නූතන ගොවිතැන හා නිර්වාණය


සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගතව ජීවත්වන සිංහල බෞද්ධයෙකුගේ අවසාන අභිමතාර්ථය නිර්වාණයයි. එයින් අදහස් වන්නේ සිංහල බෞද්ධයන් සෑමදෙනාම තම දෛනික හැසිරීම තුලදී මේ ජීවිතයේදී ම නිර්වාණය සාක්ෂාත් කිරීමට කටයුතු කරනවා කියා නොවේ. නමුත් නිරතවන ක්‍රියාවන්ට අනුව එම ක්‍රියාවන් නිසා තමා නිර්වාණයට සමීප වනවාද එයින් දුරස් වනවාද කියා විනිශ්චයක් ඔවුන්ට වෙයි. එම ක්‍රියාවන් කවදාහෝ සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වන නිර්වාණයකට බලපෑමක් ඇතිකරන බවට විශ්වාසයක් ද වෙයි. මා සිතන ආකාරයට සමස්ථයක් වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය තුල සියලු දෑ අවසාන වශයෙන් නිර්වාණය කේන්ද්‍ර කොටගෙන නිර්මාණය වී තිබේ.

අපගේ පාරම්පරික ගොවිතැනේ දී කෘමි සතුන් ඝාතනයට අනුබල නොදුන්නේ ද වගා පාළුව නමින් වනසතුන්ට කොටසක් වෙන් වන්නේ ද සත්ව ඝාතනය/හිංසනය තුලින් නිර්වාණයෙන් ඈත්වන බවට ඇති විශ්වාසය නිසාය. බෞද්ධයන්ට යුද්ධ කල හැකිද යන සුලබ ප්‍රශ්නය ඇසෙන වටපිටාවක් තුල එයට දියහැකි සංගත පිළිතුර වන්නේ යුද්ධයක දී සිදුවන මනුෂ්‍ය ඝාතනවලදී නිර්වාණයෙන් ඈත් කරවන සත්ව ඝාතන අකුසල කර්මයන් සිදුවන නමුත් ආක්‍රමණිකයන්ගෙන් රට රැකගැනීම තුලින් බුද්ධ ශාසනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිබන ප්‍රබල හැඟීම නිසා නැවත සිංහල බෞද්ධයා නිර්වාණයට සමීප කරවන බවයි.

අපගේ සාම්ප්‍රදායික ගොවිතැන බටහිර ෆාමින්ග් (farming) හෝ ඇග්රිකල්චර් (agriculture) වැනි සංකල්ප වලට වඩා වෙනස් වෙයි. බටහිර ෆාමින්ග් සමඟ භෝග වගාව මෙන්ම මස් පිණිස සතුන් ඇතිකිරීම ද බැඳී පවති. එහෙත් අපේ ගොවිතැන තුල සත්ව ඝාතනයට අනුබල දීමක් සිදුනොවේ. හැත්තෑව දශකය තෙක්ම ගොවිතැනට කෘෂි නාශක භාවිතයක් හෝ තිබුණේ ද නැත. නමුත් අද වනවිට අපේ ගොවිතැනත් විශාල වශයෙන් සත්ව ඝාතනය වන ක්‍රියාවලියක් බවට පත්වී ඇත. සේනා දළඹුවන් මරා දැමීමෙන් තොරව වගාව ආරක්ෂා කරගැනීමට නොහැකි වී ඇත. අද ගොවිතැන එදා සිංහල බෞද්ධ සංස්කෘතියේ ආභාෂයෙන් ගොඩනැඟුන ගොවිතැන නොවේ. එය සිංහල බෞද්ධයන් නිර්වාණයෙන් අෑත් කරවයි.

නූතන ගොවිතැන හා නිර්වාණය නූතන ගොවිතැන හා නිර්වාණය Reviewed by Fox Talks on 5:06 AM Rating: 5

No comments :

Powered by Blogger.