නූතන වැදි සමාජය

 


පැරණි මූලාශ්‍ර වලට අනුව වැද්දන් පිටත සමාජය සමඟ පවත්වා තිබුණේ සීමිත සම්බන්ධතා ප්‍රමාණයකි. වනාන්තරය විසින් වැදි භූමිය හා පිටත සමාජය අතර පරතරය ආරක්ෂා කර දී තිබුණි. කුමක්හෝ පොතක සඳහන්ව තිබුණේ ලුණු, ඊතල වැනි දෑ අවශ්‍ය වන විට වැද්දන් සිදුකරන්නේ තමන් වනයෙන් සොයාගන්නා මී පැණි, දඩමස් ආදී නිෂ්පාදන රැගෙන ගම්මානය ආසන්නයට පැමිණ යම්කිසි රහසිගත ආකාරයකින් එම ගණුදෙනුව සිදුකර ගැනීමය. වැදි ජනතාවගේ සාම්ප්‍රදායික ජීවන රටාව වෙනස් වීමට හේතු සාධක පැන නඟින්නේ වැදි වාසභූමි වලට එපිටින් සිදුවන සංවර්ධනය ඔවුන්ට ද බලපෑම් කිරීමට පටන් ගැනීමෙන් පසුවය. සංවර්ධන ක්‍රියාවලිය සඳහා වැදි ජනයාගේ වාසස්ථාන ව පැවති වනාන්තර ගොදුරු වනවිට, ඔවුන් හා පිටත ලෝකය අතර තිබුණු පරතරය ද බිඳ වැ⁣ටීමට පටන් ගැණුනි. එම බිඳ වැටීමෙන් පසුව වනාන්තරයෙන් සපුරාගත් අවශ්‍යතාවයන්ට අමතරව පිටත සමාජය විසින් ඔවුනට අලුතෙන් හඳුන්වාදුන් අවශ්‍යතා රාශියක් ද එකතු විය.


වනාන්තරය හා බැඳුණු ජීවන රටාව අහිමිවීම යනු ඔවුන් වැද්දන් බවට පත්වන සාරය ක්‍රමයෙන් ක්ෂය වී ගොස් සංස්කෘතික පරාරෝපණයට ලක්වීමය. ඉන්පසුව ඔවුන්ට සිදුවන්නේ පිටත සංස්කෘතියට, සමාජ අවශ්‍යතා හා පරිභෝජන පුරුදු වලට අනුගත වීමට හා ඒවා සපුරා ගැනීමට කටයුතු කිරීමටය. වනාන්තරයේ සම්පත් තුලින් ඒවා සපුරා ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් උපයා ගැනීමට හැකියාවක් නොමැති නිසා ඉන්පසුව සිදුවන්නේ පිටත සමාජයෙන්ම මුදල් උපයා ගැනීමේ මාර්ග සඳහා යොමුවීමය. ඒ සඳහා වූ විවිධ ක්‍රම දැකගත හැක. එකක් නම් පිටත සමාජය හා මුසුවී තම වැදි අනන්‍යතාවය දියකර දමා, විධිමත් අධ්‍යාපනයකින් හෝ වෘත්තීය පුහුණුවකින් පසුව ශ්‍රම වෙළඳපොලට සම්බන්ධ වී මුදල් ඉපැයීමය. තවත් ක්‍රමයක් නම් තම අනන්‍යතාවයෙන් හා සංස්කෘතියෙන් සම්පූර්ණයෙන්ම විතැන් නොවී එය වෙළඳ භාණ්ඩයක් බවට පත්කර අලෙවි කිරීමය. එය පළමු ක්‍රමය තරම් වෙහෙස මහන්සි වී කලයුතු දෙයක් නොවේ. නමුත්, එය ඔතන්ටික් ආකාරයෙන්ම විකිණීමට අවශ්‍ය ස්භාවික සම්පත් වනාන්තරයෙන් ක්ෂය වී ගොස් ඇති නිසා ඊළඟට සිදුවන්නේ එයට ව්‍යාජත්වය මුසු කිරීමට සිදුවීමය.


මුල් කාලයේ මෙයට යම් උපකාරයක් ලැබෙන්නේ පිටත සමාජය, විශේෂයෙන්ම නාගරිකයන්, වැද්දන් තවමත් ඔතන්ටික් වැදි දිවිය පවත්වා ගෙන යනවාය යන පරිකල්පනීය හැඟීමකින් පසුවීමය. එනම්, නාගරිකයන්ට, වැද්දන් මුණ ගැසෙන සීමාවෙන් එපිට ඇති මහා වනාන්තරයක ඔතන්ටික් වැදි භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇති බවත්, වැද්දන් හරහා ඒවා ලබාගත හැකිය යන අදහසත් ඇති වී තිබුණි. නමුත්, නගරයෙන් එන සියලු දෙනාටම 100% පිරිසිදු මීපැණි, ගම්මාලු හෝ ඇත්දළ ලබාදීමට තරම් සම්පත් වනාන්තරය තුල ඉතිරි වී නොමැති නිසා වැද්දන්ට තම වෙළදාම දිගටම පවත්වා ගැනීමට වෙනත් ආදේශක යොදාගැනීමට සිදුවිය. භාණ්ඩවල පිටත පෙනුම පමණක් ඔතන්ටික් ස්භාවය පෙන්වීමට ප්‍රමාණවත් නොවුනු නිසා ඔවුන්ට සිදුවූයේ රැවුල් කොණ්ඩා, පොරව, හා වැදි භාෂාව ආදී ලෙස තම සංස්කෘතික අනන්‍යතාවයත් ඉදිරියෙන් තබාගෙන වෙළදාම සිදුකිරීමය. 


අවසානයේ වැදි ජනයාට සිදුව තිබෙන්නේ තමන්ගේ සාම්ප්‍රදායික ජීවන රටාව අහිමි කල හා අලුත් පරිභෝජන පුරුදු හඳුන්වාදුන් පිටත සමාජයම රවටමින් ජීවිතය ගෙවා දැමීමටය. මේ වනවිට පිටත සමාජය වැද්දන්ගේ මෙම උපක්‍රම ගැන දැනුවත් වී හමාරය. පහත මීමයෙන් දැක්වෙන්නේ එවැනි අදහසකි. එය කොතරම් ද යත් වැදි භාෂාවෙන් කතා කරන වැද්දෙක් උපහාසයට ලක්වන මට්ටමට පැමිණ ඇත. මෙම ප්‍රදර්ශනාත්මක වැඩපිළිවෙළත් නොමැති වුවහොත් වැදි ජනයාට සිදුවන්නේ තමන්ගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමටය. එමනිසා මෙතරම් දෙයක් සිදුවීමෙන් පසු, තමන්ගේ ඉතිරිව ඇති සංස්කෘතික සාරය ද උපහාසයට ලක්කිරීම නිසා වන්නියලැත්තන් කෝපයට පත්වීම සාධාරණය.

නූතන වැදි සමාජය නූතන වැදි සමාජය Reviewed by Fox Talks on 10:52 AM Rating: 5

No comments :

Powered by Blogger.