රඹුක්කන - කඩුගන්නාව කඳුකර දුම්රිය මාර්ගය
කොළඹ - නුවර දුම්රිය ගමනේ වඩාත්ම ආකර්ෂණීය කොටස විය යුත්තේ රඹුක්කන දුම්රිය ස්ථානය පසුවී ආරම්භ වී කඩුගන්නාව දක්වා දිවෙන කඳුකර මාර්ගයයි. දුම්රියෙන් කොළඹ - නුවර යෑමට පටන්ගත් මුල් කාලයේ මා වඩාත්ම ප්‍රිය කලේ ඈත දර්ශනය පෙනෙන අසුනක ගමන් කිරීමටය. ගස් කොළන් වලට මැදි වූ මාර්ගයෙන් ඉදිරියට ඇදෙන දුම්රිය උස් බිමකට පැමිණ ඈත පෙනෙන භූමි දර්ශනයට විවෘත වෙයි. ඉන්පසු පහළින් පෙනෙන කුඹුරු යාය, කුඩාවට පෙනෙන ඉදිකිරීම්, ඈතින් පෙනෙන කඳුවැටි, කඳු මුදුන්වල ගෑවෙන වලාකුළු ආදියෙහි චමත්කාරය විඳිමින් ගමන් කල හැකිය. දිගට පැතිරෙන අපිළිවෙල හැඩයෙන් යුතු කඳුවැටි අතරින් ජ්‍යාමිතික හැඩයකින් දිස්වෙන බතලේගල කන්දට සුදු ජාතිකයන් බයිබල් රොක් ලෙස නම් තැබීමේ හේතුව පැහැදිලිය.
ඈත දර්ශනය මනාව පෙනෙන අන්තයේ අසුනක් ලැබිම සෑම විටම සිදුවන දෙයක් නොවේ. ඇතැම්විට සිදුවන්නේ පර්වතය පැත්තට වන්නට අසුනකට බර වීමටය. එයට මුලදී එතරම් ප්‍රියතාවයක් නොවුනත් පසුව එහි සෞන්දර්යක් දැනෙන්නට විය. ජනෙල් කවුළුවෙන් මදක් එළියට එබී ඉහළ බලන විට පෙනෙන ගස් කොළන් වලින් වැසුණු පර්වතය ඉහළට දිවෙයි. අතරින් පතර මතුවන කළු ගල් උඩින් ගලා යන සීතල දිය සීරාව, ගස් මැදින් පෙනෙන කුඩා නිවාස, අඳුර මුසු වූ පරිසරය, බිං ගෙයක් කෙලවරින් වැටී විසිරී යන දිය පහරවල් ආදිය දෙස බලාගෙන යෑමට මා කැමැත්තක් දක්වන්නට විය. ඇතැම්විට පාපුරුවට වී දුම්රිය දෙසට නැවුණු ගසකින් කොළයක් කඩා ගැනීමට ද උත්සහ දරයි. වැසි දිනයක නම් දිය සීරාවේ වේගය වැඩිය. අනෙක් පසින් පෙනෙන ආලෝකයට වඩා තුරු වදුල මවන මද අඳුර දෑසට ප්‍රිය ජනක විය. අනෙක් පසින් දැනෙන ප්‍රහර්ෂය වෙනුවට මේ පසින් දැනෙන ගුප්තභාවයට ආශක්ත වුනෙමි. ඒ පස ඇත්තේ හදවත විකසිත වන ප්‍රීතියයි. මේ පස ඇත්තේ හදවත බර වන ශෝකයයි. දුම්රිය එන්ජිම නවතා දැමුවේ එම හැඟීම් වලට නිහඬතාවය ද මුසු කරගත හැකිය. හාත්පස අඳුරේ ගිල්වා දමමින් බිං ගෙයකට කඩා වඳින දුම්රිය මේ හැඟීම් ගලායාම මොහොතකට නවතාලයි.

No comments :