Spirited Away (2001) හා චීන සංචාරකයන්


 


Spirited Away (2001) යනු Hayao Miyazaki නම් ජපන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණය කරන ලද animated චිත්‍රපටියකි. එය ජපානයේ නිෂ්පාදනය කරන ලද animated චිත්‍රපට අතුරින් ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත්වූ චිත්‍රපටය ලෙසට ද හඳුන්වයි. මෙය අතින් ඇඳි සිතුවම් සහිත animated චිත්‍රපටයක් සඳහා ඔස්කාර් සම්මානයක් හිමිවී ඇති එකම චිත්‍රපටය ද වේ. 


Chihiro නම් දස හැවිරිදි ගැහැණු දරුවෙක් තම දෙමව්පියන් සමඟ පිටිසර බඳ කුඩා නගරයකට පදිංචියට පැමිණීමෙන් පසු අනපේක්ෂිත ලෙස ජපාන ෂින්ටෝ ජනකතා වල දැක්වෙන කමී (kami) නම් භූත ලෝකයට ඇතුළු වීමෙන් පසු මුහුණ දෙන සිදුවීම් දාමයක් චිත්‍රපටය තුලින් ඉදිරිපත් වෙයි. අලුත් වටපිටාව ගවේෂණය කරන අතරතුරදී අතහැර දමන ලද පැරණි උද්‍යානයකට ඇතුළු වන Chihiro සහ ඇයගේ දෙමාපියන්, අලුතින් පිසූ රසවත් ආහාර සහිත අවන්හලකට ඇතුළු වෙයි. භූත ලෝකයේ සැරිසරන ආත්ම වල පරිභෝජනයට සකසා තිබුණු ඒ ආහාර අනුභව කිරීම නිසා Yubaba නම් මන්ත්‍රකාරියක් විසින් Chihiro ගේ දෙමව්පියන් ඌරන් බවට පත් කරයි. මන්ත්‍රකාරියට අයත් ස්නානාගාරයක සේවයට එක්වන Chihiro ගේ අරමුණ වන්නේ නැවත තම දෙමව්පියන් මනුෂ්‍ය ලෝකයට රැගෙන යාමය.

 

චිත්‍රපටයේ එක් අවස්ථාවක Chihiro භූත දුම්රියකට ගොඩවී ගමන් කරන දර්ශනයක් දැක්වේ. තැඹිලි පැහැයට හුරු, දික් අතට ආසන පේලි ඇති දුම්රිය ගමන් කරන්නේ මදක් ජලයෙන් යටවූ දුම්රිය මාර්ගයක් උඩින්ය. එක් පසකින් ඇත්තේ ක්ෂිතිජය තෙක් දිවෙන මුහුදය. විනාඩි දෙකක් පමණ දිවෙන මෙම දර්ශනයට කිසිදු දෙබසක් ඇතුලත් නොවන අතර දුම්රියේ සිටින භූතාත්ම වල නිහඬ චලනයන් පමණක් දැක්වේ. අතරමඟදී නවත්වන දුම්රිය ස්ථාන වලින් අඳුරු පැහැති මුහුණු සහිත ඇතැම් භූතාත්ම සෙමෙන් බැස යයි. නමුත් හාත්පසම ජලයෙන් යටවී ඇත. ඔවුන් කොහේ යනවාදැයි කිසිවෙක් දන්නේ නැත. දහවල් කාලයේ දුම්රියට ගොඩවන Chihiro රාත්‍රිය දක්වා ගමනේ යෙදෙයි. අතරමඟදී විවිධ ලාංජන සහිත දීප්තිමත් නියොන් පුවරු පසු වෙනවා ද දක්නට ලැබේ.





https://fb.watch/alH8vD5jHN/


Chihiro සමඟ දුම්රිය තුල අවසානයට ඉතිරි වන්නේ No Face නම් එක් භූතයෙක් පමණි. දෙබස් නොමැති මෙම විනාඩි දෙක පුරාවටම පසුබිමෙන් ඇසෙන්නේ මෙ⁣ලන්කෝලික හැඟීම් දනවන සංගීත ඛණ්ඩයකි. මෙම දර්ශනය චිත්‍රපටයේ ප්‍රධාන තේමාවට දැනෙන තරමේ සම්බන්ධයක් (gratuitous motion) ද නැත.  ඇතැමුන් හඳුන්වන්නේ මෙය චිත්‍රපටයේ ඇති විශිෂ්ඨතම දර්ශනය ලෙසටය. ඔවුන් එයට විවිධ අර්ථකථන ද සපයා ඇත. චිත්‍රපටයේ ඇති කලබලකාරී සිදුවීම් අතරට මෙවැනි නිශ්චල දර්ශනය පෙලක් එක් කිරීම ගැන Miyazaki දක්වා ඇත්තේ මෙවැනි අදහසකි. 


"We have a word for that in Japanese," he said. "It's called ma. Emptiness. It's there intentionally."

Is that like the "pillow words" that separate phrases in Japanese poetry?

"I don't think it's like the pillow word." He clapped his hands three or four times. "The time in between my clapping is ma. If you just have non-stop action with no breathing space at all, it's just busyness, But if you take a moment, then the tension building in the film can grow into a wider dimension. If you just have constant tension at 80 degrees all the time you just get numb."




ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණෙන චීන ජාතික තරුණ තරුණියන් අතර පවතින මතයක් වන්නේ තමන් කුඩා කල නැරඹූ Spirited Away චිත්‍රපටයේ ඇති ඉහත සඳහන් කල දුම්රිය ගමන සහිත දර්ශනය නිර්මාණය කිරීමට, ලංකාවේ දකුණු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දිවෙන දුම්රිය පාදක වී ඇති බවයි. දකුණු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන තැඹිලි පැහැති දුම්රිය හා Spirited Away චිත්‍රපටයේ දැක්වෙන දුම්රියේ යම් සමාන කමක් ඇති නිසාත්, මුහුදට ඉතා ආසන්නයෙන් ගමන් කරන නිසා දුම්රිය මාර්ගය ජලයෙන් යටවී ඇතැයි උපකල්පනය කිරීමට ද අපහසු නොවේ. මේ සමානකම නිසා ලංකාව පුරා සංචාරය කරන චීන ජාතික තරුණ, තරුණියන්, අවසානයේ කළුතර හෝ පානදුර වැනි දුම්රිය ස්ථානයක සිට කොළඹට පැමිණිමෙන් තම සංචාරය අවසන් කිරීමට පුරුදු වී ඇත. 




පසුව චිත්‍රපටයේ සම්බන්ධය දැන හෝ නොදැන වයස් භේදයකින් තොරව මුහුදුබඩ දුම්රියේ කෙටි ගමනකට එක්වීම චීන ජාතිකයන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ අනිවාර්ය අංගයක් බවට පත්වී තිබේ. දකුණු කළුතර හෝ පානදුර වැනි දුම්රිය ස්ථානයකින් සිය ගණනින් ගොඩවී කැමරා, ස්මාට් ෆෝන් මුහුද දෙසට හරවාගෙන කොළඹ දෙසට ගමන් කරන චීන සංචාරකයන් පසුගිය කාලයේ (කොවිඩ් පැතිරීමට පෙර) මුහුදුබඩ දුම්රියේ යන එන අයට දැකගත හැකි වූ සුලබ දසුනකි. දුම්රිය ගමනෙන් පසුව Spirited Away චිත්‍රපටයේ දුම්රියේ දර්ශනයක් හා ඒ හා සමාන මුහුදුබඩ දුම්රියේ ඡායාරූපයක් එකට එක්කොට weChat වැනි චීන සමාජජාලා වලට ද එක් කරනවා දැකගත හැකිවිය. 


ජනප්‍රිය චිත්‍රපට හා රෑපවාහිනී කතාමාලා වලට පසුබිම් වූ දර්ශන තල, ස්ථාන, ගොඩනැගිලි කේන්ද්‍ර කරගත් Film Tourism නම් ⁣කේෂත්‍රයක් සංචාරක කර්මාන්තයේ දක්නට ඇත. The Lord of the Rings, Harry Potter, වැනි චිත්‍රපට වලට ඇති අධික ජනප්‍රියත්වය නිසා ඒවා රෑගත කල ස්ථාන ද සංචාරකයන් ආකර්ෂණය කරගන්නා ස්ථාන බවට පත්වී ඇත. ශ්‍රී ලංකාවේ ද  The Bridge on the River Kwai, Indiana Jones and the Temple of Doom, The Jungle Book වැනි ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට ද ජනප්‍රිය බටහිර ගීත කිහිපයක් රෑගත කලත් එම ස්ථාන සංචාරක ආකර්ෂණ ලෙස ප්‍රසිද්ධියට පත්වී නැත.

Spirited Away (2001) හා චීන සංචාරකයන් Spirited Away (2001) හා චීන සංචාරකයන් Reviewed by Fox Talks on 6:23 AM Rating: 5

No comments :

Powered by Blogger.