සිහිනයක් මතක සිටින්නේ කලාතුරකින්ය

 


" මචං, යමුද එහෙනන්? "


මා හිස වනා පාර දෙස බැලුවෙමි. හීන්දෑරී පෙනුමකින් යුතු ඔහුගේ නම මට මතක නැත. දිගු කොණ්ඩය, ස්කිනිය, කොට කලිසම, පිටුපසට දමාගෙන සිටි කැප් තොප්පිය සහ අතේ වළලු තොගය ඔහුගේ පෙනුමට අපිළිවෙලක් එක්කොට ඇත. කිසිදු හැඟීමකින් තොරව මා ඔහු පසුප⁣සින් ඇදෙන්නට විය. මට ඔහු හමුවූයේ කෙසේද? ඔහු මා රැගෙන යන්නේ කොහෙද? කියා මා දන්නේ නැත. මාගේ මේ කතාව ආරම්භ වන්නේ දිගු සිදුවීම් පෙලක මතකයේ රැඳුන අවසන් කොටසින් ය. එමනිසා මේ කතාවේ අගක් මුලක් පැහැදිලි කිරීමට මට හැකියාවක් නැත්තේ මට ද එහි අගක් මුලක් මතක නැති නිසාය. 


පටු මාවත් හා බිත්ති අතරින් රිංගා ගෙන අවසානයේ අප එක් ගොඩනැගිල්ලක් තුලට පැමිණියෙමු. එය තරමක් විශාල ටකරන් සෙවිලි කල ශාලාවක් වැනි ස්ථානයකි. උසස් පෙළ ටියුෂන් පංති පැවැත්වෙන, තැනින් තැන කණු ගසා අපිළිවෙලකට ටකරන් සෙවිලි කොට ඇති ගොඩනැගිල්ලක් සිහියට නඟා ගන්න. එහි එක් කෙළවරක වේදිකාවක් ඇත. ඊට උඩින් ගොඩනැගිල්ලේ එහා කොනේ සිට මෙහා කොන දක්වා ඇති විශාල බැනරයකි. එහි ඇද තිබූ රූපසටහන්වල හුරුපුරුදු බවත් තිබූ නිසා එය මතයකට නඟා ගැනීමට උත්සහ කළෙමි. තප්පර කිහිපයක උත්සහයකින් පසු මා එය කුමක්දැයි කියා හඳුනා ගතිමි. ඒ විහාරමහාදේවී උද්‍යානය අසල ප්‍රදර්ශනය කර තිබූ STOP ECOCIDE බැනරය හෝ ඒ හා සමාන වෙනත් බැනරයකි. 


අප එහි යන විටත් තවත් තරුණයන් කිහිප දෙනෙක් එහි රැස්වී සිටියේය. ඔවුන් ද මාගේ මඟපෙන්වන්නා මෙන්ම අපිළිවෙල පෙනුමකින් යුත් පිරිසකි. ඔවුන් සියලු දෙනා⁣ම එකම ආකාරයේ අපිළිවෙලක් ප්‍රදර්ශනය කල නිසා එම අපිළිවෙල තුල යම්කිසි පිළිවෙළක් නිර්මාණය වී තිබුණි.


" මචං, ඔය කොනට ගිහින් බලපන්, වත්ත ඔක්කොම පේනවා. "


වත්ත යනුවෙන් ඔහු අදහස් කරේ ගොඩනැගිල්ල වටා ඇති පැල්පත් නිවාස සමූහයටය. එහෙත් වත්ත බැලීමේ උනන්දුවක් මා හට නොවීය. ටික වේලාවකින් ශාලාවේ තැනින් තැන එල්ලා තිබූ විශාල බෆල් වලින් සංගීතයක් නිකුත් වන්නට විය.


" මචං, අපි මේ වෙලාවට අහන්නේ two and pack ගේ මියුසික් "


" Two and pack ?? අහලා නෑ මචං "


" Tupac මචං"


" ආහ්... "



ටික වෙලාවකින් රැප් සංගීතයෙන් ශාලාව දෙදුරුම් කන්නට විය. අඳුර වැටීම නිසා ⁣ශාලාවේ ඇති විදුලි බල්බ කිහිපය දැල්වුවත් ඒවායින් නිකුත් වූයේ මළානික එළියකි. දැන් එකා දෙන්නා ශාලාව තුලට ඇදෙමින් ඇත. ටික වේලාවකින් ශාලාව තුලය දෙසීයක තුන්සීයයක පිරිසක් ඒකරාශි වී සිටියහ. 

" මචං, මේ ටයිම් එකට තමා කට්ටිය ඇවිත් සෙට් වෙන්නේ "


මා ශාලාවේ දොරටුවක් අසලට ගොස් සිදුවන්නේ කුමක්දැයි බලාසිටියෙමි. තරුණයන්, මැදි වයසේ පසුවන්නන් මෙන්ම තරමක වයසක පුද්ගලයන් ද දැන් එහි සිටියි. ටික වේලාවකින් පිරිස ඊයම් කොළ, ගිනි පෙට්ටි, ලයිටර් එළියට අදිනවා පෙනුණි. වෛද්‍යවරයෙකුගේ නියමයෙන් රෝහල් වාට්ටුවක සිටින රෝගීන් සියලු දෙනාම එකම වෙලාවක ඖෂධයක් භාවිතා කරනවා මෙන් ශාලාවේ සිටි සියල්ලෝම එකම මොහොතක සුදු දුමක් ආඝ්‍රහණය කරනවා මම බලා සිටියෙමි. ටික වේලාවකින් මුළු ශාලාවම දුමකින් මෙන් වැසී ගියේය. දුම අතරෙන් තැන් තැන්වල වාඩි වී සිටින පිරිස යන්තමින් පෙනෙයි. California Love රිද්මයට ඔවුන් වසඟ වී ඇත. 


මා සිටි තැනට එක එල්ලේ බිත්ති දෙකක් අතරින් මහපාරේ වාහන යනවා පෙනුණි. මා අඩියට දෙකට ශාලාවෙන් එළියට පැන ගතිමි. දැන් මා සිටින්නේ පැල්පත් නිවාස පේලියක් ඉදිරියෙන්ය. කුඩා ළමුන් පිරිසක් කාඩ්බෝඩ් පුවරු ඔසවාගෙන සිටිනවා පෙනුණි. ඒ සෑම පුවරුවකම විශාල ඉංග්‍රීසි අකුරෙන් NO යනුවෙන් ලියා ඇත. ඔවුන්ගේ මළානික මුහුණුවල ඇත්තේ ශෝකාකූල පෙනුමකි. එය දකින ඕනෑම කෙනෙකුගේ සිතත් ක්ෂණයකින් ශෝකයෙන් බරව යනු ඇත. මා මෙය තේරුම් ගත්තේ ශාලාව තුල සිදුවන දේට දරුවන්ගේ විරෝධය පළකරන ආකාරයක් ලෙසටය. ශාලාව ඇතුලේ සිටින්නේ ඔවුන්ගේ පියවරුන් හෝ සහෝදරයන් විය හැකිය. මෙවැනි නිහඬ විරෝධයක් හැරුණු කොට ඔවුන්ට වෙන කලහැකි දෙයක් ද නොමැති බව පැහැදිලිය.


බිත්ති දෙක අතරින් මා මහපාරට සෙන්දු විය. තාමත් ඈතින් ශාලාව දෙදුරුම් කන සංගීතය ඇසෙයි. 


California knows how to party

California knows how to party

In the city of L.A

In the city of good ol' Watts

In the city, the city of Compton

We keep it rockin', we keep it rockin'


ප.ලි : සිහිනයක් මතක සිටින්නේ කලාතුරකින්ය. සිහිනයේ ඇති රූපක ඊට පෙර අපි දැක ඇති ඇතැම් දේවල් හා සම්බන්ධය.

සිහිනයක් මතක සිටින්නේ කලාතුරකින්ය සිහිනයක් මතක සිටින්නේ කලාතුරකින්ය Reviewed by Fox Talks on 11:21 AM Rating: 5

No comments :

Powered by Blogger.