Columbus Movie ( 2017 )

 


Columbus ( 2017 - Drama/Romance - 1h 44m  [IMdb 7.2/10] ) චිත්‍රපටය දිග හැරෙන්නේ අසනීප තත්වයෙන් පසුවන කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු බැලීමට ඔහුගේ පුත්‍රයා වන Jin දකුණු කොරියාවේ සිට Columbus නම් කුඩා ඇමරිකානු නගරයට පැමිණිමේ සිදුවීමක් සමඟින්ය. Columbus නගරය එහි ඇති නූතන ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකල ගොඩනැගිලි සමූහයක් නිසා එම ශිල්පයට උනන්දුවක් දක්වන්නන්ට සුවිශේෂී වටිනාකමකින් යුක්තය. එම නගරයේ වාසය කරන ගෘහ නිර්මාණ ශිල්පයට උනන්දුවක් දක්වන Casey නම් තරුණියක් හා Jin සමඟ අතර ගොඩනැගෙන සම්බන්ධය හා ඔවුන් මුහුණ දෙන ගැටළු චිත්‍රපටය තුලින් ගලා යයි.


මාගේ උත්සහය චිත්‍රපටිය පිළිබඳ විචාරයක් ඉදිරිපත් කිරීමට වඩා චිත්‍රපටිය විසින් ලබාදුන් අත්දැකීමක් ඉදිරිපත් කිරීමටය.


චිත්‍රපටය පුරාවටම ඇත්තේ කලබලකාරී නොවන නිස්කලංක ගලායාමකි. චිත්‍රපටයක ඇත්තේ චලන රූප සමූහයක් වුවත් මෙහි ඇතැම් රෑපරාමු දෙස බලාසිටීමෙදී දැනෙන්නේ නිශ්චල ඡායාරූපයක් දෙස බලා සිටිනවා වැනි හැඟීමකි. උදාහරණයකට යම් ගොඩනැගිල්ලක් තුල සිදුවන සිදුවීමක් පෙන්වීමට පෙර එම ගොඩනැගිල්ල පිටත සිට පෙනෙන ආකාරය තප්පර කිහිපයක රූපරාමුවකින් පෙන්වයි. නිශ්චල ඡායාරූපයක් ලෙස පෙනෙන්නේ එයයි. මෙම රූපරාමුව අපට දර්ශනය වෙන්නේ එම ගොඩනැගිල්ලේ ඇති වාස්තුවිද්‍යාත්මක සුවිශේෂතා සියල්ල ග්‍රහණය වන අයුරින්ය.

 

චිත්‍රපටය ආරම්භ වී ටික වේලාවක් යන තෙක් කතා තේමාව ගැන අවබෝධයක් නොමැති නිසා වාස්තුවිද්‍යාත්මක කෝණයකින් රූපරාමු දෙස බැලීමේ අවස්ථාව මඟහැරී යයි. නමුත් තේමාව පිළිබඳ අවබෝධයක් ලැබීමත් සමඟම මාගේ අවධානය යොමුවීමට පටන් ගත්තේ චිත්‍රපටය ඉදිරියෙන් දිවෙන ප්‍රධාන සිදුවීම් පෙලට වඩා පසුබිමින් පෙනෙන ගොඩනැගිලි හා ඒවායේ ඉදිකිරීම් ශිල්පය දෙසටය. එයින් පසුව සාමාන්‍ය ආකාරයෙන් චිත්‍රපටය නැරඹීමේ හැකියාව අහෝසි වී යන අතර එක්වර විෂයන් දෙකක⁣ට අවධානය යොමුකිරීමට සිදුවෙයි. 


ගෘහ නිර්මාණ ශිල්පය ගැන ප්‍රමාණවත් දැනුමක් ඇත්තෙකුට ඒවායේ ඇති සුවිශේෂීතා ගැන තක්සේරුවකට පැමිණිය හැකිය. නමුත් එවැනි දැනුමක් නොමැති මාහට චිත්‍රපටය නැරඹීමට සිදුවූයේ ඒ වාස්තුවිද්‍යාත්මක සුවිශේෂතා හැකි පමණින් ග්‍රහණය කරගැනීමේ උත්සහයක් ද සමඟින් ය. එයට සාමාන්‍යය ලෙස චිත්‍රපටයක් නරඹනවාට වඩා අමතර වෙහෙසක් ගත යුතුය.
































Columbus Movie ( 2017 ) Columbus Movie ( 2017 ) Reviewed by Fox Talks on 11:03 AM Rating: 5

No comments :

Powered by Blogger.