ප්‍රදර්ශනකාමී පරිභෝජනය රෝග ලක්ෂණයක් ලෙස


මිනිසුන් තම ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් කැප කරන්නේ තමාගේ පරිභෝජනය සදහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ඉපැයීමටය. පරිභෝජනවාදයේ දී භාණ්ඩ මිලදි ගැනීම දෛනික ජීවිතයේ අර්ථාන්විත භාවිතයක් බවට පත්වී ඇත. ඇතැම්විට අප භාණ්ඩයක් මිලදී ගන්නේ එහි ඇති උපයෝගී වටිනාකම (Utility value) නිසාම පමණක් නොව එම භාණ්ඩය අත්පත් කරගැනීම හරහා සමාජයේ යම්කිසි අනන්‍යතාවයකුත් (Identity formation) ගොඩනගා ගැනීමට හැකියාවක් ලැබෙන නිසාය. එම භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ඉපයීමට අප වෙහෙසකර හා සංකීර්ණ රැකියාවන්වල නිරත වෙයි. ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධව සිටින්නන්ගේ තත්වයත් බොහෝදුරට එයයි. මෙය සෑමදෙනා කෙරෙහිම සත්‍ය නොවුවත් තමා කරන රැකියාව සම්බන්ධයෙන් තෘප්තිමත්ව කතා කරන පිරිස සමාජයේ විරලය.

වෙහෙසකර, සංකීර්ණ, අතෘප්තිකර රැකියාවක් සතියේ දිනපහ පුරාම කරන පුද්ගලයෙකු සතිඅන්තයේ ලැබෙන විවේකයකදී ඒකාකාරී රැකියාව නිසා ඇතිවන වෙහෙස මඟ හරවා ගැනීමට සුදුසු ක්‍රියාකාරකමකට යොමු වෙයි. මෙම ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ සැබෑවටම ඒවායේ යෙදීමට ඇති අවශ්‍යතාවයකටත් වඩා තමන්ගේ නීරස ජීවන රටාව රෝගී තත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීමටය. එමනිසා සතිඅන්තයේදී අප රිලැක්ස් වීමට තීරණය කරන්නෙමු. කොත්තු රෝටී හෝ ප්‍රයිඩ් රයිස් සමඟ කොකාකෝලා පමණක් කෑමට නොදෙන හෝටලයකට ගොස් කාබී අලුත්ම ත්‍රිමාණ චිත්‍රපටයක් නැරඹීමට යාමට යොමුවන්නේ එ් නිසාය. මෙය සැබෑවටම තමන්ගේ අභ්‍යන්තර ආශාවක් නිසා කරන දෙයකටත් වඩා අපට කොහෙදෝ සිට ලැබෙන විධානයකට අනුව ක්‍රියාත්මක වීමකි.

" උඹ දැන් දවස් පහක් රෑ දවල් නැතුව වැඩ කරා නේද? දැන්වත් පවුලේ අයත් එක්ක හරි යාළුවෝ එක්ක හරි එළියට ගිහින් සීෆුඩ් රෙස්ටූරන්ට් එකකින් කාලා ත්‍රීඩී ෆිල්ම් එකක් බලලා ටිකක් රිලැකස් වෙයන්, පුළුවන් තරම් අනික් මිනිස්සු දැකලා නැති කෑම කනවනන් හොඳයි. මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් හරි කෑමසූත්‍ර එකට හරි පලයන්. ගණන් වැඩි තමයි ඒත් කොහොමහරි ගිහින් වියදම් කරපන්. සඳුදා ඉදන් ආපහු වැඩ. ගිහින් නිකම්ම නිකන් කාලා එන්ඩ එපා. සෙල්ෆියක් ගහලා ඉන්ස්ටග්‍රෑම් දාපන්. අනික් අයට පෙන්නපන් උඹ ඉහළ මිලදී ගැනිමේ හැකියාවක් තියෙන ලයිෆ් එක එන්ජෝයි කරන කෙනෙක් කියලා. නැත්තම් උඹ වියදම් කරන එකට හරි වටිනාකමක් ලැබෙන්නේ නෑ "

පරිභෝජනවාදී සමාජයක සිටින නාසිස්ම පුද්ගලයන්ට (narcissistic subjects) අනෙකාගේ දැක්මට ලක් නොවී හුදු පරිභෝජනයෙන් පමණක් පරිපුර්ණ තෘප්තියක් ලඟා කරගැනීමට නොහැකි වෙයි. එමනිසා සෑමවිටම තම පරිභෝජනයට සුදානම් කර ඇති බියර් වීදුරැව, කෝපි කෝප්පය, සැන්ඩ්විච් පෙත්ත තම අනෙකාගේ ඇස ගැසෙන අවකාශයකට අප්ලෝඩ් කලයුතුය. එයට ලැබෙන ලයික් හෝ කොමෙන්ට් ගණන මගින් පරිභෝජනයෙන් ලැබෙන තෘප්තිය තවදුරටත් ඉහළ නංවයි. ඔවුන් සිතන්නේ, මාගේ පරිභෝජන පුරැදු පිළිබදව ඇති දැනුවත්භාවය මට පමණක් සීමා නොවිය යුතුවනවා සේම එය අනෙකාටද ඒත්තු ගැන්විය යුතුයි කියාය. පරිභෝජනයෙන් මට ලැබෙන තෘප්තිය පරිපුර්ණ තෘප්තියක් වන්නේ එවිටය. එමෙන්ම ඒ හරහා මාගේ අනන්‍යතාවය ගොඩනඟා ගැනීමටද අවස්ථාවක් ලැබේ.

මෙය තවදුරටත් පැහැදිලි කිරීමට තමා බඩඉරිඟු කරලක් කියා සිතා සිටින මිනිසාගේ කතාව යොදාගත හැකිය. ඔහු වෛද්‍යවරයකු මුණ ගැසී තමාගේ තත්වය ගැන පැහැදිලි කරයි. දිර්ඝ කරැණු පැහැදිලි කිරීමකින් පසුව වෛද්‍යවරයාට ඔහු බඩඉරිඟු කරලක් නොවන බවට ඒත්තු ගැන්වීමට හැකිවේ. තමා බඩඉරිඟු කරලක් නොවේ යන අවබෝධයෙන් එම ස්ථානයෙන් පිටව යන මිනිසා ටික වේලාවකින් පැමිණ වෛද්‍යවරයාට පවසන්නේ පාරේ යනවිට කුකුළෙක් හමුවු බවත් ඌ තමන්ව කා දමයි කියා බියක් ඇතිවු බවත්ය. පුදුමයට පත් වෛද්‍යවරයා ඇසුවේ ඔබ දැන් බඩඉරිඟු කරලක් නොවේ කියා ඔබ දන්නවානේ, ඒ තියද්දී ඇයි කුකුළා ඔබව කා දමයි කියා බය වෙන්නේ. මිනිසා ආපිට ඇසුවේ තමා බඩඉරිඟු කරලක් නොවේ කියා තමන් දන්නවා වුනාට පාරේ සිටින කුකුළන් එය දන්නවාද කියාය.

මෙය කිසියම් විකාරරූපී කතාවක් ලෙස පෙනී යාහැකි බැවින් මෙහි බඩඉරිඟු කරල අපගේ සංකේතික අනන්‍යතාව (symbolic identity) ගොඩනගා ගැනීමට උපකාරීවන යම්කිසි ගුණයකට ආදේශ කර බලමු. ඔබට අවශ්‍ය ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමටය. ඔබ සතිඅන්තයේ ඉහළ පෙලේ හෝටල් වලට ගොස් කාබී ප්‍රීති වෙයි. එයින් ඔබ අසතුටින් සිටින්නෙක් නොවන බව තහවුරැ කරගනී. එනම් ඔබ බඩඉරිඟු කරලක් නොවන බව ඔබ දනී. නමුත් එය පමණක් ප්‍රමාණවත් නොවේ. ඔබ දන්නා දේ සත්‍යයක් බවට පත්වීමට නම් එය යම්කිසි සංකේතික ආයතනයකට (symbolic institution) ඒත්තු ගැන්විය යුතුය. ලැකානීයානු අර්ථයෙන් නම් ඔබ එය මහ අනෙකාට (big Other) ඒත්තු ගැන්විය යුතුය. තමා ප්‍රීතිමත් පුද්ගලයෙක් යන හැඟීම පරිපුර්ණ වන්නේ එවිටය. එමනිසා තමාගේ නීරස දෛනික ජිවන රටාව හා බැදී පවතින ස්ථානයන්ගෙන් පිටතට ගිය සැනින් ෆේස්බුක් චේකින් එකක් දැමීම හෝ ෆොටෝ කිහිපයක් අප්ලෝඩ් කර එම එ්ත්තු ගැන්වීම සිදුකරයි.

ප්‍රදර්ශනකාමී ලෙස පරිභෝජනයේ යෙදෙනනෙක් තම මිලදී ගැනීම තුලින් අනන්‍යතාවයක් ගොඩනගා ගන්නවා සේම යම්කිසි රෝග ලක්ෂණයක් දක්වා වර්ධනය වී ඇති මේ හැසිරීම වෙළද ආයතන තම නිෂ්පාදන අලෙවිය වැඩිකර ගැනීම සඳහාද යොදාගනී. Starbuck සමාගමේ Pumpkin Spice Latte (PSL) නම් කෝපි පානය සලකා බලමු. මෙම පානයේ ඇති වැදගත් ලක්ෂණයක් නම් එය මිලදී ගැනිමට හැකිවන්නේ අවුරැද්දේ එක් කාලසීමාවක් තුලදී පමණක් වීමයි. සාමාන්‍ය Latte කෝපි කෝප්පයකට වඩා එය සුවිශේෂී වන්නේ Pumpkin spice sauce නම් රසකාරකය එයට එකතු කොට තිබීමයි. කෝපි අවන්හලකට ගොස් PSL කෝපි කොප්පයක් ඇනවුම් කරන පුද්ගලයෙක් කෝපි කෝප්පය සහිත පින්තූරය සමාජජාලයකට එක්කොට මෙසේ කියයි.

" නැවතත් PSL කෝපි බොන කාලය ඇවිල්ලා. ශරත් සෘතුවේ උදෑසන විස්කෝතුවක් සමඟ PSL කෝපි කෝප්පයක් බොනවා තරම් ප්‍රබෝධමත් දෙයක් තවත් තිබිය හැකිද? "

පරිභෝජනයේ යෙදෙන්නෙකු කෝපිවල pumpkin spice නමින් එළවළුමය සාරයක් පිළිබද පරිකල්පනීය අදහසක් ඇතිකරගෙන සිටි නමුත් සැබෑවටම වට්ටක්කා වලින් ලබාගත් යොදයක් එහි අඩංගු වන්නේ නැත. එමෙන්ම ඒ කෝපි පානය වසරේ එක් කාලයකට පමණක් සීමා කරන්නේ වසරේ අනෙක් කාලවලදී එය සැපයීමට ඇති නොහැකියාවක් නිසා නොව අලෙවිකරණ උපායක් ලෙසය. යම් නිෂ්පාදනයක් වසරේ එක් කාලයක පමණක් විකිණීම මගින් එය එම කාලයට පමණක් සීමා වු දෙයක් යන අදහස ඇතිකරවා වැඩි පාරිභෝගිකයන් ප්‍රමාණයක් ආකර්ෂණය කරවා ගත හැක. ඉහත ප්‍රදර්ශනකාමී ලෙස කෝපි කොප්පය පානය කරන්නා එම මිලදී ගැනීම තුලින් තෘප්තිමත් වී තිබෙන්නේ එම කෝපි කෝප්පය තුල සැබෑවටම අඩංගුවී නැති ගුණාංග දෙකක් මගිනි. නමුත් PSL කෝපි කාලය එලඹෙත්ම ඉන්ස්ටාග්‍රෑම් වැනි සමාජජාලා කෝපි බී තෘප්තිමත් වූවන්ගේ පෝස්ට් වලින් පිරියයි. #psl #pumpkinspicelatte


ප්‍රදර්ශනකාමී පරිභෝජනය රෝග ලක්ෂණයක් ලෙස ප්‍රදර්ශනකාමී පරිභෝජනය රෝග ලක්ෂණයක් ලෙස Reviewed by Fox Talks on 7:05 AM Rating: 5

No comments :

Powered by Blogger.