පරිසර සංරක්ෂණය හා දැනුමේ ආධිපත්‍යය

 


[ 1 ] මිනිසා විසින් සූරාකනු ලැබීම සඳහා ස්වභාව ධර්මය මවා (මැවී) ඇතැයි සැලකෙන චින්තනයකට යා හැකි දුර සීමාසහිත වෙයි. අද එය එහි ගමනාන්තයට සීඝ්‍රයෙන් පැමිණෙමින් ඇත. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට, යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට හා ධනපති ක්‍රමයට පරිසරය සූරාකෑමෙන් තොරව, පරිභෝජනයෙන් තොරව පැවැත්මක් නැත. අද මුදාහැරී ඇත්තේ මිනිසුන්ගේ ඊනියා නිර්මාණ ශක්තියක් නොව මිනිසුන්ගේ අසීමිත ලෝභය, ද්වේෂය හා මෝහය ය. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි එහි කිසිදු පාලනයක් සිදු නො වේ. ඒ චින්තනයට හා යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට කිසිදා පරිසරය ආරක්‍ෂා කළ නො හැකි ය. එසේ ආරක්‍ෂා කිරීම ම එහි විනාශයට හේතු වෙයි. එබැවින් රියෝ ද ජෙනෙයිරෝහි දී රාජ්‍ය නායකයන්ට ව්‍යාජ සම්මුතීන් කිහිපයකට එළඹීම හැරෙන්නට පරිසරය රැකගැනීමේ සම්මුතියකට එළඹිය නො හැකි ය. ඊනියා ධරණීය සංවර්ධනය යනු බටහිරයන්ගේ ව්‍යාජ සංකල්පයක් පමණකි. ධරණීය සංවර්ධනයක් විසින් පරිසරය සමග ගතික සමතුලිතතාවක් පවත්වාගනු ලැබිය යුතු ය. එහෙත් එසේ කළහොත් බටහිර සංවර්ධනය කඩා වැටෙයි. මාක්ස්වාදීන් අද පරිසරයේ ව්‍යාජ ආරක්‍ෂකයන් වීමට දැඟලුව ද මූලික ව කතෝලික චින්තනයෙහි බිහි වී ඇති මාක්ස්වාදයෙහි විශ්ලේෂණය කෙරී ඇත්තේ ශ්‍රමය මිස පරිසරය සුරාකෑම නො වේ. ඔවුන්ට අවශ්‍ය ධනය සාධාරණයැයි කියන ආකාරයකින් බෙදාහැරීම මිස පරිසරය සූරාකෑම නැවැත්වීම නො වේ. ලෝකය අර්බුදයකට ගොස් ඇත්තේ ශ්‍රමය නොව පරිසරය සූරාකෑම නිසා ය. සිංහල බෞද්ධ චින්තනයෙහි නම් මේ අර්බුදයට විසඳුම් ඇත.


[ 2 ] "I used to think the top global environmental problems were biodiversity loss, ecosystem collapse and climate change. I thought that with 30 years of good science we could address these problems. But I was wrong. The top environmental problems are selfishness, greed and apathy, and to deal with these we need a spiritual and cultural transformation, and we scientists don't know how to do that."

Shared Planet: Religion and Nature, BBC Radio 4 (1 October 2013)


මේ අදහස් දෙකේම සාරාංශය ගතහොත් - පළමුවැන්න වඩාත් විස්තරාත්මක වුවත් - සමාන පණිවිඩයක් ලබාදෙයි. එනම් බටහිර විද්‍යාවට පරිසර විනාශය වැළැක්වීම සම්බන්ධව සාර්ථක වැඩපිළිවෙළක් නොමැති බවත්, පරිසරය රැකගැනීමට අවශ්‍ය නම් බටහිර විද්‍යාවෙන් වෙනස් වූ විසඳුමක් කරා යාමට සිදුවන බවත්ය. 


පළමුව ඇත්තේ ආචාර්ය නලින් ද සිල්වාගේ අදහසකි. ඔහු අදහස් දක්වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම්වය. දෙවැන්න පරිසරය පිළිබඳ ඇමරිකානු රාජ්‍ය උපදේශකයෙක්ව සිටි Gus Speth ගේ අදහසකි. 


මෙම අදහස පරිසරය සම්බන්ධ ෆේස්බුක් පිටුවක පලවී තිබුණි. පසුව සොයා බැලීමෙදී එය බොහෝදෙනෙක් බෙදාගත්, අගය කරන අදහසක් බව ද පෙනුණි. අප රටේ පරිසරවේදීන් අතර ද මෙවැනි අදහසකට පිළිගැනීමක් නොලැබීමට හේතුවක් නැත. නමුත් නලින් ද සිල්වාගේ අදහසට එවැනි පිළිගැනීමක් ලැබේදැයි සැක සහිතය. බොහෝවිට ඔහුගේ අදහස බර කරත්තයෙන් නැවත අනුරාධපුර යෑමට කරන යෝජනාවක් ලෙස තේරුම්ගනු ඇත. 


Gus Speth පරිසරය රැකීමට විද්‍යාවෙන් වෙනස් වූ විසඳුම් කරා යා යුතු බව පවසන්නේ විද්‍යඥයෙකු ලෙසටය. එනම් එහි ඇඟවුම වන්නේ විද්‍යාත්මක අදහසක් යන්නය. Spethගේ අදහසට පිළිගැනීමක් ලැබෙන්නේ එම හේතුව නිසාය. මේ අදහස් දෙක පිළිගැනීම පිළිබඳ වෙනසට හේතුව දැනුම් ආධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරයක් ලෙස සැලකිය හැකිය. දැනුම් ආධිපත්‍යයත් නලින් ද සිල්වා නිතර  සඳහන් කරන අදහසක් නිසා එයට ද පිළිගැනීමක් ලැබේදැයි සැක සහිතය.


පරිසර සංරක්ෂණය හා දැනුමේ ආධිපත්‍යය පරිසර සංරක්ෂණය හා දැනුමේ ආධිපත්‍යය Reviewed by Fox Talks on 11:10 AM Rating: 5

No comments :

Powered by Blogger.