Deep State | Israel Lobby | AIPAC | Christian Zionism | Neoconservatism | Donald Trump | Israel | Israel-Iran Conflict
පසුගිය ඔක්තෝබර් පළමුවෙනිදා ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ තුන්වෙනි ලෝක යුද්ධයක් ගැන බියක් නැවත කරළියට පැමිණියා. ඉරානය සෘජුව ඊශ්‍රායලයට පහරදීමට තරම් තත්වය බරපතල වූයේ හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කර ප්‍රහාරයත්, පසුව ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ආරම්භ කල දරුණු ප්‍රතිප්‍රහාර මාලාවත් නිසාය. ඊශ්‍රායලයට එල්ල කර ප්‍රහාරයට පළිගැනීමක් ලෙස හමාස් සංවිධානයට එරෙහිව යුද වැදීම සාධාරණ ප්‍රතික්‍රියාවක් ලෙස සැලකිය හැකි වුවත්, ඉන්පසු ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරය තුල මුදාහරින ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය ප්‍රතිප්‍රහාරයක සීමාව ඉක්මවා යයි. සිවිල් ජනයාට එල්ල කරන ප්‍රහාර හමුවේ ඉතාමත් දරුණු ආකාරයෙන් මානව හිමිකම් උල්ලංඝනය වීම සිදුවේ. වෙනත් රටක් මෙවැනි යුදමය ක්‍රියාමාර්ගයකට යොමුවූවා නම් දක්නට ලැබෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදුකරන මැදිහත් වීම්, සම්බාධක පැනවීම්, මානව හිමිකම් චෝදනා ආදිය ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඵලදායි නොවන බව පෙනෙයි. මෙයට හේතුවක් ලෙස සැලකිය හැක්කේ ඇමරිකා එක්සත් ජනපදය විසින් දිගින් දිගටම ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊශ්‍රායලයට අවශ්‍ය මූල්‍ය හා යුදමය ආධාර වලට අමතරව රාජ්‍යතාන්ත්‍රික ආරක්ෂාව ද ලබා දෙනවා දැකගත හැක.
ඊශ්‍රායලය මොසාඩ් වැනි දියුණු බුද්ධි අංශ යොදාගෙන සිදුකරන රහසිගත මෙහෙයුම් වලදී ඉහළ සාර්ථකත්වයක් අත්කර ගත්ත ද භූමියේ සිදුකරන සටන් එතරම් සාර්ථක නොවන බව පෙනෙන්නට තිබේ. ගාසා තීරයේ සටන් තවමත් අවසන් වී නැත. හමාස් සංවිධානයට අමතරව, ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානය හා හුතී කැරලිකරුවන් ද ඊශ්‍රායලය ට විරුද්ධව ප්‍රහාර දියත් කරමින් සිටියි. මෙම කණ්ඩායම් සියල්ලම ඉරානයේ සහය හිමිවන Axis of Resistance නම් මිලීෂියා කණ්ඩායම් එකමුතුවට අයත්ය. මෙම කණ්ඩායම් වලට හා ඉරානයට එරෙහිව යුද්ධයක් පවත්වාගෙන යාම ඊශ්‍රායලයට පමණක් තනිවම කල හැකි කටයුත්තක් නොවේ. එමනිසා ඊශ්‍රායලය දැනට තිබෙන යුද පෙරමුණු විවෘත කරගෙන සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් ලැබෙන සහයෝගය මතය.
ඇමරිකා එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලයට ලබාදෙන මෙම සහය පසුපස ඇති න්‍යායපත්‍රය තේරුම් ගැනීම සංකීර්ණ කටයුත්තකි. මෙය ඩිමෝක්‍රැටික් හෝ රිපබ්ලිකන් පක්ෂ දේශපාලනය හරහා ද තේරුම් ගත නොහැක්කේ, මෙම කුමන පක්ෂයක් බලයේ සිටියත් ඊශ්‍රායලය සම්බන්ධ විදේශ ප්‍රතිපත්ති වල වෙනසක් සිදුනොවන නිසාය. මෙම හේතුව සොයා බැලීමේ දී Deep State සහ Neoconservatism යන සංකල්ප දෙක ඔස්සේ පැහැදිලි කිරීම් තිබෙන බව දක්නට ලැබුණි.
Deep State
=========
Deep State යන සංකල්පය පිළිබඳ විධිමත් අර්ථ දැක්වීමක් දක්නට නොමැති අතර එය බොහෝ දෙනෙක් ව්‍යාකූලත්වයට පත් කරන අදහසක් ද වේ. එයට හේතුව මෙම සංකල්පයෙන් දැක්වෙන අදහස ඇමරිකා එක්සත් ජනපද ෆෙඩරල් ආණ්ඩුව තුල පවතින ප්‍රධාන බල ව්‍යුහයන් තුනට නිල වශයෙන් සම්බන්ධ කොට පැහැදිලි කිරීමට අපහසු වීමය. ඇතැම් දේශපාලන විද්‍යාඥයන් Deep State යනුවෙන් හඳුන්වන්නේ එක්සත් ජනපදයේ පරිපාලන රාජ්‍යයි (Administrative state). එහි ආරම්භය හා විකාශනය ගැන මෙවැනි පැහැදිලි කිරීමක් කලහැකිය.
ආරම්භය හා විකාශනය >>
19 වන සියවස අග සහ 20 වන සියවස මුල් භාගයේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇතිවූ ආර්ථික දියුණුවත් සමඟ රටේ පාලනය ගෙන යාම සඳහා පරිපාලන රාජ්‍යය ශක්තිමත් කිරීමට සිදුවේ. කාලයත් සමඟ මෙම පාලන ව්‍යුහයේ බලය ක්‍රමයෙන් වර්ධනය වේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝක බලවතා බවට පත්වන ඇමරිකා එක්සත් ජනපදය, ගෝලීය මට්ටමින් ලෝකයේ විවිධ ස්ථානවල දේශපාලනික හා යුදමය මැදිහත්වීම් සිදුකිරීමට පටන් ගනියි. මෙම මැදිහත් වීම හා ඒවාට අදාළ විදේශ ප්‍රතිපත්ති කළමනාකරණය කිරීම ද ඉහත පාලන ව්‍යුහය මඟින් සිදුකරයි. එයට පෙන්ටගනය, CIA වැනි ඔත්තු සේවා, රාජ්‍ය දෙපාර්තමේන්තුව ආදිය සම්බන්ධ වේ. මෙම පාලන ව්‍යුහයේ බලය ව්‍යාප්ත වීමත් සමඟ රජයට අවශ්‍ය විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අමතරව එම ආයතන වල සිටින ඉහළ රාජ්‍ය නිලධාරීන් ද තමන්ට අවශ්‍ය ආකාරයට ඇතැම් විදේශ ප්‍රතිපත්ති හැසිරවීමට පටන් ගනියි. Deep State නමින් හැඳින්වෙන්නේ දේශපාලන බලාධිකාරයෙන් ස්වාධීනව විදේශ ප්‍රතිපත්ති, පුළුල් අර්ථයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති හැසිරීමට හැකියාවක් ඇති මෙම නිලධාරිතන්ත්‍රයටය (Bureaucracy).
පසුව රාජ්‍ය පාලනයට සෘජුව සම්බන්ධ නොවන කණ්ඩායම් (Interest groups) ද රාජ්‍ය ප්‍රතිපත්ති වලට බලපෑම් කිරීම නිසා Deep State පිළිබඳ අදහස තවත් සංකීර්ණ වී ඇත. ඇමරිකානු දේශපාලන ක්‍රමය සැකසී තිබෙන්නේ බලවත් interest group වලට රජයට බලපෑම් කිරීමට (Lobbying) හැකියාවක් ලැබෙන ආකාරයටය. උදාහරණයකට National Rifle Association එවැනි interest group එකක් ලෙස සැලකේ. ඔවුන්ගේ බලපෑම නිසා ඇමරිකා එක්සත් ජනපදයේ ගිනිඅවි භාවිතය පාලනයට අවශ්‍ය නීති පැනවීම අපහසු වී ඇත. මෙම Deep State ක්‍රියාකාරීත්වය, ඩිමෝක්‍රැටික් හෝ රිපබ්ලිකන් හෝ කවර පාලනයක් වුවත්, තම අරමුණු වෙනුවෙන් යොදාගැනීමට හැකිවන තරමට බලවත් වී ඇත. එමනිසා ඇතැම් රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කුමන පක්ෂයක ජනාධිපතිවරයෙක් බලයට පත්වුවත් වෙනසක් නොවන මට්ටමට පැමිණ ඇත. පත්වන ජනාධිපතිවරයාගේ දේශපාලන මතවාදය මත විදේශ ප්‍රතිපත්ති හෝ ඒවා ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින නිලධාරින් වෙනස් නොවන බවට පෙන්වා දිය හැකි උදාහරණයක් වන්නේ ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක් වන වික්ටෝරියා නූලන්ඩ්ය. ඇය ක්ලින්ටන් පරිපාලනයේ සිට බුෂ්, ඔබාමා සහ බයිඩන් යන සෑම පරිපාලනයකම ඉහළ සහ වැදගත් නිලතල හොබවා ඇත. මෑත කාලයේ මෙම Deep State අභිලාෂ වලට වෙනස්ව විදේශ ප්‍රතිපත්ති හැසිරවීමට උත්සහ දැරූ එකම ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සැලකේ. මෙම Deep State සංයුතිය ගැන ඇති පැහැදිලි කිරීම් එක්තරා සීමාවකින් පසු අපැහැදිලි ස්වරූපයක් ගනියි. එම සීමාවෙන් එහා පවතින්නේ කුමන්ත්‍රණ න්‍යායකරුවන්ගේ (Conspiracy theorists) කලාපයයි. කෙසේනමුත්, පැහැදිලිව දැකගත හැකි කරුණක් නම් Deep State විසින් ඇමරිකා එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති සම්බන්ධව කරන බලපෑම් වල ඉහළින්ම තිබෙන්නේ ඊශ්‍රායලය සම්බන්ධව ගන්නා තීරණ කෙරෙහි බවය.
ඊශ්‍රායල ලොබිය >>
ඇමරිකා එක්සත් ජනපදය තුල ඊශ්‍රායලය සම්බන්ධ විදේශ ප්‍රතිපත්ති වලට බලපෑම් කරන ඊශ්‍රායල හිතවාදී කණ්ඩායම් සිටින බව පැවසේ. ඔවුන් පොදුවේ හඳුන්වන්නේ ඊශ්‍රායල ලොබිය (Israel lobby) ලෙසටය. මෙය බලවත් interest group කිහිපයකින් සැදුම්ලත් ලොබියක් වන අතර එයින් AIPAC නමින් හැඳින්වෙන සංවිධානය ප්‍රධාන වේ. මේවා ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වන, නීත්‍යානුකූල සංවිධාන වන අතර කුමන්ත්‍රණ න්‍යායකරුවන් විසින් හඳුන්වන ආකාරයේ රහසිගත සංවිධාන නොවේ. ඩිමෝක්‍රැටික් පක්ෂයේ පලස්තීනයට සහය පලකරන ප්‍රගතිශීලී කණ්ඩායමක් (Progressive wing) ද ඊශ්‍රායලයට සහය දක්වන කණ්ඩායමක් (Pro-israel) ද වශයෙන් කණ්ඩායම් දෙකක් තිබේ. මෙයින් වඩා බලවත් යැයි සැලකෙන්නේ ඊශ්‍රායල හිතවාදී කණ්ඩායමයි. ඊශ්‍රායල ලොබිය විසින් මෙම ඊශ්‍රායල හිතවාදී ඩිමෝක්‍රැටික් සාමාජිකයන් හඳුනාගෙන ඔවුන්ගේ මැතිවරණ ජයග්‍රහණයන් සඳහා අවශ්‍ය සහය ලබාදෙයි. එමෙන්ම පලස්තීන හිතවාදී සාමාජිකයන්ගේ ජනප්‍රියත්වය පහළ හෙලීමට ද ක්‍රියා කරයි. මේ නිසා තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් බොහෝ පක්ෂ සාමාජිකයන් ඊශ්‍රායල හිතවාදී ස්ථාවරයක් පවත්වා ගෙන යන බව පැවසේ. ඩිමොක්‍රැටික් සාමාජිකයන් අතර මෙන්ම බහුතර රිපබ්ලිකන් සාමාජිකයන් ඇතුළු සමස්ත කොන්ග්‍රසය තුලම බලය පතුරුවා හැරීමට තරම් මෙම ඊශ්‍රායල ලොබිය බලවත් වී ඇත.
American Israel Public Affairs Committee (AIPAC) >>
AIPAC සංවිධානය විසින් රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයන් වෙත එල්ල කරන බලපෑම සම්බන්ධව කෙන්ටාකි හි රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයෙක් වන තෝමස් මෙසී විසින් මීට මාස කිහිපයකට පෙර ටකර් ක්ලාක්සන් සමඟ සාකච්ඡාවක දී අනාවරණය කරයි. එක්සත් ජනපද කොන්ග්‍රසයේ ඊශ්‍රායලය සම්බන්ධ පනත් සම්මත කරගැනීම සඳහා සහය ලබා නොදීම නිසා AIPAC ඔහුට බලපෑම් සිදුකල ආකාරය එහිදී පැහැදිලි කරයි. තෝමස් මෙසී පවසන ආකාරයට මැතිවරණ වලදී ඔහුගේ ප්‍රතිරූපයට හානි කරන අන්දමේ රූපවාහිනී හා ෆේස්බුක් දැන්වීම් සඳහා AIPAC සංවිධානය ඩොලර් 400,000ක පමණ මුදලක් වියදම් කොට ඇත. තවද ඔහු පවසන ආකාරයට ඊශ්‍රායල හිතවාදී රිපබ්ලිකන් සාමාජිකයන් සෑම දෙනෙකුම සම්බන්ධතා පවත්වන AIPAC සාමාජිකයෙක් (AIPAC person) සිටින අතර රිපබ්ලිකන් සාමාජිකයන්ට විදේශ රටක් සම්බන්ධයෙන් එවැනි බලපෑම් සිදුවන්නේ ඊශ්‍රායලය කෙරෙහි පමණක් බවය. මෙහිදි සඳහන් කලයුතු තවත් සිදුවීමක් නම්, තෝමස් මෙසීගේ මෙම සාකච්ඡාවෙන් සති දෙකකට පමණ පසු මෙසී තම බිරිඳ මියගිය බව වාර්තා කොට ඇත. මරණයට පැහැදිලි හේතුවක් සඳහන් නොවීම නිසා එම මරණය සම්බන්ධව කුමන්ත්‍රණ න්‍යායන් බිහි වී තිබේ. නමුත් මෙසී පසුව සටහනක් තබමින් මෙම න්‍යායන් ප්‍රතික්ෂේප කොට ඇත. මෙම සිද්ධිය වැදගත් වන්නේ Deep State සම්බන්ධ සිදුවීම් එක් සීමාවකින් පසුව කුමන්ත්‍රණ න්‍යාය කලාපයට ඇතුල් වන ආකාරය පැහැදිලි වන නිසාය.
ක්‍රිස්තියානි සියොන්වාදය >>
ඊශ්‍රායල ලොබිය සමන්විත වන්නේ යුදෙව්වන් ගෙන් පමණක්ය යන අදහසක් ඇතිවිය හැකිමුත් එය නිවැරදි අදහසක් නොවේ. එයට ක්‍රිස්තියානි සියොන්වාදීන් (Christian Zionists) ලෙස හැඳින්වෙන යුදෙව් ජාතිකයන් නොවන යුදෙව් හිතවාදී කොටසක් ද ඇතුලත්ය. ඊශ්‍රායලය සම්බන්ධ මෙම ක්‍රිස්තියානි සියොන්වාදීන්ගේ උනන්දුවේ ඇත්තේ සංකීර්ණ ස්භාවයකි. ඔවුන්ට ඇත්තේ යුදෙව්වන් පොරොන්දු දේශය හෙවත් ඊශ්‍රායලයට නැවත පැමිණීම වැනි බයිබලය පදනම් වූ ආගමික වැදගත් කමකි. නමුත්, AIPAC වැනි සංවිධාන වල සිටින යුදෙව්වන් සියල්ලන්ම ආගමික පදනමක් මත සිට ඊශ්‍රායලයට සහය දක්වනවා යැයි ද කිව නොහැක. ඇතැමුන්ගේ සහය ඊශ්‍රායල ජාතිකත්වය මත පදනම් වී ඇතැයි කියැවේ. මොවුන් ඇමරිකානුවන් වුවත්, යුදෙව් ජාතිකත්වයට අදාළ හැඟීම් ද ප්‍රබලව පවතියි. ප්‍රකට ඇමරිකානු විද්වතෙකු වන නයොම් චොම්ස්කි ද බටහිර රටවල් ඊශ්‍රායලයට සහය දැක්වීමට හේතුවක් ලෙස ක්‍රිස්තියානි සියොන්වාදය දක්වයි.
Neoconservatism
===============
සියොන්වාදයට හෝ යුදෙව් ජාතිකත්වයට සම්බන්ධයක් නොමැතිව ඇමරිකා එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලයට දක්වන සහය තේරුම් ගතහැකි වෙනත් ආකාරයක් වන්නේ Neoconservatism යන සංකල්පයයි. Neoconservatives හෙවත් Neocons ඇමරිකානු විදේශ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මැදිහත් වන කණ්ඩායමක් වන අතර මැදපෙරදිග කලාපයේ ඇමරිකානු බල ව්‍යාප්තිය සඳහා ඔවුන්ට ඊශ්‍රායලය වැදගත් වේ. එහෙත් ඔවුන් විදේශ ප්‍රතිපත්ති සම්පාදනයෙහි ලා සිදුකරන බලපෑම ඊශ්‍රායලයෙන් ඔබ්බටත් විහිදෙන්නකි. Neocons සැලකෙන්නේ ලෝකය පුරා ඇමරිකානු ආධිපත්‍යය පවත්වාගෙන යාම වෙනුවෙන් පෙනී සිටින, ඒ සඳහා මිලිටරි බලය යෙදවීම අනුමත කරන කණ්ඩායමක් ලෙසටය. මෑත කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම පෙරදැරි කරගෙන ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදුකල ඉරාක, ඇෆ්ගනිස්තාන, ලිබියා වැනි ආක්‍රමණ සඳහා Neocon බලපෑම තිබී ඇත. Neocon මතධාරීන් රිපබ්ලිකන් මෙන්ම ඩිමෝක්‍රැටික් දේශපාලනයේ ද දක්නට ලැබෙයි. බැරක් ඔබාමා ඩිමෝක්‍රැටික් පක්ෂයට අයත් වුවත් ඔහු Neocon ලෙස සැලකෙන්නේ නැත. නමුත්, එම පක්ෂයේම හිලරි ක්ලින්ටන් Neocon අදහස් ඇති තැනැත්තියක් සේ සලකයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් >>
ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වුවත් ඔහුට දිගටම බලයේ සිටීමට නොහැකි වූයේ ඔහුගේ ප්‍රතිපත්ති Deep State අභිලාෂ වලට එරෙහිව ගිය නිසා යැයි පැවසේ. එමෙන්ම ඔහුට එක්සත් ජනපදය NATO සංවිධානයට දක්වන සහය නවතා දැමීමටත්, රුසියාව සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමටත් අවශ්‍ය විය. මෙය Neocon ප්‍රතිපත්ති වලට එරෙහිව යෑමකි. යම් හෙයකින් ඔහු නැවතත් බලයට පත්වුවහොත් Deep State එකට එරෙහිව යාමට උත්සහ කරනු ඇත. නමුත්, එහි පවතින ශක්තිමත් ව්‍යුහය නිසා එය බිඳ දැමීම පහසු කටයුත්තක් නොවනු ඇත. එමනිසා දේශපාලන විචාරකයන් අදහස් පලකරන්නේ ට්‍රම්ප් හෝ කමලා හැරිස් කවරෙක් බලයට පත්වුවත් එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති වල සැලකිය යුතු වෙනසක් සිදු නොවනු ඇති බවයි.
ඊශ්‍රායලයේ වැදගත්කම >>
Deep State සහ Neocon මතධාරීන් සෑම විටම එකම අරමුණු වෙනුවෙන් ක්‍රියා කරනවා යැයි සැලකිය නොහැකි වුවත්, Deep State තුල Neocon මතධාරීන් සිටිය හැක.
ඊශ්‍රායල අර්බුදය Deep State සහ Neocon අභිලාෂ දෙකම යම් මට්ටමකට සමපාත වූ අවස්ථාවකි. 1979 සිදුවූ ඉරාන විප්ලවයෙන් ඇමරිකානු හිතවාදී ෂා රෙජීමය පෙරලා දැමීමෙන් පසු බටහිර ආසියා කලාපයේ තම බලය පවත්වා ගෙන යාමට එක්සත් ජනපදයට ඊශ්‍රායලය අවශ්‍ය විය. ඵෙතිහාසිකව එක්සත් ජනපදයට මෙම කලාපයේ බලය අවශ්‍ය වන්නේ තෙල් සහ ගෑස් සම්පත් තිබීම මෙන්ම මෙම කලාපය හරහා වැටී ඇති ලෝකයේ ප්‍රධාන වෙළඳ මාර්ග පාලනය කිරීමටත් හැකියාවක් ලැබෙන නිසාය. විශේෂයෙන්ම චීනයේ Belt and Road ව්‍යාපෘතියට සම්බන්ධ නව සේද මාවත වැටී තිබෙන්නේ ද මැදපෙරදිග හරහාය. මෙයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයට බටහිර ආසියා කලාපයේ තම වෙළඳ මාර්ග පවත්වා ගැනීමට ද ඊශ්‍රායලය පැවතීම උපක්‍රමිකව අවශ්‍ය වේ. ජෝ බයිඩන් විසින් 1986 දී හා 2023 දී ඊශ්‍රායලය සම්බන්ධයෙන් පහත අදහස දක්වා ඇත.
Israel is an extension of US imperial power in west asia. If israel didnt exist we would have to invent it.
ලෝකයේ බලශක්ති අවශ්‍යතා තවමත් විශාල වශයෙන් රදා පවතින්නේ ෆොසිල ඉන්ධන මතය. ලෝකයේ ප්‍රධාන තෙල් සැපයුම්කරුවන්ගේ එකතුවක් වන OPEC සංවිධානය ලෝකයේ තෙල් සැපයුමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් පාලනය කරයි. නමුත්, ඇමරිකා එක්සත් ජනපදය මෙම සංවිධානයේ සාමාජිකයෙක් නොවේ. රුසියාව OPEC+ සංවිධානයට එක්වීම මඟින් සෞදි අරාබිය සමඟ එක්ව තෙල් සැපයුම පාලනය කිරීමේ හැකියාවක් ලැබී ඇත. මෙවැනි තත්වයන් නිසාද එක්සත් ජනපදයට මැදපෙරදිග කලාපයේ තම බලය ශක්තිමත් ව පවත්වා ගැනීමට ඊශ්‍රායලය වැනි රාජ්‍යයක පැවැත්ම අත්‍යාවශ්‍ය වී තිබේ. එබැවින් ඊශ්‍රායලයට එක්සත් ජනපදයෙන් ලැබෙන යුද, මූල්‍ය හා රාජ්‍ය තාන්ත්‍රික සහයෝගයේ පදනම තේරුම් ගැනීමට මෙවැනි භූදේශපාලනික සංසිද්ධි වැදගත් වේ.
ඇමරිකා - ඊශ්‍රායල ප්‍රතිපත්තිමය අසමානතා >>
ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයට විශාල සහයෝගයක් දැක්වුවත්, ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඔවුන් අතර අසමානතා පවතියි. එයින් එක් කරුණක් වන්නේ, ඊශ්‍රායල - පලස්තීන අර්බුදයට විසඳුමක් ලෙස එක්සත් ජනපදය කැමැත්තක් දක්වන රාජ්‍යයන් දෙකක විසඳුම (Two state solution) ය. ඔවුන්ගේ අදහස වන්නේ ගාසා තීරයෙන් හමාස් සංවිධානය ඉවත් කර, එම ප්‍රදේශය පලස්තීන බලාධිකාරයට බාර දීමයි. නමුත්, තනි ඊශ්‍රායල පාලනයක් වෙනුවෙන් පෙනී සිටින බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු ඉහළ ඊශ්‍රායල බලධාරීන් එයට විරුද්ධත්වයක් දක්වයි. පසුගිය ඔක්තෝබර් 7 වෙනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කල දරුණු ප්‍රහාරයට පෙර නෙතන්යාහු රජය හමාස් සංවිධානය ගාසා තීරයේ සිටීම තමන්ට වාසිදායක තත්වයක් ලෙස සලකා ඇත. එයට හේතුව එම සංවිධානය ද රාජ්‍යයන් දෙකක විසඳුම සඳහා අකමැති වීමය.
නෙතන්යාහුගේ රජයට ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ යුද්ධයකට පැටලීමට අවශ්‍ය වූවත් එක්සත් ජනපදයට එවැනි ක්‍රියාමාර්ගයකට යාමට තරම් අවශ්‍යතාවයක් නොමැති බව පැවසේ. එය පහත සිදුවීම් දාමයෙන් පැහැදිලි වන බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි. පසුගිය අප්‍රේල් 1 වෙනිදා ඊශ්‍රායලය විසින් සිරියාවේ ඩමස්කස් නගරයේ පිහිටි ඉරාන කොන්සියුලේට් කාර්යාල ගොඩනැඟිල්ලට ප්‍රහාරයක් එල්ල කරන ලදී. පසුව එයට පලිගැනීමක් ලෙස ඉරානය අප්‍රේල් 14 වෙනිදා නැවත ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කල බව වාර්තා විය. මේ දින 14 කාලය තුල එක්සත් ජනපදය අතරමැදි පාර්ශවයක් හරහා ඉරානය සමඟ සම්බන්ධතා ගොඩනඟා ගෙන ඉරාන ප්‍රතිප්‍රහාරය සීමා සහිතව සිදුකිරීමට එකඟතාවයකට පැමිණ ඇත. විශාල වශයෙන් ජනතාව සිටින ප්‍රදේශ ඉලක්ක නොකොට ඉරාන ප්‍රහාරය දියත් වූ අතර එල්ල කරන ලද මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර රාශියක් ද ඇමරිකානු හමුදා සහය මත ව්‍යර්ථ කර ඇත. නැවත මෙම ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කිරීමට සැලසුම් කල ප්‍රහාරය, එක්සත් ජනපදයේ බලපෑම මත සීමාසහිත ප්‍රහාරයක් ලෙස අප්‍රේල් 19 දින ඉරාන රේඩාර් පද්ධතියක් ඉලක්ක කොට එල්ල කර ඇත.
[1] US President Joe Biden “encouraged” Israel’s Prime Minister Benjamin Netanyahu during a phone call last week to “design” a retaliatory attack against Iran that would “deter future attacks against Israel,” a senior US administration official said.
[2] We urge Iran to cease its attacks on Israel so that this cycle of fighting can end without further escalation," US National Security Council spokesman Sean Savett told reporters.
මෙවැනි ක්‍රියාමාර්ග වලින් පැහැදිලි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට මේ මොහොතේ ඉරානය සමඟ යුද්ධයකට පැටලීමට තරම් අවශ්‍යතාවයක් නොමැති බවයි. යම් හෙයකින් ඊශ්‍රායලය ඉරානය සමඟ දීර්ඝකාලීන යුද්ධයකට පැටලුනහොත් එක්සත් ජනපද සහය නොමැතිව එය ඊශ්‍රායලයට කිසිදා ජයගත නොහැකි මර උගුලක් බවට පත්වනු ඇත.

No comments :