රෙඩ්මන්ඩ් බැරී

     Image: Redmond Barry is chopping firewood in his backyard. Summer 1758. (colorized) 


වැසිබර දිනයක රෙඩ්මන්ඩ් බැරී සහ ඔහුගේ නෑනණ්ඩිය වන නෝරා බ්‍රේඩි ජනේලයක් අසල මේසයක වාඩිවී කාඩ් සෙල්ලම් කරමින් සිටියි. කාඩ් සෙල්ලමට අවධානය යොමු කරනවාට වඩා බැරීගේ දෑස් නිරන්තරයෙන් යොමුවන්නේ නෝරා දෙසටය. ප්‍රථම ප්‍රේමය බැරීගේ සියලු දෑ වෙනස් කොට ඇත. හදවතේ පිරී තිබෙන අනුරාගී සිතිවිලි දෑසෙන් නොනවත්වා එළියට ගලා යයි. ඉතා අලසව සිදුවූ කාඩ් සෙල්ලම අවසන් කර දමන නෝරා බැරීට පසුපස බිත්තිය දෙසට හැරෙන ලෙස පවසා තම ගෙල පැළඳි රිබන් පටිය ගලවා පියයුරු අතරෙන් හැට්ටය තුල සඟවා ගනියි.


" මම මගේ බෙල්ලේ බැදලා තිබුණ රිබන් පටිය කොහේහරි හංඟ ගත්තා. ඒක හොයා ගත්තොත් ඔයාට ඒක තියාගන්න පුළුවන්. ඔයාට මගේ ඕන තැනක ඒක තියෙනවද කියලා බලන්නත් පුළුවන්. "


ප්‍රේමයෙන් මුසපත්ව සිටින බැරී හෙමින් සීරුවේ නෝරාගේ දෑත් දිඟහරියි. දෑත් අතරේ රිබන් පටිය හමු නොවූ නිසා බලාපොරොත්තු කඩවු බැලමකින් ඔහු නෝරා දෙස බලයි.


" මට ඒක හොයාගන්න බෑ "


" ඔයා ඒක හරියට හෙව්වේ නෑ "


බැරී සෙමින් නෝරාගේ දෑත් පිරිමදිමින් නැවත ඇයගේ දෑස් දෙස අසරණව බලයි.


" මට ඒක හොයාගන්න බෑ "


" මම ඔයාට උදව්වක් කරන්නම් "


බැරීගේ අතින් අල්ලා ගන්නා නෝරා එය ඇයගේ පපුව මත සෙමින් තබා ගනියි.


"මට රිබන් එක අහුවෙනවා "


"ඇයි ඉතින් ඔයා වෙව්ලන්නේ? "


" රිබන් එක හොයාගත්ත සතුටට "


"⁣ බොරුකාරයා "


ඒ දහඅටවන සියවසේ මැද භාගයයි. එම කාලය එක්සත් රාජධානියට සතුරු තර්ජන වලට, විශේෂයෙන්ම ප්‍රංශයෙන් එල්ල වූ ආක්‍රමණ වලට මුහුණ පෑමට සිදුවූ අවධියයි. වංශවතුන් හා මහජනයා හැකි ආකාරයෙන් හමුදාවන් රැස්කොට රජයට තම පක්ෂපාතීත්වය පෙන්වූහ. බැරීගේ නගරයෙන් ප්‍රංශ ආක්‍රමණයන්ට එරෙහි සටනට යැවීමට රැස්කල හමුදා රෙජිමේන්තුවේ නායකත්වය දැරුවේ කපිතාන් ජෝන් ක්වීන්ය. හමුදා පෙළපාලියකින් පසුව කපිතාන් ජෝන් සමඟ නැටුමකට එක්වූ නෝරා දෙස බැරී ඊර්ෂ්‍යාව මුසුවූ බැල්මකින් බලා සිටියි. ඔහුට ඒ දෙස බලාසිටිනවා හැර කිරීමට දෙයක් ද නැත. පසුව නෝරා හමුවූ පසු ඒ සම්බන්ධව තම අසතුට ප්‍රකාශ කරන බැරී බහින්බස් වීමකින් පසුව ඇයව තනිකොට දමා ඉවත්ව යයි. නැවත කිසි දිනක නෝරා හමුනොවීමට තමාටම සපථ කරගන්නා බැරී තම නිවෙස පිටුපසට ගොස් දර පැලීමට පටන් ගනියි.


⁣නෝරා සමඟ පෙමින් බැඳී සිටින බැරීගේ මුළු ශරීරයම පිරී තිබෙන්නේ ඇය වෙනුවෙන් වැය කලහැකි ශක්තියෙන්ය. ෆ්‍රොයිඩියානු අර්ථයෙන්, බැරී ඔහුගේ ලුබ්ධිය විසින් නිපදවන මානසික ශක්තිය නෝරා මත ආයෝජනය කර ඇත. (cathexis) නමුත් ඇය ⁣කපිතාන් ජෝන් සමඟ ඇඟෑලුම්කම් පෑමට පටන් ගැනීමත් සමඟ බැරීට එම ශක්තිය මුදාහැරීමට වෙනත් මාර්ගයක් සොයාගැනීමට සිදුවේ. අශ්වයෙක් පිට නැගී ඉබාගාතේ යනවාට වඩා හෝ බීර පීප්ප හිස් කරනවාට වඩා දර පැලීම වැනි දෙයකට යොමුවීම සැමටම ප්‍රයෝජනවත් කටයුත්තකි. විශේෂයෙන්ම වැන්දඹුවක් වන බැරීගේ මව තම පුත්‍රයාගේ වැඩපිළිවෙළ ගැන බෙහෙවින්ම සතුටු වනු ඇත. ප්‍රේමයෙන් පරාජිත වන වර්තමාන තරුණ පරම්පරාව තම ශක්තිය යොදවන්නේ නොනවත්වා ෆේස්බුක් පෝස්ට් දැමීම, ෆොටෝ එඩිට් කිරීම, විරහ ගීත ගායනා කිරීම, ටික්ටොක් කිරීම, දියඇලි වලින් පැනීම වැනි තමාටත් අනෙකුන්ටත් සත පහක ප්‍රයෝජනයක් නැති ක්‍රියාකාරකම් වල යෙදීමටය. එවැනි ක්‍රියාකාරකම් වල යෙදෙනවාට වඩා රෙඩ්මන්ඩ් බැරී මෙන් දර පැලීමට හෝ යොමුවනවා නම් එය දහඅටවන සියවසේ මෙන්ම මෙවැනි කාලයක වුවද සැමටම ප්‍රයෝජනවත් වියහැකි කටයුත්තකි.



 

රෙඩ්මන්ඩ් බැරී රෙඩ්මන්ඩ් බැරී Reviewed by Fox Talks on 6:12 AM Rating: 5

No comments :

Powered by Blogger.