Enter the Void (2009)
Enter the Void (2009) • ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණය • Acid Trip • The Tibetan Book of the Dead • පුනර්භවය • සයිකඩෙලික මත්ද්‍රව්‍ය • DMT (N,N-Dimethyltryptamine) • මරණාසන්න අත්දැකීම් • NDE • හිපි ව්‍යාපාරය • නීම් කරොලි බාබා • LSD
ඇමරිකානු ජාතික තරුණයෙක් වන ඔස්කා තම සොහොයුරිය වන ලින්ඩා සමඟ ටෝකියෝ නගරයේ වාසය කරයි. ඔස්කා කුඩා පරිමාණයේ මත්ද්‍රව්‍ය වෙළදාමකට සම්බන්ධ අතර ලින්ඩා රාත්‍රී සමාජ ශාලාවක සේවය සඳහා යයි. ඔවුන් කුඩා කල තම දෙමව්පියන් සමඟ ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කලත්, එක් දිනෙක ඔවුන් ගමන් ගත් මෝටර් රථය අනපේක්ෂිත ලෙස හදිසි අනතුරකට ලක්වීමෙන් ඔස්කා හා ලින්ඩා ඉදිරියේම මව සහ පියා මිය යයි. එම සිදුවීමෙන් පසුව ඔවුන් දෙදෙනාට වෙන් වීමට සිදුවන අතර නිසි වයස පැමිණෙන තෙක් ඔවුන්ව හදා ගැනීමට භාරගත් නිවෙස් වල ජීවත් වීමට සිදුවෙයි. නමුත්, ඔස්කා හා ලින්ඩා අතර ගොඩනැඟී ඇති දැඩි බැඳීම බිඳ දැමීමට එම වෙන් කිරීමට නොහැකි වේ. ඔස්කා පළමුව ටෝකියෝ නගරයට පැමිණෙන අතර පසුව මත්ද්‍රව්‍ය වෙළදාමෙන් උපයාගත් මුදල් වියදම් කොට ලින්ඩා ද ජපානයට ගෙන්වා ගනියි. ඉන්පසුව ඔස්කා තම සොහොයුරිය කෙරෙහි ආරක්ෂාකාරී ප්‍රවේශයක් අනුගමනය කරයි.
ඉහත දැක්වූයේ Enter the Void චිත්‍රපටය නැරඹීමේ දී හමුවන ප්‍රධාන චරිත දෙක වන ඔස්කා හා ලින්ඩාගේ පසුබිමයි. මූලික වශයෙන් ඔවුන් දෙදෙනා කේන්ද්‍ර කරගෙන චිත්‍රපටයේ ආඛ්‍යානය ගොඩ නැඟෙයි. මෙහි දී ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණ ප්‍රවාද වල ආභාෂය ද දැකිය හැක. එම ප්‍රවාද වලට අනුව දරුවෙක් විවිධ මනෝලිංගික අවධීන් පසු කිරීමේදී ලබන අත්දැකීම් දරුවාගේ පසුකාලීන පෞර්ෂ ලක්ෂණ, ගති පැවතුම්, ලිංගික නැමියාවන් කෙරෙහි බලපෑමක් ඇති කරයි. දෙමව්පියන්ගේ බිහිසුණු මරණය සහ ලින්ඩා කුඩා කාලයේම වෙන් කිරීම වැනි ක්ෂතිමය අත්දැකීම් ඔස්කාට පසුකාලීනව ඇය කෙරෙහි දැඩි ආරක්ෂාකාරී ප්‍රවේශයක් ගැනීමට හේතු වන්නට ඇත. එමෙන්ම, දෙමව්පියන් කුඩා කාලයේදී ම මියයාම නිසා ඊඩිපස් සංකීර්ණය අවරෝධනය නිවැරදිව සිදුනොවීම ඔවුන් දෙදෙනා අතර ඇති සම්බන්ධයේ යම් ව්‍යාභිචාරී ලක්ෂණ ප්‍රකට කිරීමට හේතු වන්නට ඇතැයි සැලකිය හැක.
චිත්‍රපටය ප්‍රේක්ෂකයාට නැරඹීමට ලැබෙන්නේ සාමාන්‍ය චිත්‍රපට අත්දැකීමක් ලෙස නොව චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය වන ඔස්කාගේ දැක්මට අනුවය. තවත් පැහැදිලි කලහොත් ඔස්කාගේ ඇස් දෙක තුල සවිකර ඇති කැමරාවකට පෙනෙන ආකාරයටය. එමනිසා වරින්වර තිරය අඳුරු වන ස්භාවයක් දක්නට ලැබේ. ඒ ඔස්කාගේ ඇසිපිය වැසෙන හා විවෘත වන ආකාරයට අනුවය. මේ නිසා චිත්‍රපටයේ ඇත්තේ පිරිමි දැක්මක් (male gaze) කියා ද කිවහැකිය. චිත්‍රපටයේ දක්නට ඇත්තේ රාත්‍රී දර්ශන පමණක් වන අතර රාත්‍රී අන්ධකාරය මැකීමට යොදාගෙන ඇති දීප්තිමත් නියෝන් ලයිට් ආලෝකය නිසා ඇතැම් දර්ශන නැරඹීම පීඩාකාරී අත්දැකීමක් බවට පත්වේ. එය යම්කිසි භ්‍රාන්තියකට හෝ දෘෂ්ටි මායාවකට අසු වූවෙකුගේ දැක්ම සිහිපත් කරවයි. මෙය ඔස්කාගේ ක්ෂතිමය අත්දැකීම් වලට දෘෂ්‍යමය නිරූපණයක් දීමට ගත් උත්සහයක් විය හැක. එමෙන්ම මෙම දෘෂ්‍යමය නිරූපණයන්ගේ විශේෂත්වය වන්නේ චිත්‍රපටයට පසුබිම් වන කලබලකාරී නාගරික පරිසරය තුලින් එහි ඇති හිස්කම ඉස්මතු කිරීමය.
චිත්‍රපටය ගලායෑම ප්‍රධාන කොටස් හතරකට වෙන් කල හැක.
පළමු කොටස :
චිත්‍රපටයේ මුල් කොටසේ ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ ඔස්කාගේ මත්ද්‍රව්‍ය අත්දැකීමකි. ඔස්කා පසුව පවසන ආකාරයට ඔහු භාවිතා කරන්නේ DMT (N,N-Dimethyltryptamine) නම් සයිකඩෙලික මත්ද්‍රව්‍යයකි. ඉහත සඳහන් කල කැමරා කෝණය අනුව, මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසුව ඔහුට පෙනෙන (ප්‍රේක්ෂකයාට පෙනෙන) අවට දර්ශනය ක්‍රමයෙන් විකාරරූපී හැඩතල සහිතව සයිකඩෙලික වීමට පටන් ගනියි. මෙය ඇසිඩ් චාරිකාවක අත්දැකීම ප්‍රේක්ෂකයාට ලබාදීමට ගත් උත්සහයක් ලෙස සැලකිය හැක.
දෙවන කොටස :
ඔස්කාගේ සයිකඩෙලික අත්දැකීම බිඳ වැටෙන්නේ දුරකථන ඇමතුමකින් හා පසුව ඔහුගේ මිතුරෙක් වන ඇලෙක්ස් නිවසට පැමිණීම නිසාය. ඇලෙක්ස් ද මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක් වුවත් යම්කිසි ආධ්‍යාත්මික නැඹුරුවක් සහිත පුද්ගලයෙක් ද වෙයි. ඔහු ඔස්කාට මරණයෙන් පසු සිදුවන දේ ගැන සාකච්ඡා කරන The Tibetan Book of the Dead නම් ටිබෙට් බුදු දහමට සම්බන්ධ කෘතිය කියවීමට දී ඇත. දෙවැනි කොටසින් ඇලෙක්ස් මෙම කෘතියේ අඩංගු කරුණු ගැන පැහැදිලි කිරීමක් කරනවා දැකගත හැක. ඔහුගේ අදහස මෙම පොත කියවීම මත්ද්‍රව්‍ය අත්දැකීමකට වඩා හොඳ දෙයක් බවයි.
< The Tibetan Book of the Dead >
ඔබ මිය යාමෙන් පසු ඔබේ ආත්මය ශරීරය හැර යයි. පළමුව ඔබගේ සම්පූර්ණ ජීවිතයම මායාකාරී කැඩපතකින් දර්ශනය වනවාක් මෙන් ආවර්ජනය වීමට පටන් ගනියි. ඉන්පසු ඔබ භූතයෙකු මෙන් පාවීමට පටන් ගනියි. ඔබට අවට සිදුවන සියලු දෑ දැකගත හැකි වන අතර ශබ්ද ද ඇසේ. නමුත්, ඔබට එම කිසිවක් සමඟ සන්නිවේදනය කිරීමට නොහැකි වෙයි. ඉන්පසු ඔබට දීප්තිමත් විවිධ වර්ණ රාශියක් දැකගත හැකිය. මෙම වර්ණ යනු ඔබව වෙනත් පැවැත්මේ තලවලට, ලෝක වලට රැගෙන යන දොරටුය. නමුත්, බොහෝදෙනා ආශා කරන්නේ ඔවුන් ජීවත් වූ මෙම ලෝකයටම වන අතර වෙනත් තලයකට යෑමට අකමැති වෙයි. මෙය අප්‍රසන්න අත්දැකීමක් වන අතර එයින් මිදීමට තිබෙන එකම මාර්ගය වන්නේ නැවත මෙම ලෝකයේම උපත ලැබීමය. මෙය අප්‍රසන්න අත්දැකීමක් වන්නේ ඇයි? මෙහිදී ඔබට බියජනක අත්දැකීම් ලැබීමට පටන් ගන්නා අතර ඔබගේ බිය යථාර්ථයක් වීමෙන් ඔබව පීඩාවට පත්කිරීමට පටන් ගනියි. මෙම අත්දැකීම සමඟ ඔබ මියයාම ගැන පසුතැවිලි වීමට පටන් ගනියි. එම අවස්ථාවේ ඔබට තවත් වර්ණවත් ආලෝක පෙනීමට පටන් ගනියි. මෙම වර්ණ තුලින් මතු වන්නේ ලිංගික සංසර්ගයේ යෙදෙන විවිධ ස්ත්‍රීන් හා පුරුෂයන්ය. මෙම ස්ත්‍රීන්ගේ උදරයෙන් යම් ආලෝකයක් පැමිණෙනවා මෙන් දිස් වන අතර ඔබ වඩාත් කිට්ටු වී එය පරීක්ෂා කලහොත් වියහැකි අනාගත ජීවිතයක් පිළිබඳ දැක්මක් ලබාදේ. එහිදී ඔබට ගැලපෙනවා යැයි සිතෙන ජීවිතයක් තෝරාගත හැකි අතර ඔබ තෝරාගත් ගර්භාෂයක ස්ථානගත වේ. ඉන්පසු ඔබ නැවත උත්පත්තියක් ලබයි. මෙය නොනවතින චක්‍රීය ක්‍රියාවලියක් වන අතර එම චක්‍රය බිඳින තුරු නැවත නැවත සිදුවේ.
< /The Tibetan Book of the Dead >
ඇලෙක්ස් හා ඔස්කා අතර ඇතිවන මෙම සංවාදය චිත්‍රපටය ආධ්‍යාත්මිකත්වය ස්පර්ශ කරන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
තුන්වෙනි කොටස :
මෙම කොටසේ දී ඇලෙක්ස් සමඟ සංවාදයෙන් පසු ඔස්කා The Void නමැති රාත්‍රී සමාජ ශාලාවක් තුලට යාමෙන් පසු ඇතිවන සිදුවීමක් දැක්වේ. එහිදී ඔහුට වික්ටර් නමැති ඔහුගේ මිත්‍රයෙන් හමුවන වන අතර ඔස්කා පැමිණෙන්නේ වික්ටර්ට අයත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් නැවත බාරදීමටය. නමුත්, එහිදී සිදුවන අවාසනාවන්ත සිදුවීමක් නිසා ඔස්කා පොලිස් වෙඩි පහරකට ලක්වීමෙන් වැසිකිළියක් තුලදී මියයයි. එම දර්ශන පෙළේ දී ඔස්කා යම් වේලාවක් මරණය සමඟ පොරබදින ආකාරයක් දැකගත හැක. ඉන්පසු කැමරා කොණය වෙනස් වන්නේ ඔස්කාගේ ශරීරයේ සිට ඉහළට එසවෙන ආකාරයටය. ඔස්කා ඉන්පසු ඉහළ සිට තමන්ගේ ශරීරය දෙස බලාගෙන සිටියි. ඔහු තමන්ගේ මරණයෙන් පසුව ලින්ඩා හා ඇලෙක්ස්ගේ හැසිරීම නිරීක්ෂණය කරයි. මින්පසු ඔස්කා ඉහත දැක්වූ ටිබෙට් කෘතියේ දැක්වෙන මරණින් පසු තත්වය හා සමාන අත්දැකීම් ලැබීමට පටන් ගනියි.
ඔස්කාගේ මතක ආවර්ජනය තුලින් කුඩා කාලයේ දෙමාපියන් හා ලින්ඩා සමඟ ගත කල ප්‍රීතිමත් ජීවිතය ගෙන හැර දක්වයි. මෙහිදී කැමරා කෝණය දෙස නැවත අවධානය යොමුකල යුතුය. පෙර අවස්ථාව වලට වෙනස්ව චිත්‍රපටයේ දර්ශන ප්‍රේක්ෂකයාට දැකගත හැකි වන්නේ ඔස්කාගේ හිස පිටුපස සිට බලාසිටින අයෙකුගේ දැක්මට අනුවයි. ක්ෂතිමය අත්දැකීම් ලෙස මතකයේ රැඳී ඇති ප්‍රීතිමත් ළමා කාලය, මවගෙන් කිරි උරා බීම, දෙමව්පියන්ගේ ලිංගික සම්බන්ධතා, මාරාන්තික රිය අනතුර, ලින්ඩා වෙනත් පවුලක භාරයට පත්කිරීම ආදී ලෙස එම අත්දැකීම් අවර්ජනය තුල දැකගත හැකිය. ඉන්පසු ඔස්කා ජපානයට පැමිණීම, මත්ද්‍රව්‍ය සම්බන්ධය හා ලින්ඩා ටෝකියෝ නගරයට ගෙන්වා ගැනීම ලෙස මෑත කාලීන මතක ආවර්ජන පෙල ගැස්වෙයි. ඇතැම් මතක ආවර්ජනයන් පෙල ගැස්වීමේදී කුඩා කාලයේ ලැබූ ක්ෂතිමය අත්දැකීම් ඔහුගේ වැඩිහිටි චර්යාවන්ට බලපෑමක් කල ආකාරය සංසන්දනාත්මකව දක්වයි.
හතරවෙනි කොටස :
එම මතක ආවර්ජනයන්ගෙන් පසුව ඔස්කා ටෝකියෝ නගරයට ඉහළින් ගමන් කරමින් තමාගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය හා ඇලෙක්ස්, ලින්ඩා, වික්ටර් ඇතුළු හිතවතුන් ජීවිතය ගෙවන ආකාරය දෙස බලා සිටියි. එක්තරා අවස්ථාවක ඔහුට ලිංගික සංසර්ගයේ යෙදෙන ස්ත්‍රීන් හා පුරුෂයන් පිරිසක් දක්නට ලැබෙන අතර ඉන්පසු එක් ගර්භාෂයකට ඇතුළු වීම, උපත ලැබීම, පෙකනි වැල කැපීම වැනි සිදුවීම් දර්ශනය දැකගත හැකිය. එයින් ඔස්කාගේ නැවත ඉපදීම නිරූපණය කරන බව පැහැදිලි වෙයි.
.
Enter the Void කිසිසේත්ම සාමාන්‍ය සිනමා අත්දැකීමක් ලබාදෙන චිත්‍රපටයක් නොවේ. බොහෝ චිත්‍රපට වල දක්නට ලැබෙන්නේ යම් අර්බුදයකින් ආරම්භ වී අවසානයේදී විසඳුමක් කරා යන ගලායාමකි. එසේත් නැතිනම් ශෝකාන්තයකින් අවසන් වීමෙන් ශෝකය බෙදාගැනීමට හැකියාවක් ලැබේ. මෙය එවැනි විශේෂ හැඟීමකින් තොරව බලා අවසන් කලහැකි චිත්‍රපටයකි.
ඔස්නාගේ මරණයෙන් පසු තත්වය සම්බන්ධයෙන් මතුකර ඇති අදහස් කිහිපයක් පහත දැක්වේ.
• මූලික අදහස ලෙස මරණයෙන් පසුව ඔස්කා අත්විඳින්නේ The Tibetan Book of the Dead කෘතියේ ඇතැයි කියා ඇලෙක්ස් පවසන සිදුවීම් දාමය යැයි සිතිය හැක.
• තවත් අදහසක් නම්, ඔස්කා මියයන විට DMT භාවිතා කර සිටි අතර ඉහත කෘතිය කියවා, මිය යාමට ටික වෙලාවකට පෙර ඇලෙක්ස් සමඟ ඒ ගැන අදහස් ද හුවමාරු කරගෙන සිටියේය. ඒ අනුව චිත්‍රපටයේ දැක්වෙන ඔස්කාගේ මරණයෙන් පසු සිදුවීම් දාමය, DMT ක්‍රියාකාරීත්වය සහ කෘතියේ අන්තර්ගතය මිශ්‍ර වීමෙන් සිතේ මැවෙන චිත්තරූප පෙළක් ද යන සැකය ඇතිවේ.
• මිනිස් මොළයේ යම් ප්‍රමාණයක් DMT අඩංගු වන බවත් මරණාසන්න අවස්ථාවේ එම සංයෝගය මුදාහැරෙන බවත් සැලකේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Gaspar Noé පවසා තිබුණේ චිත්‍රපටය නිර්මාණය කිරීමේදී මේ අදහස සැලකිල්ලට ගත් බවයි. ඒ අනුව ඔස්කාගේ මරණින් පසු අත්දැකීම් ලෙස චිත්‍රපටයේ දැක්වෙන්නේ සැබෑවට ඔහු අත්දකින දෙයක් නොව මරණාසන්න මොහොතේ ඇතිවන DMT ක්‍රියාකාරීත්වය නිසා ඔහුගේ සිතේ මැවෙන සයිකඩෙලික සිතුවිලි සමූහයක් කියා ද සැලකිය හැකිය.
.
මරණයේ අන්තයට ගොස් නැවත පැමිණෙන පුද්ගලයන් පවසන මරණාසන්න අත්දැකීම් (near-death experience | NDE) යනු මරණාසන්න මොහොතේ මුදාහරින DMT ක්‍රියාකාරීත්වය නිසා ලැබෙන අත්දැකීමක් ලෙස ඇතැම් ස්නායු විශේෂඥයන් ද සලකයි. මරණාසන්න අත්දැකීම් ලෙස බහුලව වාර්තා වන්නේ ශරීරයෙන් ඉවත්ව යනවා සේ දැනීම, දීප්තිමත් ආලෝක දැකීම, වෙනත් ලෝකයකට ඇතුළු වීම, සාමකාමී හැඟීම් ආදියයි.
කෝමා තත්වයක් නිසා මරණාසන්න අත්දැකීම් ලැබූ ඊබන් ඇලෙක්සැන්ඩර් නම් ස්නායු විශේෂඥයෙක් පසුව එම අත්දැකීම් හා DMT ප්‍රභේදයක් භාවිතා කිරීමෙන් ලැබු සයිකඩෙලික අත්දැකීම් සංසන්දනය කරන පරීක්ෂණයක දී පවසන්නේ තමාගේ ඇතැම් මරණාසන්න අත්දැකීම්, DMT භාවිතයෙන් ද අත්විඳිීමට හැකිවූ බවයි. එයින් වඩාත් ආකර්ෂණීය සමානකම යැයි සඳහන් කරන්නේ තමාගේ ඊගොව, හෝ තමා ගැන ඇති හැඟීම දිය වී යනවාක් මෙන් (ego death) දැනීමය. ඉන්පසු තමන් අන්තරීක්ෂ සත්වයෙකු (cosmic being) යන හැඟීම ඇතිවේ. නමුත්, ඇලෙක්සැන්ඩර් පසුව පවසන්නේ මරණාසන්න අත්දැකීම් හා DMT චාරිකාව අතර සමානකම් මෙන්ම බොහෝ වෙනස්කම් ද පවතින බවත් මරණාසන්න මොහොතේ ලැබූ අත්දැකීම් විශාල පරිමාණයකට පැතිරෙන බවත්ය. ජීවිතය පිළිබඳ සම්පූර්ණ මතක ආවර්ජනය, මියගිය ඥාතීන් හමුවීම, හා නැවත පැමිණීමට නොහැකි යැයි දැනෙන හැඟීම DMT වලින් නොලැබෙන සැබෑ මරණාසන්න අවස්ථාවේ පමණක් ලැබෙන අත්දැකීම් ලෙස සඳහන්ය.
ද්‍රව්‍යවාදීන් මරණාසන්න අත්දැකීම් සයිකඩෙලික මත්ද්‍රව්‍ය වල ක්‍රියාකාරීත්වයට සමාන කිරීමට උත්සහ කරනවා පමණක් නොව පෙරදිග ආගම් වල ඉගැන්වෙන ආධ්‍යාත්මික අත්දැකීම් ද ඒ හා සමපාත කිරීමට උත්සහ කරනවා දක්නට ලැබෙයි. ඔවුන් භාවනා හෝ ධ්‍යාන අත්දැකීම් මොළයේ හුදු රසායනික සංයෝග ක්‍රියාකාරීත්වයකට ඌනනය කරති. එමනිසා භාවනා අත්දැකීම් හා සමාන අත්දැකීම් රසායනික සංයෝග භාවිතයෙන් ද ලබාගත හැකිබව විශ්වාස කරයි. උදාහරණයකට ඇතැම් රසායනික මත්ද්‍රව්‍ය භාවිතයෙන් සමථ භාවනා ඔස්සේ ලැබිය හැකි දෙවැනි රූපාවචර ධ්‍යානයේ ලක්ෂණයක් වන ප්‍රීතියට ආසන්න අත්දැකීමක් ලැබෙන බව කියැවේ.
70 දශකයේ පැන නැඟුන හිපි ව්‍යාපාරයත් සමඟ සයිකඩෙලික මත්ද්‍රව්‍ය භාවිතය හා පෙරදිග ආගම් පිළිබඳ උනන්දුවක් ඇති විය. Richard Alpert නම් ඇමරිකානු ජාතිකයෙක් හාවඩ් විශ්ව විද්‍යාලයේ සිදුකල LSD සම්බන්ධ පර්යේෂණ වලින් පසුව නිගමනය කර ඇත්තේ LSD භාවිතය නිර්වාණයට කෙටි මාර්ගයක් ලෙසටය. එය උත්කර්ෂයට නඟා ඇත්තේ, ඉන්දියාවේ දී භාවනාව තුලින් අවුරුදු 12ක් පමණ ගත කර ලබාගත හැකි දෙයක් LSD තුලින් ඉතාමත් කෙටි කාලයකින් ලබාගත හැකි බවයි. පසුව ඔහු ඉන්දියාවට පැමිණි අවස්ථාවක නීම් කරොලි බාබා නම් හින්දු යෝගියෙකු හමුවී ඇති අතර තම LSD මෙම යෝගියා ලවා පරීක්ෂා කරගැනීමට අවශ්‍ය වී ඇත. ඔවුන් අතර සිදුවූ යම් සංවාදයකින් පසු කරොලි බාබා LSD භාවිතා කිරීමට එකඟ වී ඇත. මුලින්ම ඔහු 300mg ක පිරිසිදු LSD අඩංගු පෙත්තක් ලබා දී ඇත. එය වැඩිහිටියෙකුට අනුමත මාත්‍රාව ලෙස සැලකේ. නමුත්, කරොලි බාබා ඉතිරිව ඇති අනෙක් පෙති සියල්ල ද ඉල්ලාගෙන පෙති හතරක් (1200mg) එකවර ගිල දමා ඇත. මත්ද්‍රව්‍ය ක්‍රියාකාරී වී අධි මාත්‍රාව නිසා කරොලි බාබා උමතුභාවයට හෝ මාරාන්තික විපර්යාසයකට පත්වන වනතුරු පැයක් පමණ බලාගෙන සිටියත් ඔහුගෙන් විශේෂ වෙනසක් දැකගත නොහැකි වී ඇත. පසුව කරොලි බාබා පවසා තිබුණේ යම් භාවනා ක්‍රමයකින් තමන් LSD මඟින් ශරීරයට ඇති කරන බලපෑම ඉවත් කල බවයි. සයිකඩෙලික මත්ද්‍රව්‍ය වලින් භාවනා හෝ ධ්‍යාන හා සමාන අත්දැකීම් යම් දුරකට ලැබිය හැකි වුවත් පළපුරුදු යෝගියෙකුට එහි විශේෂත්වයක් නොමැත. එනම් යම් සීමාවකින් ඔබ්බට මත්ද්‍රව්‍ය ඵලරහිත වෙයි. පසුව රිචඩ්, රාම්දාස් නමින් කරොලි බාබාගේ ශිෂ්‍යයෙකු බවට පත්වී ඇත.
නැවතත් චිත්‍රපටය දෙසට පැමිණිය හොත්, මාගේ රෙකමදාරුව වන්නේ චිත්‍රපටය නැරඹීමට උනන්දු නොවන ලෙසයි. යම් හෙයකින් නැරඹීමට අවශ්‍ය වුවහොත් කුඩා දරුවන් සමඟ හෝ වැඩිහිටියන් සමඟ හෝ නැරඹීමෙන් වලකින්න. සාම්ප්‍රදායික නොවූ ඇසට පීඩාකාරී කැමරා කෝණය, දීප්තිමත් නියෝන් වර්ණ රටා, ව්‍යාභිචාරී ඇඟවුම්, සයිකඩෙලික මත්ද්‍රව්‍ය, හා ලිංගික දර්ශන සම්මිශ්‍රණයෙන් මවන සරියෙල් පරිසරය ඇතැම්විට කෙටි වේලාවකින් චිත්‍රපටය නැරඹීම අධෛර්යමත් කරනු ඇත. මෙය සයිකඩෙලික මත්ද්‍රව්‍ය වල සුන්දරත්වය පෙන්වීමට මත්ද්‍රව්‍ය ලෝලීන් වෙනුවෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් ද එසේත් නැතිනම් මත්ද්‍රව්‍යයේ ආදීනව, එහි විසකුරු ස්භාවය හෝ සාමාජීය බලපෑම පෙන්වීමට නිර්මාණය කරනලද මත්ද්‍රව්‍ය විරෝධී චිත්‍රපටයක් ද යන්න ප්‍රේක්ෂකයාම තීරණය කල යුතුය. ආගමිකයෙකුට මරණය සම්බන්ධයෙන් තම ආගමික ඉගැන්වීම් වලට අනුව ගලපා ගැනීමටත් නිරාගමිකයෙකුට නම් තම භෞතිකවාදී අස්ථානයන්ගේ සත්‍යතාවය තහවුරු කරගැනීමටත් චිත්‍රපටයේ ව්‍යාකූලත්වය යොදාගත හැක.

No comments :