පරිභෝජනවාදී කතරගමින් අධ්‍යාත්මික කැබලිත්තට


බුදු දහමට අනුව දෙවිවරැ කොටස් දෙකක් ඉන්නවා. ඒ මහේශාක්‍ය දෙවිවරැ හා අල්පේශාක්‍ය දෙවිවරැ කියලා. මහේශාක්‍ය දෙවිවරැ වැඩ ඉන්නේ සදෙව් ලෝකයේ. ඒ දෙවිවරැ මනුෂ්‍ය ලෝකයත් එක්ක එතරම් සම්බන්ධකම් පවත්වන්නේ නෑ කියලා කියනවා. කෙනෙකුට ඒ දෙවිවරැ සමඟ සම්බන්ධ වෙන්න, උදව් උපකාර ලබාගන්න අවශ්‍ය නම් දහමට අනුව කියවැන්නේ ශීලය ආරක්ෂා කලයුතුයි කියලා. භාවනාව දියුණු කරලා ඒ දෙවියන් සමඟ සම්බන්ධතා පවත්වන්නත් හැකියාවක් තියෙනවා. පන්සිල් රකින අයට ශක්‍රයා උදව් කරනවා කියලත් කියනවා.

අල්පේශාක්‍ය දෙවිවරැ වැඩ ඉන්නේ සශ්‍රීක දිව්‍යතල වල නෙමෙයි. ඒ අය ඉන්නේ මනුෂ්‍ය ලෝකය ආශ්‍රය කරගෙන. ගස්, පර්වත, කඳු වලට අරක්ගෙන ඉන්නවා කියන්නේ ඒ දෙවිවරැ. ඒ අයගෙන් උදව් උපකාර ලබාගන්න සිල් රකින්න අවශ්‍යමයි කියලා මතයක් නෑ. කිරි උතුරවීම, පොල් ගැසීම, පෙරහැර පැවැත්වීම, කන්නලව් කිරීම, කාවාඩි නැටීම වගේ දේවල් වලින් ඒ දෙවිවරැන් සතුටු කරලා උදව් උපකාර ගන්න පුළුවන් කියලා මිනිස්සු විශ්වාස කරනවා. ඒත් සමහර දේවාල පූජාවන්ට යන්න ඉස්සරලා මිනිස්සු දවස් ගානක් නිර්මාංශ වෙලා, පේවෙන සිරිතකුත් තියෙනවා. පේවෙන එකත් යම්කිසි ශිලයක් ආරක්ෂා කිරීම කියල කියන්නත් පුළුවන්.

මේක ටික දවසකට කලින් ආපු නිව්ස් එකක්. කතරගම පූජා නගරයේ දඩමස් කියලා බලුමස් විකුණලා අහුවෙලා තිබුණා. ආප්ප විකුණන ගෑණු කෙනෙක් දිගටම දඩමස් සපයලා තියෙනවා. හොයලා බලද්දී තමා දැනගෙන තියෙන්නේ මස් සපයපු මිනිහා දඩමස් කියලා දීලා තියෙන්නේ බලුමස් කියලා. දෙන්නා හවුලේ කරාද? ගෑණු කෙනා නොදැනුවත්ව වුනාද දන්නේ නෑ. දැන් මෙතන අවුල තියෙන්නේ දඩමස් කියලා දෙන්නේ බලුමස් කියලා කව්රැහරි හොයා ගත්ත එක. එහෙම වුනේ නැත්තන් කොළඹින් අරහේ මෙහෙන් යන කට්ටිය හොරෙන් හොරෙන් දඩමස් ටිකකුත් කාලා ආපහු ඇවිල්ලා පොඩි පම්පෝරියකුත් ගහනවා කතරගම ගිහින් අපිට සුපිරි බඩු ටිකක් හම්බවුනා කියලා. ඇත්තටම බැලුවොත් කතරගම දඩමස් නැති කරේ දඩමස් කියලා දෙන්නේ බලුමස් කියලා හොයා ගත්ත කෙනා.

කතරගම වන්දනා ගමනට අවධානය යොමුකරොත් පේනවා ගමනේ තිබුන අධ්‍යාත්මික කොටස දැන් අඩුවෙලා කියලා. දැන් කතරගම ගමනේ අරමුණු තමා විනෝද වෙන එක, පරිභෝජනය කරන එක සහ බිස්නස් කරන එක. මිනිස්සු දෙවියොත් එක්ක බිස්නස් කරනවා කියලා නෙමෙයි කියන්නේ. අධ්‍යාත්මික කොටස තවදුරටත් ඕන කියන පිරිස කතරගමින් කැබලිත්තට මාරැ වෙලා තියෙනවා. කතරගමට බය නැති මිනිස්සු කැබලිත්තට බයයි. කැලේ ඇතුලට දෙවියන් හම්බ වෙන්ඩ යද්දී විනෝදය, පරිභෝජනය කප්පාදු කරනවා. එහේ ගිහින් දඩමස් හොයන්නේ නෑ.


පරිභෝජනවාදී කතරගමින් අධ්‍යාත්මික කැබලිත්තට පරිභෝජනවාදී කතරගමින් අධ්‍යාත්මික කැබලිත්තට  Reviewed by Fox Talks on 8:30 PM Rating: 5

No comments :

Powered by Blogger.