දරුවන්, වෘක්ෂ දේවතාවුන් හා ෂොපින්



වනාන්තරයක් ආසන්නයේ ගමක ජීවත් වූ මවක් සහ දරැවෙක් දිනක් ෂොපින් කිරීම සඳහා ට්‍රොලියක් තල්ලු කරගෙන වනයට ඇතුළු විය. වැව් ඉස්මත්තෙන් ආරම්භ වී වනය තුලට ඇදෙන පටු බොරළු පාර අවසන් වන තෙක් ඇවිද ගිය මව ගසක් අසල ට්‍රොලිය නවතා තවදුරටත් වනයට ඇතුළු වී පලාවර්ග, අලවර්ග, පළතුරැ ආදීය එකතු කරන්නට පටන් ගත්තාය. ඒ අතරතුර කුඩා දරැවා මව අසල දැවටෙමින් බත් කූරන් හා සමනළයන් පසුපස එලවමින් සෙල්ලම් කරන්නට විය. මවගේ දැඩි විමසිලිමත්භාවය සහ වනයේ ඈතට ගියහොත් නපුරැ සතුන්ට ගොදුරැවනවා කියන අනතුරු හැඟවීමත් නිසා දරැවා ද මවගෙන් මිදී වැඩි ඈතකට නොයයි. ආහාර ද්‍රව්‍ය එකතු කිරීමෙන් පසුව මව ලිපගිනි මෙලවීමට අවශ්‍ය දර ටිකක් සෙවීමට සුදානම් විය. වනයට පැමිණියානම් දර මිටියක් රැගෙන යාම අත්‍යාවශ්‍යයෙන්ම කලයුත්තක් ය යන හැඟීමක් ඇයට මෙන්ම ගමේ අනෙක් ගැහැණුන්ටද විය. මඳක් ඔබ්බෙන් විශාල ගසක අත්තක් වියළි වැටී තිබෙන අයුරැ දුටු මව දරැවාට ට්‍රොලිය නවතා තිබෙන ස්ථානයේම රැඳී සිටින ලෙස පවසා අත්ත ලඟට කිට්ටු විය. සුවිශාල ගසක් වු එහි අතු ඉතා ඉහළින් පිහිටා තිබු අතර එක් අත්තක් වියළි බිම ඇඳ නොවැටෙන්නට මවට ඒ ගසෙන් දර ලබා ගැනීමට නොහැකි වන්නට තිබිණි.

ට්‍රොලිය වටේ කැරකෙමින් සිටි දරැවාගේ දෑස් මානයෙන් පියඹා ගියේ පියකරැ වර්ණවත් සමනළයෙකි. මවගේ අවවාදය ක්ෂණයකින් අමතක කර දැමු දරැවා සමනළයා පසුපස දිව යන්නට විය. දර කඩන අතරතුර මදක් එසවී ට්‍රොලිය දෙස බැලූ මවට දරැවා ට්‍රොලිය අසල නොමැති බව දැක හඬ නගමින් ඒ දෙසට දිව ආවද සමනළයා සමඟින් දරැවා ඒ වනවිටත් වනය තුල නොපෙනී ගොස් අවසන්ය. අධික ලෙස බියපත් වූ ඇය දරැවාගේ නම කියා හඬ නගන්නට විය. එහෙත් දරැවාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත. ඉන්පසු ඇය වනයට ඇතුළු වී දරැවාගේ සලකුණක් ඇත්දැයි සෙවීමට පටන් ගත්තාය. විටෙක හඬ නගමින් ද ගස් අතු හා පඳුරැ පොඩි කරමින්ද මඳ වේලාවක් දරැවා සෙවූ ඇය ඉක්මනින්ම වෙහෙසට පත්වූවාය. කෙළවරක් නොපෙනෙන මහ වනයේ කරකියා ගැනීමට කිසිත් නොමැතිවූ කල ඇය කෑ ගසා අඬමින්, පපුවට ගසා ගනිමින් දර කැඩීමට පටන්ගත් ගස ලඟට නැවත පැමිණියාය.

මුලින් සඳහන් කල පරිදි ඒ ගස වනයේ අනෙක් බොහෝ ගස්වලට වඩා විශාල විය. සෑම අතටම අතු පතර විහිදී ඇති නිසා ගස අවට පරිසරය අඳුරැ ස්භාවයක් ඉසිලීය. ඒම නිසාම ගසෙන් ගුප්ත බවක් ද විද්‍යාමාන විය. පෙර කිසිදු ගරැ සැලකිල්ලක් නොදක්වා ගසේ අතු කැඩීමට පටන්ගත් මව මෙවර ගරැසරැ ඇතුව ගස මුලට කිට්ටු විය. අසල කුඩා ගසකින් කොළ අත්තක් කඩාගත් ඇය එය විශාල ගසේ රඳවා කඳුළු පිරි දෙනෙතින් යුතුව ගස මුල දණගසා ගත්තාය. මේ වනවිටත් මේ මහා වනයේ තමාට ඇති එකම පිළිසරණ මේ ගසට අරක්ගෙන ඇති යම්කිසි වෘක්ෂ දේවතාවෙක් ය යන හැඟීම ඇය තුල ඇතිවී තිබිණි. සැබෑවට ගසේ වෘක්ෂ දේවතාවෙක් සිටිනවාද නැද්ද කියා ඇය නොදන්නා මුත් දරැවා අතුරැදහන් වීම නිසා ඇතිවූ අසරණභාවය මෙන්ම ගසේ ගුප්ත ස්භාවය ද ඇය තුල එම විශ්වාසය ඇති කරලීමට හේතු විය.

" මේ මහා වෘක්ෂයට අධිගෘහිත යම් දේවතාවුන් වහන්සේ කෙනෙක් වේ නම් මේ අසරණ ස්ත්‍රියගේ කන්නලව්වට ඇහුන්කන් දෙත්වා. මාත් මාගේ කුඩා දරැවාත් ෂොපින් කිරීම සදහා ඔබවහන්සේගේ අඩවියට ඇතුළු වී සිටිනවිට මාගේ අතපසුවීමක් නිසා දරැවා මාගෙන් වෙන්වී මහ වනය තුල නොපෙනී ගියා. ඔබවහන්සේට මේ ගැත්තියගේ කන්නලව්ව ඇසෙනවානම් මාගේ දරැවා සොයාදෙන සේක්වා. "

මවගේ කන්නලව්ව අවසන් වෙත්ම දැඩි මීදුමකින් අවට පරිසරය වැසී යන්නට විය. ටික වේලාවකින් මීදුම අතරින් විශාල ලෝගුවක් පොරවාගත් හිසේ මුව අං තට්ටුවක් වැනි දෙයක් පැළදගත් මිනිස් රැවක් මතු විය. මීදුම් සහිත ස්භාවය නිසා ද හිසේ සිටම පැළදසිටිනවා මෙන් දිස් වන අඳුරැ පැහැති ලෝගුව නිසා ද මවට ඒ පුද්ගලයාගේ මුහුණ පැහැදිලිව නොපෙනුණි. එහෙත් ඒ තමාගේ කන්නලව්ව අසා පිහිට වීමට පැමිණි වෘක්ෂ දේවතාවෙක් ය කියා හඳුනාගැනීමට ඇයට අපහසු නොවීය.

සැබවින්ම ඒ එම ගසට අරක්ගත් "හර්න්" නම් වෘක්ෂ දේවතාවා විය. හර්න් දේවතාවා එතරම් මිනිස් ඇසුරට ප්‍රියකරන දේවතාවෙක් නොවේ. එය හර්න්ට මෙන්ම අනෙක් වෘක්ෂ දේවතාවන්ට ද පොදු ලක්ෂණයක් විය. ඔවුන් ප්‍රියකරන්නේ සතා සීපාවාට සහ වනයේ ඇති නිස්කලංක බවටය. ඉඳහිට හෝ වනයට ඇතුල්වන අසල ගම්මානවල මිනිසුන් ගැන ඔවුන්ට ඇත්තේ නොරිස්සීමකි. වනයේ අතරමං වෙන යහපත් පුරැෂයෙකුට හෝ ස්ත්‍රියකට උදව් උපකාරයක් කිරීම හැර ඔවුන් වෙන ඇසුරක් මිනිසුන් සමඟ නොපවත්වති. මේ ස්ත්‍රියගේ කන්නලව්වට සිත උණුවූ හර්න් දේවතාවා දරැවා සිටින තැනට යාමට අවශ්‍ය මඟ සලකුණු පවසා ක්ෂණයකින් මීදුම අතරින් අතුරැදහන් විය.

වෘක්ෂ දේවතාවා කියු මඟ සලකුණු ඔස්සේ ගිය මව පැමිණ්යේ එළිමහන් බිම් කඩකටය. එහි එක් කෙලවරක වන සතුන් කිහිප දෙනෙකුට මැදිව තම දරැවා සිටිනු ඇයට දැකගත හැකිවිය. ඇය දුටුවේ දරැවා ඉතා ආරක්ෂාකාරීව මෙන්ම ප්‍රීතියෙන් ද සිටින බවයි. වඩාත් සමීපයට පැමිණි පසු ඇය දරැවා වටා සිටි සතුන් තිදෙනා, මැනී නමැති අලියා ද දියැගෝ නම් කොටියා ද සිඩ් නමැති ස්ලෝතයා ද බව හඳුනාගත්තාය. ගම්මුන් වනයේ සිටින මිනිසුන් සමඟ කුළුපග අලියෙක්, කොටියෙක් හා ස්ලෝතයෙක් ගැන නිතර කතා වෙනවා අසා තිබුනද මීට කලින් ඇය ඔවුන්ව දැක තිබුනේ නැත. එහෙත් අසා තිබුන විස්තර වලට අනුව මේ එම සතුන් තිදෙනා කියා හඳුනාගැනීමට ඇයට අපහසු නොවීය. වරක් මැනී නමැති අලියා ගම්මුන්ගේ හේන්වල වල ඇති පැණි කොමඩු සහ කැකිරි කෑමට ගම් වැදුනද එතරම් වගා හානියක් නොකල බව ගම්මු පවසනවා ඇයට මතකය. එමනිසා කිසිදා නොදුටු මේ සතුන් ගැන ඇය⁣ට ඇතිවී තිබුණේ යම්කිසි විශ්වාසනීය හැඟීමකි. ඔවුන් දෙස කෘතඥ පූර්වක බැල්මක් හෙලු ඇය දරැවාට කතා කලාය. මව දුටු සැනින් ප්‍රීතිමත් හඬක් නැඟු දරැවා වේගයෙන් ඇය දෙසට දිව එන්නට විය.

ඈත වනාන්තර අසබඩ ගම්මාන වල මිනිසුන්ගේ හා දරැවන්ගේ ආරක්ෂාවට වෘක්ෂ දේවතාවුන් හා කරැණාවන්ත වන සතුන් සිටියත් වනයෙන් ඈත නාගරිකයේ එවැනි යහපත් ජීවින් දැන් නොමැති තරම්ය. ඒ වෘක්ෂ දේවතාවුන් සහ කරැණාවන්ත වන සතුන් එලවා දැමුවේද නාගරිකයන්මය. කොන්ක්‍රීට් වනාන්තරයේ පලවැල නෙලීමට, එක අතකින් දරැවාත් අනෙක් අතෙන් පන්මල්ලත් රැගෙන සුපිරි සාප්පු සංකීර්ණ වලට යන මව්වරැ තම දරැවාගේ ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය. ඒ දරැවා රාක්ක හා බඩු භාණ්ඩ අතර අතුරැදහන් වූවහොත් සාප්පු සංකීර්ණ වලට අධිගෘහිතව සිටින දේවතාවුන්ට නැතිවූ දරැවන් සොයාදීමට තරම් අවශ්‍යතාවයක් නැති නිසාය. එමෙන්ම සුළු වේලාවකින් දරැවාව කීතු කීතු වලට ඉරා දැමීමට හැකි හයිනාවන්ගෙන් ද කොන්ක්‍රීට් වනාන්තරය පිරී පවතින නිසාය. ඔවුන් මව එනතුරැ දරැවාට පළතුරැ කවමින් ආදරයෙන් රැකබලා ගනීවියැයි විශ්වාස කල නොහැක.


දරුවන්, වෘක්ෂ දේවතාවුන් හා ෂොපින් දරුවන්, වෘක්ෂ දේවතාවුන් හා ෂොපින් Reviewed by Fox Talks on 8:24 AM Rating: 5

No comments :

Powered by Blogger.