The Rings of Power සහ woke සංස්කෘතිය


The Lord of the Rings චිත්‍රපට මාලාවට සම්බන්ධ ලෙස Amazon සමාගම විසින් නිපද වූ The Rings of Power රූපවාහිනී කතාමාලාවට අපේක්ෂිත මට්ටමෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර නොලැබීම ගැන විචාරකයන්ගේ අවධානය යොමුවී තිබේ. මෙයට ප්‍රධාන හේතුවක් ලෙස දක්වා ඇත්තේ බටහිර චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සඳහා ඇතුල් කර ඇති woke culture බලපෑමය. Woke යනු ඇමෙරිකානු කළු ජාතිකයන් මුහුණ පෑ සමාජ හා දේශපාලනික ගැටළු ආශ්‍රයෙන් ගොඩනැඟුනු අදහසක් වුවත් මේ වනවිට එය LGBTQ+ ව්‍යාපාරය හා කුඩා ජන කණ්ඩායම් (minority groups) වල පිළිගැනීම් හා අයිතිවාසිකම් විග්‍රහ කෙරෙන සංකල්පයක් බවට පත්වී ඇත. මෙම සංස්කෘතියේ බලපෑම වඩාත් පැහැදිලිව පෙනෙන ආකාරයක් වන්නේ හොලිවුඩ් චිත්‍රපට හා කතාමාලා තුල පෙර නොවූවිරූ ලෙස චරිත නිරූපනයේ දී කළු ජාතික නළු නිළියන්ගේ ප්‍රමාණය ඉහළ යෑම, ස්ත්‍රීවාදී චරිත වලට ප්‍රමුඛත්වයක් ලැබීම හා LGBTQ+ අනන්‍යතාවයන් සහිත චරිත බහුලව යොදාගැනීම ආදියයි. එක්සත් ජනපද ජනගහනයෙන් කළු ජාතිකයන්ගේ ප්‍රතිශතය 12.1% වුවත් එම ජන අනුපාතයට වඩා අධි නියෝජනයක් චිත්‍රපට හා කතාමාලා චරිත නිරූපණයේ දක්නට ලැබෙයි. මෑතක සිට woke ප්‍රවණතාවයන් හොලිවුඩය ආක්‍රමණය කිරීම පසුපස දේශපාලනික හේතූන් තිබෙන බව කියවේ. 2016 එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය දැක්වූවන් අතර විෂම ලිංගික, සුදු ජාතික, පිරිමින් ප්‍රධාන තැනක් ගනියි. මෙම ප්‍රවණතාවය ගැන නොසතුටු වූ ලිබරල් හොලිවුඩය සුදු පිරිමියා වටා ගොඩනැඟී තිබු ප්‍රතිරූපය ඉවත් කිරීමේ අදහසින්, ඩිමෝක්‍රැටික් පක්ෂ දේශපාලනයට වාසි සහගත වන ආකාරයෙන් woke මතවාදය ප්‍රචලිත කිරීමට පටන්ගත් බවට චෝදනාවක් ද වෙයි. ආරම්භය එසේ වුවත් මේ වනවිට එය සීමාවන් ඉක්වමින් ඉදිරියට යයි.

සුදු මිනිසුන් සිටින පැරණි යුරෝපීය ශිෂ්ඨාචාරයක් මත පදනම් වූ ටොල්කියන් විශ්වයට පටහැනි ලෙසට The Rings of Power කතාමාලාවට woke සංස්කෘතිය ඇතුලත් වන්නේ ඉහත කියූ ලිබරල් ප්‍රවණතාවයේම දිගුවක් ලෙසටය. පෙර සුදු චරිත වලින් පමණක් සමන්විත වූ මිඩ්ල්-අර්ත් ජන විකාශනය තුල කළු චරිත දක්නට ලැබීමෙන් මෙය වටහාගත හැකිවේ. ඒ අනුව ටොල්කියන් ග්‍රන්ථ වලට පටහැනි ලෙස කළු හම සහිත හොබිට්ස් සහ එල්ව්ස් චරිත කතාමාලාව තුල දක්නට ලැබේ. ටොල්කියන් රසිකයන් පවසන්නේ මෙයින් මුල් ටොල්කියන් ලේඛන විකෘති වීමකට ලක්වී ඇති බවයි.
ටොල්කියන්ගේ පරිකල්පනය මත ගොඩනැඟුනු මිඩ්ල්-අර්ත් වැනි ප්‍රබන්ධ ලෝකයක මකරුන්, මායාකාරයන් සිටීම ගැටළුවක් කර නොගන්නා අයට කළු හොබිට්ස් හා එල්ව්ස්ලා සිටීම ගැටළුවක් වන්නේ කෙසේදැයි ඇතැමුන් තර්ක කරයි. සන්දර්භ⁣යේ ගැලපීමක් ඇත්නම් ප්‍රබන්ධයක් තුල කුමනාකාරයෙන් චරිත ගොඩනැඟුනත් එය ගැටළුවක් වන්නේ නැත. නමුත්, නූතන ලෝකයේ විවිධ ප්‍රදේශ වල සිටි මිනිසුන් දීර්ඝ කාලයක සිට සිදුවූ සංක්‍රමණයන්ගෙන්ගේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ සමාජයක සංයුතිය කිසිදු තාර්කික පැහැදිලි කිරීමක් නොමැතිව එක්වරම ප්‍රබන්ධයක දක්නට ලැබීම මකරුන්, මායාකාරයන් දැකීමටත් වඩා විමතියක් ඇති කරයි. එනම්, ටොල්කියන් රසිකයන් The Rings of Power හරහා අපේක්ෂා කරන ෆැන්ටසිය තුලදී, යථාර්ථයේ හමුවන පැහැදිලි දේශපාලනික ඇජෙන්ඩාවක් සහිත නූතන ලිබරල් ප්‍රවණතාවයක් කල්පිත ටොල්කියන් විශ්වයට බලහත්කාරයෙන් ප්‍රක්ෂේපණය කොට එය විකෘතියක් බවට පත් කිරීම ඔවුන් අපේක්ෂා නොකරන දෙයකි.  

මේ පසුබිම නිසා The Lord of the Rings (IMDb 8.8/10) චිත්‍රපට පෙළට සාපේක්ෂව The Rings of Power (IMDb 6.9/10) කතාමාලාවට ලැබී ඇත්තේ අඩු ප්‍රේක්ෂක ප්‍රතිචාර ⁣ප්‍රමාණයකි. Rotten Tomatoes වෙබ් අඩවියේ විචාරක ප්‍රතිචාර (Tomatometer) 85% වනවිට ප්‍රේක්ෂක ප්‍රතිචාර (audience score) සඳහන් වන්නේ 39% ලෙසටය. මෙහි විචාරක ප්‍රතිචාර ප්‍රතිශතය ලිබරල් මාධ්‍ය ආධිපත්‍යයට අවශ්‍ය ආකාරයට ලබාගත හැකි අගයන්ය. අවසානයේ Amazon සමාගමට ඩොලර් බිලියනයක පිරිවැයකින් නිෂ්පාදනය කල කතාමාලාවට ලැබෙන සෘණාත්මක ප්‍රතිචාර ඉහළ යෑම නිසා review දැමීමට ඇති හැකියාව අවහිර කිරීමට ද සිදුවී ඇත. 

මෙයින් පෙනී යන්නේ woke culture වැනි සංකල්පයක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආධිපත්‍යය, ඇකඩමික කතිකාවත්, කලා නිර්මාණ, චිත්‍රපට ආදිය හරහා ස්ථාපිත කිරීමට උත්සහ කලත් සාමාන්‍ය සමාජය සෑම ලිබරල් ඇජෙන්ඩාවක්ම බාර ගැනීමට සුදානම් නොවන බවය. එම මතවාදයන් සමාජගත වී තිබෙන අධිපතිවාදී ස්වරූපය නිසා ප්‍රසිද්ධියේ එයට විරුද්ධ වීමට පැකිලීමක් ඇතත් අනන්‍යතාවය හෙළිදරව් නොවන reviews, ratings වැනි ක්‍රම ඔස්සේ යම්කිසි විරෝධයක් ගොඩනැගී ඇත. මෙය හුදෙක් චිත්‍රපටයක් හෝ කතාමාලාවක් එහි මුල් අන්තර්ගතයෙන් වෙනස්වීම නිසා ඇතිවූ විරෝධයක් පමණක් නොව සීමාව ඉක්මවා යන රැඩිකල් වාම-ලිබරල් ප්‍රවණතා කෙරෙහි එල්ලවූ විරෝධයක් ලෙසද සැලකිය හැකිය. මෙයින් සුදු පිරිමියාගේ ආධිපත්‍යය බිඳ වැටෙන බවට තර්කයක් ගෙන ආ හැකි වුවත් එය සිදුකරන්නේ සුදු නොවන මිනිසුන්ට සාධාරණත්වයක් ඉටුකිරීමේ පරමාර්ථයකටත් වඩා වෙනත් දේශපාලන ඇජෙන්ඩාවක් ඉටුකර ගැනීමේ අභිප්‍රාය ඇතුවය.




 

The Rings of Power සහ woke සංස්කෘතිය The Rings of Power සහ woke සංස්කෘතිය Reviewed by Fox Talks on 11:30 AM Rating: 5

No comments :

Powered by Blogger.