පකිස්තාන සිදුවීම සහ ලිබරල් බුද්ධිමතුන්ගේ ප්‍රවේශය


 


පකිස්ථාන සිදුවීම දැනගැනීමට ලැබුණු මුල් අවස්ථාවේ නිර්-ආගමික, ලිබරල් බුද්ධිමතුන් බලාපොරොත්තු වූයේ එම සිදුවීමට ප්‍රතිචාර ලෙස යම් ප්‍රචණ්ඩත්වයක් සිංහල බෞද්ධ සමාජය තුලින් මතුවේ යැයි කියාය. එවැනි තත්වයක් උද්ගත නොවූ නිසා ඊළඟ පියවර වශයෙන් ඔවුන් සිදුකරේ 83 ජුලි, දිගන, කුරාම් ෂයික්, සුනිල් රත්නායක වැනි පකිස්ථාන සිදුවීම සමඟ ඒ ආකාරයෙන්ම සමපාත නොවන සිදුවීම් උලුප්පා දක්වමින් පකිස්ථාන අන්තවාදීන් හා පොදුවේ සිංහල බෞද්ධයක් අතර වෙනසක් නොමැතිබව පෙන්වීමට උත්සහ ගැනීමය. මෙම සියලු ප්‍රයත්නයන් සඳහා වූ පෙළඹවීම (අවිඥානික) හඳුනා ගැනීම අපහසු නොවේ. සිංහල බෞද්ධයන්, එම සංස්කෘතිය හා බුදු දහම යනු මෙම නිර්-ආගමික, ලිබරල් බුද්ධිමතුන්ට තම සුවපහසු කලාපයේ සිට තම ආශාවන් තෘප්තිමත් කරගැනීම සඳහා යොදාගත හැකි කදිම මෙවලම් කිහිපයකි. අනෙක් ආගම් හා ජනවර්ග සෘජුව ඉලක්ක කරමින් ක්‍රියා කරනවානම් එයට තමාගේ සුවපහසු කලාපයෙන් පිටතට පැමිණිය ⁣යුතුය. එමෙන්ම එහි ප්‍රතිවිපාක ගැන අමතර අවදානමක් ගැනීමට සිදුවන අතර අවසාන වශයෙන් තමාගේ මානසික තෘප්තිය වෙනුවෙන් එතරම් උත්තේජනයක් ද සිදු නොවෙයි. සංස්කෘතික විරෝධියෙකු ලෙස ප්‍රකට චින්තන ධර්මදාස තමන්ගේ අවිඥානික ආශාව හඳුනා නොගැනීම නිසා ඉදිරිපත් කර ඇති මේ අදහස දෙස බලන්න.


//මොකක් හරි ජාතිවාදී සිද්ධියක් වුන ගමන් සුළු ජාතීන්ගෙ පැත්ත අරගෙන මහ ජාතිය විවේචනය කරන්නෙ ඇයි කියල මගෙන් නිතර අහනවා. මං හිතන්නෙ ඒ මම බෞද්ධයෙක් හින්ද. තමන්ගේ ජාතිය ආගම ඉස්සරහට දාගෙන අනෙකාව පීඩාවට පත්කරන එක බෞද්ධ කියලා මං හැදුනු පරිසරයෙ දුර්වලකමක් මෝඩකමක් විදිහට උගන්නලා තියෙන හින්ද. අනෙකාව නිවැරැදි කරන්න යනවාට වඩා තමන් නිවැරදි වීම බෞද්ධ සංස්කෘතියෙ අවධාරනය කරන හින්ද.//


පකිස්ථාන සිදුවීමත් සමඟ එම ප්‍රධාන සිදුවීමෙන් බැහැරව සිංහල බෞද්ධයන් ඩීමනයිස් කිරීමට යොමුවීමේ හේතුව කුමක්ද? ලාංකිකයෙකු ඉලක්ක කරගෙන පකිස්ථාන අන්තවාදීන් දියත් කල ආගමික ප්‍රචණ්ඩත්වය අතිශය බිහිසුණු දෙයකි. එනම් එය නිර්-ආගමික, ලිබරල් බුද්ධිමතුන් මේ දක්වා ඩීමනයිස් කරගෙන සිටි සිංහල බෞද්ධයන්ගේ හැසිරීම ඉක්මවා යන්නකි. ලාංකික සමාජයේ එම ප්‍රචණ්ඩත්වය ගැන පුළුල් කතිකාවක් ඇරඹීම යනු බුද්ධිමතුන්ට තම සුවපහසු කලාප වලින් පිටතට පැමිණීමට සිදුවීමය. එමනිසා ඔවුන්ගේ ක්ෂණික ප්‍රතිචාරය වූයේ සිංහල බෞද්ධයන් නැවත ප්‍රචණ්ඩත්වයේ ඉහළට, එනම් පෙර තිබු තැනටම ස්ථානගත කරවීමය. 83 ජුලි කලබල වැනි අන්තවාදී ක්‍රියා නැවත නැවත මතු කරමින් මේ දක්වා සිදුවන්නේ එයයි.


එම සිදුවීමට එරෙහිව පකිස්ථාන ජාතිකයන් කිහිප දෙනෙකු විසින් සිදුකරන පහත විරෝධතාවයට මනුෂ්‍යත්වය, ආදරය වැනි හිස් වචන කිහිපයක් එක් කරමින් මෙම බුද්ධිමතුන් දීමට උත්සහ කරන පණිවිඩය වන්නේ මේ රටේ බහුතර සිංහල බෞද්ධයන් පකිස්ථාන අන්තවාදීන් හා සමපාත වනවිට තමන් අනුරූප වන්නේ මෙවැනි යහපත් මිනිසුන්ට බවත් ලෝකයට මනුෂ්‍යත්වය, යුක්තිය ඉටු කිරීම වැනි භාරදූර වගකීම් පැවරී ඇත්තේ තමන්ට බවත්ය. 

පකිස්තාන සිදුවීම සහ ලිබරල් බුද්ධිමතුන්ගේ ප්‍රවේශය පකිස්තාන සිදුවීම සහ ලිබරල් බුද්ධිමතුන්ගේ ප්‍රවේශය Reviewed by Fox Talks on 6:00 AM Rating: 5

No comments :

Powered by Blogger.