අසම්මත අදහස් (unorthodox ideas)


ෆේස්බුක් හා බ්ලොග් අවකාශයේ අසම්මත යැයි පැවසෙන අදහස් සහිත ලියවිලි ඉඳහිට දක්නට ලැබේ. මේවා අසම්මත අදහස් වන්නේ ඒවා සම්මත සම්ප්‍රදායන්ට ප්‍රතිවිරුද්ධ අදහස් වලින් සකස් වී ඇති නිසා මෙන් ම බ්ලෝග් අඩවිවල නම් හා ඒවායේ හැඳීන්විම් හරහා ද රචකයන් තමන් අසම්මතයන් ලෙස හඳුන්වාදෙන නිසාය. රටේ සම්මත වී පවතින සම්ප්‍රදායන්, සංස්කෘතික අංග, අාගමික විශ්වාස යනාදියට විවේචනයන් එල්ලකර රැඩිකල් විකල්පයන් යෝජනා කිරීම ඒ අදහස් හරහා සිදුවේ.

මේ අදහස් විමර්ශනය කිරිමේ දී පෙනියන්නේ ඒවා දාර්ශනික න්‍යායන්ගේ අාභාෂයෙන් ද තොරව ලියවී ඇති බවය. එහි ඇති එකම න්‍යාය සම්මතයන්ට එරෙහිවීම පමණකි. සම්මතයට එරෙහිවීම නිසා ම ඒවා අසම්මත වී තිබේ. මෙය උදාහරණයක් මගින් පැහැදිලි කරගමු.

ලංකාවේ මිනිසුන් සාම්ප්‍රදායිකව උදෑසන බීමට පුරැදුවී සිටින්නේ රණවරා වැනි ඖෂධීය පානයක් යැයි සිතමු. දාර්ශනික න්‍යායන් පදනම් ව සම්ප්‍රදායන් විවේචනය කරන්නන්ට ලංකාවේ මිනිසුන් උදෑසන රණවරා බීම ගැන ඇත්තේ මෙවැනි අදහසකි.

" ලංකාව වගේ රටක මිනිස්සු තාම උදේට බොන්නේ රණවරා. ප්‍රංශය වගේ රටවල්වල මිනිස්සුට තියෙන්නේ උදේට කෝපි පානය කිරීමේ සම්ප්‍රදායක්. රණවරා වලින් කෝපි වලට මාරැ වෙන්න තරම් ලංකාවේ ආහාර සංස්කෘතියේ සුසමාදර්ශ වෙනසක් සිද්ධ වෙලා නෑ. ඇත්තටම දැන් ඒ රටවල්වල තියෙන්නේ පශ්චාත්-කෝපි පානය කිරීමේ සම්ප්‍රදායක්. පශ්චාත්-කෝපි තත්වය තුල ප්‍රංශ ජාතිකයන් කෝපි වලට කිරි, සිනී, චොකලට් වගේ දේවල් වලට අමතරව හර්බල් වර්ගත් එකතු කර ගන්නවා. "

ලංකාවේ දාර්ශනික විවේචකයන් ප්‍රංශයේ මෙන් එක්ස්ප්‍රෙ⁣සෝ, කැපචීනෝ වැනි කෝපි ජාති සාදා  මිනිසුන්ට පෙවීමට උත්සහ කරත් උදෑසන කෝපි බීමට ලංකාවේ මිනිසුන් හුරැ කරවා ගැනීමට තවමත් නොහැකිවී ඇත. උපරිමය තේ කහට හෝ කිරි තේ ය. අනෙකුන්ට කෝපි පෙවීමට උත්සහ කරන දාර්ශනික විවේචකයන් ගෙදර දී හකුරැ සමඟ කහට බොනවා ද විය හැකිය.

අසම්මතයන්ගේ අදහස වන්නේ,

" ලංකාව වගේ පසුගාමී, ගෝත්‍රික, රටක මිනිස්සු අවුරැදු දහස් ගානකට කලින් හිටිය වෙද මහත්තයෙක් කිව්වා කියලා තාම උදේට රණවරා බිබී ඉන්නවා. ඇයි උන්ට උදේ නැගිට්ට ගමන් අපි වගේ කොකාකෝලා බොන්න බැරි.  ස්කැන්ඩිනේවියානු රටවල්වල මිනිස්සු උදේට  කොකාකෝලා බොන්නේ හොඳට උණු කරලා,  අයිස් ක්‍රීම් එක්ක. උන් උදේට කොකාකෝලා බීලත් ලංකාවේ මිනිස්සුන්ට වැඩිය සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා. රණවරා බිබී ඉදලා අපි කවදා දියුණු වෙන්නද?  "

අසම්මතයන්ගේ අදහස් සම්මතයට එරෙහි වන්නේ ඒ ආකාරයටය.

අසම්මත අදහස් (unorthodox ideas) අසම්මත අදහස් (unorthodox ideas) Reviewed by Fox Talks on 8:03 PM Rating: 5

No comments :

Powered by Blogger.