භාෂාවේ සීමාවන්: ලකානියානු මනෝවිශ්ලේෂණය හා දෙවියන් ඇසුරෙන්


 

සන්නිවේදනය සඳහා අපට ඇති හොඳම මාධ්‍ය භාෂාව වුවත් එය එකම මාධ්‍ය නොවේ. සිත තුල ජනිත වන හැඟීම්, අදහස් අනෙකුන්ට සන්නිවේදනය කිරීමට භාෂාව යොදාගන්නා නමුත් භාෂාවේ ඇති සීමාවන් නිසා නිසියාකාරව සන්නිවේදනය සිදුවනවා දැයි සහතික විය නොහැක. ඇතැම්විට නැවත නැවත පැහැදිලි කිරීම් සිදුකිරීමට අවශ්‍ය වන්නේ මේ අවිනිශ්චිත බව නිසාය.


භාෂාවක පවතින මේ සීමාවන් ගැන පැහැදිලි කෙරෙන අවස්ථා දෙකක් පහත දැක්වේ. මේවා එකම දැනුම් පද්ධතියකට අයත් අදහස් නොවේ. නමුත් භාෂාවක් භාවිතයේදී මතුවන සීමාවන් ගැන සමාන අදහසක් ඒවායේ දැක්වේ. මේ සමානකම නිසා පමණක් මේ අදහස් දෙක එක්ව දක්වා ඇති අතර වෙනත් සංසන්දනයක් එහි නැත.


මුලින්ම ඇත්තේ ප්‍රංශ ජාතික මනෝවිශ්ලේෂකයෙකු වන Jacques Lacan භාෂාවේ සීමාවන් ගැන දක්වා ඇති ප්‍රවාදයයි. දෙවනුව ඇත්තේ මෑත යුගයේ තායිලන්තයේ වැඩසිටි ප්‍රකට ධර්මධර බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් වූ ආචාර්ය මන් භූරිදත්ත තෙරුන්ගේ අධ්‍යාත්මික චරිතාපදානයෙන් උපුටා ගත් කොටසකි. එහි භාෂාවේ සීමාවන් මෙන්ම එම සීමාවන් ඉක්මවා යන ආකාරයක් ද සඳහන් වේ.


01.


ලැකාන්ට අනුව යම් පුද්ගලයෙක් (subject) විසින් කතාබහ කරන, ලියන හෝ සිහිනයෙන් පෙනෙන හැඟවුම්කාරක (signifier) විසින් එම පුද්ගලයා නියෝජනය කරයි. (මෙහිදී හැඟවුම්කාරකය යන්න පහසුව තකා භාෂාවේ ඇති වචන ලෙසත්, subject යන්න පුද්ගලයා ලෙසත් යොදාගෙන ඇත)


The signifier represents the subject.


යම් පුද්ගලයෙක් ($) යමක් පැවසූ විට, ඔහු පැවසූ දෙය, එනම් හැඟවුම්කාරකය (S1) ඔහුගේ තැනට ආදේශ වේ.


S1 / $ (substitution of a signifier, S1, for the barred subject, $)


පුද්ගලයෙක් කතාබහ කරනවිට හෝ ලියන විට තමන් නියෝජනය කිරීමට සෑමවිටම යොදාගන්නේ භාෂාවේ ඇති හැඟවුම්කාරකයි. එමනිසා ලැකාන්ට අනුව පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවන සන්නිවේදනයක් කිසිවිටෙකත් සෘජු සන්නිවේදනයක් නොවන අතර එය සෑමවිටම හැඟවුම්කාරක වල මැදිහත් වීම හරහා සිදුවෙයි.


The signifier represents the subject for another signifier.


මෙය රළු උදාහරණයකට අනුව සමාන වන්නේ නඩුවක දී සේවාදායකයන් දෙදෙනෙකු අතර ගණුදෙනුව සිදුවන්නේ නීතිඥයන් දෙදෙනා හරහා වන ආකාරයටය. නඩුවේ එක් පාර්ශවයක පුද්ගලයෙක් අනෙක් පාර්ශවයේ පුද්ගලයෙක් සමඟ සන්නිවේදනය සිදුකරන්නේ නීතිඥයන් හරහාය.


නියෝජනය සිදුවන්නේ එක් හැඟවුම්කාරකයක සිට තවත් හැඟවුම්කාරකයක් දක්වා (signifier-to-signifier) යන පදනමේ සිට මිස එක් සබ්ජෙක්ට් එකක සිට අනෙක් සබ්ජෙක්ට් එක දක්වා (subject-to-subject) යන පදනම මත නොවේ. මට යම් අදහසක් ඔබට සන්නිවේදනය කිරීමට අවශ්‍ය වූ විට එය භාෂාවේ නිර්මිත වචනයක් (හැඟවුම්කාරකයක්) මාර්ගයෙන් ඔබට දැන්වීමට සලස්වයි. ඔබ ඒ වචනයට දෙන අර්ථයට අනුව මාගේ අදහස තේරුම් ගනියි. නමුත් මෙම අන්තර්ක්‍රියාව තුලින් මා අදහස් කරන දේ ඒ ආකාරයෙන්ම ඔබට සන්නිවේදනය වූවා කියා 100% තහවුරු කල නොහැක. මට ඇත්තේ එය ඔබ නිවැරැදිව ග්‍රහණය කරගත්තා කියා අනුමානයක් පමණි. උදාහරණයකට යම්කිසි අඳුරු පරිසරයක ස්භාවය දැක්වීමට "කට්ට කළුවර" යන සංකල්පය යොදාගන්නා විට මා අදහස් කරන කළුවර සහ ඔබට දැනෙන කළුවර අතර වෙනසක් තිබිය හැක. නමුත් මට ගෝචර වූ කළුවරේ තීව්‍රතාවය ඔබට දැන්විය හැකි හොඳම ආකාරය එය කට්ට කළුවර ලෙස ප්‍රකාශ කිරීමය. මට ගෝචර වූ කළුවර ඒ ආකාරයෙන්ම ඔබට ඒත්තු ගැන්වීමට හැකිනම් අප අතර සිදුවන සන්නිවේදනය කොතරම් නිරවුල් ද?


ලැකාන් විසින් භාෂාව හා මිනිසා අතර ඇති සම්බන්ධය පැහැදිලි කරන ආකාරයට අප සියලු දෙනාම භාෂාව නිසා පරාරෝපණයට (alienated by language) ලක්වී ඇත. එබැවින් අප අතර සිදුවන සන්නිවේදනය සැමවිටම නිවැරදි යැයි සැලකිය නොහැක. නමුත් අපට භාෂාව හැර විකල්පයක් ද නැත. එමනිසා විරුද්ධාභාෂයක් ලෙස පැවසිය හැක්කේ භාෂාව විසින් අප එකිනෙකා වෙන් කිරීමේ කාර්ය සිදුකරන අතරම අපව සම්බන්ධ කිරීම ද සිදුකරන බවයි. භාෂාව විසින් අප එකිනෙකා අතර පරාරෝපණයක් ඇති කරනවා මෙන්ම නැවත අප සාමූහිකව බැඳ තබාගැනීමටත් උපකාර වෙයි. එනම් භාෂාව විසින් නිර්මාණය කරන්නේ පරාරෝපණය වූ පුද්ගල සමූහයන්ය. ලැකාන්ගේ ප්‍රවාදයෙන් පැහැදිලි කරන්නේ පුද්ගලයෙකු භාෂාවෙන් වෙන්කළ නොහැකි බවයි.


02.


උතුරු නැගෙනහිර ප්‍රදේශයේ එතරම් දිව්‍ය සේනාවල් පැමිණියේ නැත. සමහර විට අවුත් ධර්ම දේශනාවලට සවන් දෙති. දෙවියන්ගේ පැමිණීම ආචාර්ය මන්ට විශේෂ අවස්ථාවක් විය. දෙවියන්ට දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරති. වේලාව නොවරදවා බලා සිටිති. තම දුන් පොරොන්දු - කාලය වෙනස් කිරීම පිළිබඳව දෙවියන්ගේ අප්‍රසාදය ඇත.


දෙවියන් සමඟ කතා කරන්නේ අපේ සම්මුති කතාව මෙන් නොව එය සිදුවන්නේ සමාධි සිතින් - සිතින් සිත හඳුනා ගැනීමකි. මේ කථාව ඉතා හොඳින් ඒ අයට තේරී යයි. මේ සිතේ ඇතිවන කථා ස්වරූපය ඉතා නිවැරදිය. සරලය. වහා වැටහෙන්නේය. නැවත නැවත අවධාරණය කළයුතු නැත. මෙවැනි විදිහට සිතින් කතා කිරීමට නොහැකි බැවින් මිනිසා තම සිතේ අධ්‍යාශය වචන වලින් පිට කරති. එවිට බොහෝ සේ වැරදි සිදුවේ. සිතේ පවතින නියම සත්‍යය ස්වරූපය වචනයෙන් කිව නොහැකිය. මිනිසාට තම සිතැඟි සමාධි සිතින් ප්‍රකාශ කල නොහැකි බැවින් මහා ගුප්ත රහසක් වී ඇත.


ආචාර්ය මන් හට මෙය ඉතා පහසු දෙයකි. උන්වහන්සේට වහා වැටහෙන නුවණ ඇත. අපට එසේ නොමැති බැවින් ආචාර්යවරු හමු වී සාකච්ඡා කිරීමට සිදුවේ. 


භාෂාවේ සීමාවන්: ලකානියානු මනෝවිශ්ලේෂණය හා දෙවියන් ඇසුරෙන් භාෂාවේ සීමාවන්: ලකානියානු මනෝවිශ්ලේෂණය හා දෙවියන් ඇසුරෙන් Reviewed by Fox Talks on 5:48 AM Rating: 5

No comments :

Powered by Blogger.