චතුර සේනාරත්න තේරුම් ගැනීම



චතුර සේනාරත්න පහුගිය දවස්වල රෑපවාහිනී සාකච්ඡා වල කියපු දේවල් ගැන පුවත්පතක් කරපු විමසීමකදි, අර ආන්දෝලනාත්මක සිදුවීම් සම්බන්ධව කරපු පැහැදිලි කිරීම් ටිකක් පහල තියෙන්නේ. ඒ කතාවල තියෙන්නේ අතිශයෝක්තියක් කියලා කියන අයට යාථාර්තය මොකක්ද කියලා පැහැදිලි කරන්න ලඟදීම ඒ සිදුවිම් සම්බන්ධ සාක්ෂි සහිතව ග්‍රන්ථයක් එළිදක්වන්නත් බලාපොරොත්තු වෙනවා කියලත් ඔහු කියලා තිබුණා.

විජය කුමාරතුංගට සහයෝගය පලකරමින් මොන්ටිසොරියෙදි පෙළපාලි ගිය සිද්ධිය.

" ඉතිං පුංචි කාලේ විජය කුමාරතුංගයන් විතරක් නෙමෙයි, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, යශෝදරා, විමුක්ති මේ හැමෝම අපේ පවුලේ අය වගෙයි හිටියේ. ඉතිං පරිසරය තුල දම්පාට කොඩි අපේ ගෙදරට ආගන්තුක නෑ. ඒවා හැම වෙලාවෙම අපේ අතේ. කොහොමහරි දවසක් මම මේ කොඩි අරගෙන මොන්ටිසෝරියට ගිහින් ළමයින්ගේ අතට දීලා "විජයට ජයවේවා" කියලා කෑගහලා තිබුණා. පුංචි ළමයි වැඩිහිටියන්ව අනුකරණය කරන්නේ නැද්ද ? "

චන්ද්‍රිකා කුමාරතුංග සමඟ බැංකුවට යාම.

" ඒ වගේම ඔය කාලේ චන්ද්‍රිකා මැතිණිය ලංකාවේ හැමතැනකටම ගියේ මගේ අම්මා එක්ක. මේ ගමන්වලට මමත් සම්බන්ධ වුණා. බැංකුවට ගියෙත් එවැනි අවස්ථාවක තමයි. ඒ කාලේ බහුජන නිදහස් පෙරමුණේ වැඩවලට චන්ද්‍රිකා මැතිණිය එක්ක එකම වාහනේ ගියේ මගේ අම්මයි මමයි. අනික පුංචි මාව ගෙදර දාලා යන්නත් අම්මලා කටයුතු කරේ නෑ. "

ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ දේශපාලන හේතුන් මත ශිෂ්‍ය නායක ලාංජනය ඉවත් කිරීම.

" ඔව්.. ඔය කාලයේ මේ රටේ තිබුණ දේශපාලන පරිසරයත් එක්ක මම පන්ති කාමරයේ ප්‍රේමදාස මහත්තයට එරෙහිව කෑ ගැහුවා. එතකොට මම ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයෙක්. ඉතිං මේ සිදුවීම නිසා මාව ප්‍රාථමික අංශයේ විදුහල්පති කාමරයට ගෙන්නලා අවවාද කරලා ලාංජනය ගැලෙව්වා. මම මේ කතාව කලේ මගේ පියා රැස්වීමක කළ කතාවක කෑලි ටිකක් අල්ලගෙනයි. මම ප්‍රේමදාස මහත්තයට වන්මෑන් ෂෝකාරයෙක් කිය කිය කෑ ගැහුවා. ඕක තමයි ඔය සිද්ධිය. "

මේවා අහද්දී චතුර සේනාරත්න ඇත්තටම මේ සිද්ධි වලට සම්බන්ධයි කියලා හිතන්න පුළුවන්. ඒත් ඔහු ග්‍රන්ථයක් එහෙමත් එළිදක්වලා මේ සිදුවීම් සැබෑ ඒවා කියලා ඔප්පු කරන්න බලාපොරොත්තුවෙන් හිටියත්, මෙතන තියෙන අවුල මොකක්ද කියලා මේ කතාව කියවපුවහම තේරැම් යයි.

මට මතකයි මට අවුරැදු පහක විතර කාලේ ලොකු ඩෝසරයක් ඇවිත් ගමේ ඇළක් කපන විදිහ ආසාවෙන් බලන් ඉන්නවා. ඊට පස්සේ ගෙදර ඇවිත් ලී කොටයක් අරගෙන අර ඩෝසරෙන් ඇළ කපනවා වගේ පොළව හාරනවා. අවුරැදු විසි පහකට විතර පස්සේ මම ඔය සිද්ධිය වෙන කෙනෙකුට කියනවා මෙහෙම.

" මම වාරිමාර්ග ක්ෂෙත්‍රයට සම්බන්ධ වෙනකොට වයස අවුරැදු පහක් විතර ඇති. මට මතකයි, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ව්‍යාපෘතියකට තමා මම මුලින්ම සම්බන්ධ වෙලා හිටියේ. මට පැවරිලා තිබුන රාජකාරිය තමයි වගාබිම් වලට වතුර ගෙනයන ඇළක් ප්‍රතිසංස්කරණය කරන එක නිවැරදිව සිදුවෙනවද කියලා අධීක්ෂණය කරන එක. ඒ මහා වාරිමාර්ග ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා ලබාගත්ත අත්දැකීම් සම්භාරය නිසා පස්සේ කාලයකදී මට තනියම කුඩා වාරිමාර්ග ව්‍යාපෘති කිහිපයක් සාර්ථකව නිම කිරීමටත් හැකියාවක් ලැබුණා. "


චතුර සේනාරත්න තේරුම් ගැනීම චතුර සේනාරත්න තේරුම් ගැනීම Reviewed by Fox Talks on 8:30 AM Rating: 5

No comments :

Powered by Blogger.