Dopamine Hit


 


ප්‍රිය කරන ගායකයෙකුගේ ගීත ඇල්බමයක් ගතහොත් සාමාන්‍යයෙන් අප එහි තිබෙන ගීත සියල්ලටම එකසේ ඇලුම් නොකරයි. එහි අප වඩාත් ප්‍රිය කරන, නිතර නිතර අසන ගීත ඇත්තේ කිහිපයකි. එම ප්‍රියතම ගීතයක් වෙනම ගෙන කොටස් වල⁣ට වෙන් කලහොත්, අප වඩාත් ප්‍රිය කරන සංගීතයේ කොටසක් හෝ පද පෙලේ කොටසක් හෝ ගායනයේ කොටසක් හෝ හඳුනාගත හැක. ගීතය ඇසීමේදී එවැනි කොටස් හමුවීම වැඩිපුර තෘප්තියක් ගෙන දෙයි. එසේත් නැතිනම් ගීතය අසාගෙන සිටින විට එම කොටස මතුවන තෙක් ආශාවෙන් බලා සිටියි. චිත්‍රපටයකත් වඩාත් කැමති ජවනිකා ⁣තිබෙන අතර එම කොටස් නැවත නැවත නැරඹීම තෘප්තිය ගෙන දෙයි. එනම් එම විශේෂ කොටස් අසන විට හෝ නරඹන විට අපව තෘප්තිමත් කිරීමට dopamine ශ්‍රාවය වෙයි.


සමාජ මාධ්‍ය තුල ඉතා වේගයෙන් පැතිර යන අන්තර්ගතයන් විශේෂයක් වන්නේ ජනප්‍රිය ගීත හෝ චිත්‍රපට වලින් උකහා ගත් තප්පර හෝ විනාඩි කිහිපයකට සීමා වන වීඩියෝ කැබලිය. ඇතැම්විට ගීතයකින් උකහා ගත් තප්පර ගණනක වීඩියෝ කැබැල්ලකින් සම්පූර්ණ ගීතයෙන් ලැබෙන dopamine hit එක ලබාගත හැක. චිත්‍රපටයක උද්වේගකර අවස්ථා වෙන්කර සාදා ඇති විනාඩි කිහිපයක වීඩියෝ කැබලි ද දැකගත හැකිය. එවැනි එක් කැබැල්ලක් නරඹා ලැබෙන තෘප්තිය ප්‍රමාණවත් නොවන අතර තව තවත් app ඇල්ගොරිතම විසින් යෝජනා කරන එවැනි වීඩියෝ නැරඹීමට පෙළඹේ. මෙයින් කුඩා කුඩා dopamine hit රාශියක් එක දිගට ලබාගත හැකිය. අවසානයේ එය ඇබ්බැහියක් බවට පත්වී, විශාල කාලයක් ද විනාශ කර දමයි. අතෘප්තිය පමණක් ශේෂ වේ. ඇබ්බැහියෙන් මිදීමට නොහැකි නම් එය විශාදය, ආතතිය හෝ සියදිවි නසාගැනීමේ හැඟීම් දක්වා වුවද වර්ධනය විය හැකි බව පැවසේ. විනෝදාස්වාද කර්මාන්තය විසින් කලාව ගිල දැමුවා සේ, මෙම සමාජ මාධ්‍ය ප්‍රවණතා විසින් විනෝදාස්වාද කර්මාන්තය ගිල ගැනීමට පටන් ගෙන ඇති බව පැවසේ. ඒ අනුව දැන් අප අවතීර්ණ වී සිටින්නේ පශ්චාත් - විනෝදාස්වාද අවධියටයි.


මා ද මෙම dopamine චක්‍රයට අසුවී සිටින බව තේරුම් ගොස් ඇත. මෙහි ආරම්භය යු ටියුබය විවෘත කරන මුල් අවස්ථාවෙම දක්නට ලැබෙන Shorts නම් වීඩියෝ කැබලි එකතුවයි. මුලින්ම මා ඇබ්බැහි වී සිටියේ Friends කතා මාලාවේ කොටස් නැරඹීමටයි. එක දිගට කොටස් නරඹමින් විශාල කාලයක් කා දැමුවෙමි. පසුව එය එක් යූ ටියුබ විවෘත කිරීමකට වීඩියෝ කැබලි දෙකක් ලෙස සීමා කරගැනීමට හැකි විය. ටික කාලයකින් House කතාමාලාව ද dopamine hit ලබාදීමේ ව්‍යාපෘතියට එකතු විය.


මෙම ඇබ්බැහිය වඩාත් දරුණු තත්වයකට පත්වූයේ ෆේස්බුක් වීඩියෝ යෝජනා වල දක්නට ලැබෙන විනාඩි කිහිපයක් දිග චිත්‍රපට කැබලි නැරඹීමට පටන් ගැනීමත් සමඟය. යූ ටියුබයට වඩා කාලය කා දැමීම ද වැඩි විය. මුලින්ම ෆේස්බුක් හරහා දිගින් දිගටම නැරඹීමට යෝජනා වූයේ X - men චිත්‍රපට වල කෙටි දර්ශනයි. මෙම වීඩියෝ කැබලි විශාල ප්‍රමාණයක් නරඹා එහි පෙළඹවීම මත අවසානයේ සම්පූර්ණ චිත්‍රපටයක් නැරඹීමට පටන් ගැණුනි. චිත්‍රපටය නැරඹීමේ දී දැනුන දෙයක් නම්, සම්පූර්ණ චිත්‍රපටය නරඹනවා වෙනුවට, එතරම් උද්වේගකර ⁣නොවන කොටස් මඟහැර, ෆේස්බුක් වීඩියෝ කැබලි වල දක්නට ලැබෙන ආකාරයේ උද්වේගකර කොටස් සොය සොයා නැරඹීමට පමණක් උත්සුක වන බවයි.


X - men වලින් පසුව The Equalizer, Better Call Saul, Breaking Bad හරහා ද ඇබ්බැහිය පවත්වා ගත හැකි විය. අවසානයේ ඇබ්බැහි වී සිටියේ Shameless කතාමාලාවේ වීඩියෝ කැබලි වලටය. Khao Shong කෝපි ඇබ්බැහියට, වීඩියෝ කැබලි ඇබ්බැහියත් එකතු වූ පසු විනාඩි 15ක් 20ක් පහසුවෙන් කා දැමිය හැකිය. මෙවැනි වීඩියෝ කැබැල්ලක් නැරඹුම් වාර මිලියනයේ සීමාව ඉක්මනින් පසුකරයි. එයින් මෙම ඇබ්බැහිය කොතරම් දරුණු දැයි අදහසක් ගත හැක. තවමත් මට යෝජනා වන්නේ Shameless වීඩියෝ කැබලිය. කෝපි බොමින් පොත් කියවීමට ඇබ්බැහි වී ඇතැයි කියන සාම්ප්‍රදායික අදහස් දෙස බැරෑරුම් ව බැලීමට අවශ්‍ය නොවන්නේ ඒවා දැන් අතීතයට අයත්, තවදුරටත් රෝග ලක්ෂණ ලෙස සැලකීමට අවශ්‍ය නොවන නිසාය. එවැනි අදහසක රොමැන්තික හැඟවුමක් නැතැයි නොකියමි. නමුත්, දැන් සැබෑ ඇබ්බැහිය ගොනු වී ඇත්තේ ඩිජිටල් ඩිවයිස් වටාය.


Dopamine Hit Dopamine Hit Reviewed by Fox Talks on 9:25 AM Rating: 5

No comments :

Powered by Blogger.