බදුර්දීන් - සොබාදහමට එරෙහි විනාශකාරීත්වයේ සංකේතය

ඇතැම් අය සිතනවා පෙනෙන්නේ වැසි නොලැබීම, උෂ්ණත්වය ඉහළයාම ආදී සකලවිධ පාරිසරික වෙනස්වීම් වලට හේතුව විල්පත්තුවේ, සිංහරාජයේ සිදුවන වන විනාශයන් පමණක් බවයි. පරිසරයේ ඇතිවී තිබෙන අසමතුලිතතාවයට එරෙහි ඔවුන්ගේ දෝෂාරෝපණය ⁣බොහෝවිට "කාන්තාරයක් වෙනකම් තව ගස් කපපල්ලා" යන කියමනෙන් අවසන් වෙයි. ඔවුන් කල්පනා නොකරන්නේ අප අනුගතව සිටින නූතන ජීවන රටාවම පරිසරය විනාශයට හේතු වන බවයි. අප සැමවිටම උත්සහ කරන්නේ මේ පරිභෝජනවාදී ජීවන රටාව තුල තවදුරටත් සැප පහසුකම් තුල කිමිදීමටය. අතේ දුරින් සුපර් මාකට්, රේස්ටූරන්ට්, ෂොපින් මෝල් තිබෙනවානම් අප තෘප්තිමත්ය. අපගේ ජීවිත වලට තව තවත් ලෞකික සුවපහසුව ඇතුල් වීම නිසා ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ ස්භාවික පරිසරයට හා සතා සිවුපාවුන්ට ය. විල්පත්තු වන විනාශයට එරෙහිව ප්‍රෝෆයිල් පින්තූර මාරු කර පරිසර සංරක්ෂණයට අවශ්‍ය තමාගේ යුතුකම ඉටුකළ කී දෙනෙක් පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් තමාගේ සුව පහසුව අහිමි කරගැනීමට කැමති වෙයි ද? එසේ කැමති වන අයෙකුට වුවත් සැබෑ පරිසර හිතකාමී ජීවන රටාවකට යොමුවීමට අවස්ථාවක් ඉතිරි ව තිබේද?

මේ මොහොතේ බදුර්දීන් යනු පරිසර විනාශයට අපගේ සකලවිධ දායකත්වයන් වෙනුවෙන් බිල්ලක් බවට පත්ව ඇති පුද්ගලයා ය. සොබාදහමට එරෙහි විනාශකාරීත්වයේ සංකේතය බවට පත්ව ඇත්තේ ඔහුය. මෙය බදුර්දීන් සිදුකරන වන විනාශයෙන් ඔහුව නිදොස් කිරීමට ගන්නා උත්සහයක් නොව ඔහුව පමණක් බිල්ලට දී අපගේ හෘද සාක්ෂිය පිරිසිදු කරගැනීමේ නොහැකියාව පෙන්වා දීමකි. අපගේ අවශ්‍යතාවයන් සැපිරීමට වනාන්තර එළි පෙහෙලි වන්නේ, ඉන්ධන දහනය වන්නේ, බල ශක්තිය වැය වන්නේ අප රටේම පමණක් නොවුනත් ලෝකයේ කොහේ හෝ සිදුවන ඒ ක්‍රියාවලියන් නිසා සමස්ථ පරිසරයට ඇතිවන බලපෑම් දැන් ඇතිවී තිබෙන පාරිසරික අසමතුලිතතාවයන්ට හේතුවිය හැකිය. මේ වනවිට සැබෑ පරිසර සංරක්ෂණයට හෝ පරිසරයේ පවතින විෂමතා ඉවත් වී නැවතත් සාමාන්‍ය තත්වයට පත්කර ගැනීමට අපට ලබාදිය හැකි සැබෑ දායකත්වය පවතින්නේ ඉතා අවම මට්ටමකින්ය. ඒ සඳහා අපගේ සමස්ථ ජීවන රටාවම උඩු යටිකුරු වන සුසමාදර්ශ වෙනසකට යා යුතුය. පෙනෙන අනාගතයක දී එය කිසිසේත්ම සිදු නොවන නිසා අපට සිදුවන්නේ පරිසර සංරක්ෂණය සම්බන්ධ ජනප්‍රිය පැලැස්තර විසඳුම් වලට සහභාගී වීම පමණකි. බදුර්දීන් වැන්නන්ගේන් වන විනාශයක් සිදුවුවත්, මේ මොහොතේ පරිසර සංරක්ෂණය පිළිබඳ අපගේ සංවේදීතාවය පෙන්වීමට හා පරිසර විනාශයට අපගේ දායකත්වය නිසා ඇතිවන වරදකාරීත්වයේ හැඟීම නැති කරගැනීමට ඔහු වැන්නෙකුගේ පැවැත්ම අවශ්‍ය වේ. බදුර්දීන් නොමැතිනම් පරිසර විනාශයන්ට වරද පැටවීමට කෙනෙක් නොමැතිව අප පත්වෙන අපහසුතාවය ගැන සිතා බලන්න.
බදුර්දීන් - සොබාදහමට එරෙහි විනාශකාරීත්වයේ සංකේතය  බදුර්දීන් - සොබාදහමට එරෙහි විනාශකාරීත්වයේ සංකේතය Reviewed by Fox Talks on 5:24 AM Rating: 5

No comments :

Powered by Blogger.