිර වන ගසක් කපා දමන විට, වගාවන් සඳහා කැලෑ එලිපෙහෙළි කරන විට ආරම්භ වන විරෝධතා මෙන්ම පාරිසරික සමුළු, දේශගුණික සමුළු වැනි මානව කේන්ද්‍රීය ඊනියා පරිසර සංරක්ෂණ වැඩපිළිවල් වලට වඩා මෙම ලකෝටා ජාතිකයාගේ අදහස තුල සැබෑ පරිසර සංරක්ෂණය තිබුනත් අවාසනාවකට දැන් එය ප්‍රායෝගිකව ඉටුකර ගැනීමට අපහසුය. 


නූතන පරිසර සංරක්ෂණය නූතන පරිසර සංරක්ෂණය Reviewed by Fox Talks on 4:56 AM Rating: 5

No comments :

Powered by Blogger.